Wednesday, October 16, 2024

ජිනීවා යෝජනාව ඒකමතිව සම්මතයි; එහිදී ආණ්ඩුව කළ ප්‍රකාශය මෙන්න!

ඊයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම සහ සංහිදියාව පිළිබඳ යෝජනාව ඒකමතිව සම්මත වූ අතර එහිදී ශ්‍රී ලංකා තානාපතිනිය කළ ප්‍රකාශය මෙසේය. ( එම යෝජනාව  මෙහි ඇත: ඒකේඩී ආණ්ඩුව ජීනිවා යෝජනා සම්බන්ධයෙන් රාජපක්ෂ පිළිවෙත ඉදිරියට ගෙන යයි!)

ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී එක්සත් ජාතීන් සඳහා වූ   ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය විසින් කරන ලද ප්‍රකාශය

2024 ඔක්තෝබර් 09

ගරු සභාපතිතුමනි,

අභිනවයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා රජය විසින් බලය පවරන ලද පරිදි, 57/ L.1 යෝජනා කෙටුම්පතට සම්බන්ධ රට වශයෙන්, රටේ නවතම වර්ධනයන් පිළිබඳව කවුන්සිලය දැනුවත් කිරීමට කැමැත්තෙමි.

දශක ගණනාවක අපගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව අනුව යමින්, නිදහස්, සාධාරණ සහ සාමකාමී ජනාධිපතිවරණයක් සඳහා වූ ආදර්ශමත් හැසිරීම පිළිබිඹු කිරීමෙන් පසු ගෞරවනීය බල සංක්‍රාන්තියකින් අනතුරුව අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස සැප්තැම්බර් 23 වැනි දින දිවුරුම් දුන්නේය.

රට තුළ නව දේශපාලන සංස්කෘතියක් සඳහා වූ ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා ශක්තිමත් ජනවරමක් සමඟ රජයට ඉදිරියට යෑමට හැකි වනු පිණිස නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව එළැඹෙන මාසයේදී  නැවත වරක් තම ඡන්ද බලය පාවිච්චි කරනු ඇත. අප රටේ සියලුම පුරවැසියන්ගේ තිරසර ආර්ථික වර්ධනය සහ සමාජ යහපැවැත්ම සහතික කිරීම සඳහා නීතියේ ආධිපත්‍යය, විනිවිදභාවය, වගවීම සහ සංහිඳියාව රජයනු ඇත.

ජනතා අභිලාෂයන් අනුව යමින්, ආර්ථික බිඳවැටීමට මූලික වූ අවපාලනය සහ දූෂණය පිළිබඳ ගැටලුවලට පිළියම් සෙවීමද ඇතුළුව අවංකභාවයට සහ සදාචාරාත්මක පාලනයට රජය ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.

අතීත ගැටලුවලට පිළියම් සෙවීම ඇතුළුව සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම රජය විසින් සිදු කරනු ඇත. සංහිඳියාව, වගවීම සහ යුක්තිය සම්බන්ධයෙන් කටයුතු කරන දේශීය යාන්ත්‍රණ සහ ක්‍රියාවලි ව්‍යවස්ථාමය රාමුව තුළ විශ්වසනීය සහ ස්වාධීන වනු ඇති අතර ජනතා විශ්වාසය සහිත සත්‍ය සහ සංහිඳියා ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. අතිගරු ජනාධිපතිතුමා පවසා ඇති ආකාරයට අපේ අරමුණ වන්නේ දේශීය යාන්ත්‍රණ විශ්වසනීය සහ අර්ථසම්පන්නබවට පත්කිරීමයි..

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, අතීතයේ සිට මෙතෙක් විසැඳී නොමැති පැහැදිලිව හඳුනාගත් වගවීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කඩිනම් කරන බව විමර්ශන බලධාරීන් දැනටමත් ප්‍රකාශ කොට තිබේ.

නිරර්ථක පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට යුක්තිය ඉටු වනු ඇත.

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ගිවිසුම් බැඳීම්වලට අනුකූලව, කිසිවෙකුට හෝ වෙනස් කොට සැලකීමකින් තොරව විවිධත්වයටත් සියලු දෙනා උදෙසා වූ සමාන පුරවැසිභාවයටත් ගරු කරන ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කිරීම සඳහා රජය කැපවී සිටියි. මේ සඳහා පරිපාලන, දේශපාලන හා මැතිවරණ ක්‍රියාදාම සක්‍රීය කෙරෙනු ඇත.

මෙම අංශ ඔස්සේ ඉදිරියට ගමන් කිරීමෙහිලා රජයට ජනවරමද  ජාත්‍යන්තර ප්‍රජාවේ දිරිගැන්වීමද ලැබී තිබේ.

ගරු සභාපතිතුමනි,

දැන්, අප ඉදිරියේ ඇති යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශය කරනු කැමැත්තෙමි :

57/L.1 යෝජනා කෙටුම්පත මඟින්, මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවේ ඇතුළත් බලාධිකාරය තවදුරටත් දීර්ඝ කිරීමකට ලක් කෙරෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට මූලික වූ මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට සහ ඊට පෙර සම්මත කොට ගත් මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවට ශ්‍රී ලංකාව සිය විරෝධය පළ කොට තිබේ.

A/HRC/57/G/1 ලේඛනයේ අඩංගු වන, මෙම කවුන්සිලයට ඉදිරිපත් කර ඇති අපගේ සවිස්තරාත්මක ප්‍රතිචාරයේ දක්වා ඇති හේතු මත, අපි මහකොමසාරිස්වරයාගේ වාර්තාව සමඟද එකඟ නොවූයෙමු.

යෝජනාවට අදාළ රට වශයෙන් ශ්‍රී ලංකාවේ එකඟතාවෙන් තොරව 51/1 යෝජනාව කවුන්සිලයට ඉදිරිපත් කරන ලද අතර එය බෙදී ගිය ඡන්දයකින් සම්මත විය. එබැවින්, මෙම යෝජනාව මඟින් ස්ථාපිත කරනු ලැබූ බලාධිකාරය දීර්ඝ කිරීම සඳහා පසුව ගනු ලබන කිසිදු තීරණයක් සම්බන්ධයෙන් කවුන්සිලය තුළ සම්මුතියක් නොපවතියි.

අප මෙම කවුන්සිලයට යළි යළිත් සිහිපත් කර ඇති පරිදි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය තුළ මෙම බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය පිහිටුවීම කවුන්සිලයේ බලාධිකාරය පෙර නුවූ විරූ ලෙස සහ අත්තනෝමතික ලෙස ව්‍යාප්ත කිරීමක් වන අතර කවුන්සිලයේ ආරම්භක මූලධර්ම වන  අපක්ෂපාතීත්වයට, වාස්තවිකත්වයට සහ තෝරා නොගැනීමට පටහැනිය.

ස්වකීය ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාත්මක වන සහ රටේ දේශීය නෛතික ක්‍රියාදාම පූර්ව විනිශ්චයට ලක් කරන බාහිර යාන්ත්‍රණයක් අධිස්ථාපනය කිරීම කිසිදු ස්වෛරී රාජ්‍යයකට පිළිගත නොහැකිය. තවද, මෙම යාන්ත්‍රණයේ නොනැවතී ව්‍යාප්ත වන බලාධිකාරය සැලැකිල්ලට ගනිමින්, එකී යාන්ත්‍රණය නිසා ඇති වන ප්‍රතිපාදනමය ගැටලු පිළිබඳව බොහෝ රටවල් දැනටමත් සිය කනස්සල්ල පළ කොට ඇත.

ඉහත දක්වන ලද හේතු මත, 51/1 යෝජනා සම්මතයේ බලාධිකාරය දීර්ඝ කිරීම සඳහා අද දින මෙම කවුන්සිලය හමුවේ ඉදිරිපත් කෙරෙන කෙටුම්පත් යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට අපට සිදුවී තිබේ.

ගරු සභාපතිතුමනි,

අප විසින් යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබූවද, නිත්‍ය මානව හිමිකම් ආයතන සහ අප පාර්ශ්වකරුවන් වන සියලුම මූලික මානව හිමිකම් ගිවිසුම් මෙන්ම විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලිය යටතේ අප සතු වගකීම්ද ඇතුළුව මෙම කවුන්සිලය සමඟ ස්වකීය දීර්ඝකාලීන හා අර්ථසම්පන්න සබඳතා ශ්‍රී ලංකාව අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. අප අත්කර ගන්නා ප්‍රගතිය පිළිබඳව අපි කවුන්සිලය දැනුම්වත් කරන්නෙමු.

අප අපගේ රටේ නව පරිච්ඡේදයකට පිවිසෙන්නා වූ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහය දක්වමින් බොහෝ රටවල් මෙම කවුන්සිලයේදී ගත්තා වූ ප්‍රතිපත්තිමය ස්ථාවරයන්ද මම අගය කිරීමට කැමැත්තෙමි.

මානව හිමිකම් සහ මානුෂීය තත්ත්වයන් පිළිබඳ බහුපාර්ශ්වික ප්‍රජාව තුළ දැඩි සර්වදෝෂදර්ශී ස්වභාවයක් සහ ධ්‍රැවීකරණයක් ඇතිවමින් පවතින අවස්ථාවක, එකී සම්මතයන් හාස්‍යයට ලක්වන සන්දර්භයක් තුළ, දේශීය ක්‍රියාදාම හරහා සහ අපගේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව මානව හිමිකම් සහ සංහිඳියාව සාක්ෂාත් කරගැනීමට රජය සතු පැහැදිලි ආධ්‍යාශයට සහය දක්වා එය උනන්දු කරවන ලෙස, අප විරෝධය පළ කරන මෙම දේශපාලනීකරණය වූ කෙටුම්පත් යෝජනාවේ සම අනුග්‍රාහකයන්ගෙන් අපි උදක්ම ඉල්ලා සිටිමු.

ස්තූතියි, ගරු සභාපතිතුමනි.

Archive

Latest news

Related news