Tuesday, September 17, 2024

රාජපක්ෂවරුන්ට තර්ජන ඇතැයි මැතිවරණ කොමිසමට පැමිණිළි: තර්ජන එන තැන් එක පෙළට මෙන්න!

මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි, ඊයේ (09දා) ඡනාධිපති අපේක්ෂකයින් සමඟ මැතිවරණ කොමිසම පැවැත් වූ සාකච්ඡාවෙහි දී වාර්තා කරන ලදී. එම පැමිණිල්ල ඉදිරිපත් කළේ නාමල් රාජපක්ෂ වෙනුවෙන් පැමිණ සිටි රේණුක පෙරේරාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ එම තර්ජන එනු ඇත්තේ අවතාර ලෙස බවයි.

එක් අවතාරයක් නම් රාජපක්ෂ සමයෙහි දී ඝාතනය කර පුළුස්සා දමන ලද රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ය. වාහනයට නගින සෑම වාරයක් පාසාම තාජුඩීන් තමන් ඉදිරියේ පාදුර්භුත වීම දරුණූ තර්ජනයක් විය හැකි බව ඔවුහු පවසති. තජුඩීන් අත ඇති රගර් බෝලය පෙනී යනු ඇත්තේ මහා අත් බෝම්බයක් ලෙසය.

ත්‍රී වීලයක් පසුකර යන සෑම අවස්ථාවකම එහි රඳවා ගෙන පැහරගෙන යන ප්‍රගීත් එක්නැළිගොඩද පෙනී යාමට ඉඩ තිබේ. ඔහු උලුක් කර ගෙන සිටින පැන්සල මාරාන්තික අවියක් ලෙස පෙනී යාමට පුළුවන.

ගල්කිස්ස පසු කර යන විට ලසන්ත වික්‍රමතුංග පෙනී යාමට ඉඩ තිබේ. හිසෙන් ගලා එන ලේ ඇතිව ඔහු රැගෙන එන “ද ලිඩර් “ පුවත්පත පෙනී යනු ඇත්තේ මායාකාරී සිනමා පට වල කඩදාසියෙන් බෙල්ල කපන ආයුධයක් ලෙසය.

මැතිවරණ කොමිසමට පැමිණිළි කළද රාජපක්ෂ සමයෙහි ඝාතනය කරන ලද ජනමාධ්‍යවේදීන් ගේ මනෝකායයන්ගෙන් රාජපක්ෂවරුන්ට ගැලවීමක් නැති බව හිමිකම් ක්‍රියාදරයෝ පවසති.

කරන කලට පව් මීරිය මී සේ

විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

යැයි කියන්නේ, රාජපක්ෂවරුනි අන්න එනිසාය.

පසු සටහන:

රනිල් රාජපක්ෂට ද බේරීමක් නැති වනු ඇත්තේ බටලන්දේ වද දී ඝාතනය කල තරුණ තරුණියන්ගේ අවතාර වලිනි.

ඇතුගල විසිනි.

Archive

Latest news

Related news