මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ විසින් පසුගිය 07දා කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ජාතික ජනබලවේගයේ නීතිඥයෝ සංවිධානයේ සමුළුව අමතමින් කළ සම්පූර්ණ කතාව.
“නීතියේ ආධිපත්‍යය කලක් සාධාරණත්වය, සමානාත්මතාව සහ යුක්තියේ සලකුණු බවට පත්ව තිබුණා. නමුත් දැන් එය ඉතා දුර්වලව ඇති බව දකින්න පුළුවන්. නීතිය නොසලකා හැරීම හෝ තෝරාගත් පාර් ශවයන්ට වෙනස් ආකාරයට නීතිය ක්‍රියාත්මක කරන සෑම අවස්ථාවකදීම ඒකාධිපතිත්වය, නිලධාරීවාදය වැනි ඉතා අමිහිරි ප්‍රතිඵල විඳින්නට සිදුවෙනවා. අප අද අත්විඳින නිදහස දිනාගැනීමට අපේ මුතුන් මිත්තන් ඉතා ධෛර්ය සම්පන්නව සටන් කරනු ලැබුවා. ඔවුන් මේ දේශය අවදිකරනු ලැබුවේ ජාති, ආගම් බේද නොසලකා හරිමින් සියල්ලන්ටම ගෞරවණීයව සහ අභිමානයෙන් ජීවත්විය හැකි ආකාරයෙන්. නීතිය සහ සාධාරණත්වය සැමටම සමානව අත්විඳිය හැකි ආකාරයට පසුබිම නිරමාණය වී තිබුණා. ඒත් අද අපි අත්විඳින තත්ත්වය කුමක්ද?
අද වනවිට නීතියේ ආධිපත්‍ය ඉවතදමා පමණක් නොව එය නොසලකා හරින වාතාවරණයක් උදාවෙලා තියෙනවා. අප අද අත්විඳින්නේ ප්‍රජාතන්තවාදී ආයතනික ව්‍යූහයේ දරුණු ගරාවැටීමක් සහ අධිකරණ පද්ධතිය දුර්වල කිරීමට දරන උත්සාහයක්. අධිකරණය විසින් නියම කරන ලද නියෝග නොතකාහැරීම් දකින්න ලැබෙනවා.
එවැනි ක්‍රියාවන් තුළින් මතුවන්නේ ඉතා වැරදි ආදර්ශයන් මෙන්ම ඉතා භයානක තත්ත්වයන්. නීතියේ ආධිපත්‍යය යනු සමාජයක සංවර් ධනයට බාධාවක් නොවෙයි. සැබෑ ලෙසම යහපත් සමාජයේ පැවැත්ම ගොඩනැගෙන්නේ නීතියේ ආධිපත්‍ය නැමති අඩිතාලම මතින්. එමගින් ආයෝජකයන්ට බිය සැක නොමැතිව ආයෝජනය කළ හැකි, ව්‍යාපාරිකයන්ට සැකයකින් තොරව ව්‍යාපාර කළ හැකි මෙන්ම මිනිසුන්ට නිදහසේ ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කරනු ලබනවා.
නීතිවේදීන් ලෙස නීතියේ ආධිපත්‍යයේ සහ මූලික මිනිස් අයිතිවාසිකම්වල ආරක්ෂකයන් වන්නේ ඔබයි. යුක්තිය සහ සමානාත්මතාව වෙනුවෙන් ඔබේ කැපවීම සාමාජයට අවශ්‍ය කරලා තියෙනවා. ඒ වගකීම දැරිය හැක්කේ ඔබට පමණයි, ඔබගේ ක්‍රියාමාර්ගයන්ට සැලකිය යුතු වෙනසක් සිදුකිරීමට හැකියාව තිබෙනවා.
නීතියේ ආධිපත්‍යයට හිස නමන නායකයෙක් ජනතාවගේ අයිතීන්ට ගරු කරන අතර නීතියට අනුව කටයුතු කිරීමට බැඳෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පාරදෘශ්‍යභාවය වර්ධනය වීම සහ වංචාවන් වැලකීම සිදුවෙනවා. ඒ නිසා නායකයෙක් නීතියේ ආධිපත්‍ය සැමවිටම ආරක්ෂා කළ යුතුයි.
නායකයා සිය භාවිතාවෙන්ම නීතියට අනුකූලව කටයුතු කිරීමෙන් ආදර්ශ සැපයිය යුතුයි. යම් තැනකදී නායකයා නීතියෙන් පිට කටයුතු කරයි නම්, නීතිය නොතකා හරී නම්, ජනතාවට ඔහු සම්බන්ධයෙන් පවතින විශ්වාසය බිඳවැටෙනවා. නායකයා පාරදෘශ්‍යභාවයෙන් කටයුතු කිරීම සහ තීරණ ගැනීම කළ යුතුයි. ඔවුන්ගේ මූල්‍ය නැමියාව සහ ළබැඳිතාවයන් අතර ගැටීම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කළ යුතුයි. නායකයන් සිය නීතියට අනුව කටයුතු කිරීමේ ස්වභාවය විදහා දැක්වීමට ඔවුන්ට ස්වාධීන විගණනයන් සහ නීත්‍යානුකූල පටිපාටි හරහා අවස්ථාවක් හිමිවෙනවා. නායකයා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතුයි. අධිකරණයට විධායකයෙන් හෝ ව්‍යවස්ථාදායකයෙන් සිදු වන බාධාවීම් නතර කළ යුතුයි. එසේම අධිකරණයේ විනිසුරුවරුන්ට දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර අපක්ෂපාතී තීරණ ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සහතික විය යුතුයි.
නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඉහළ ගුණත්වයකින් යුතු සේවාවක් සැපයීම සහ ආචාරධර්ම ආරක්ෂා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්, විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබාදිය යුතු අතර, ඔවුන්ට වංචාවලින් වැලකීමට සහ මානව හිමිකම්වලට ගරු කිරීමට පුහුණු කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතින් සිදුවන අක්‍රමිකතා සහ අයථා ක්‍රියා වැලැක්වීමට තදින් ක්‍රියා කළ යුතු අතර, අභ්‍යන්තර විමර්ශනයන් සහ ස්වාධීන නියාමන ඒකක මගින් මෙය සිදු කළ හැකියි.
රජයේ ආයතන ජනතාවට පාරදෘශ්‍යවීම සහ වගවීම සිදු කළ යුතුයි. විශේෂයෙන්ම ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගත හැකි ආකාරයට මෙම ආයතනවල යාන්ත්‍රණය සකස් විය යුතුයි. එසේම වංචා සහ දූෂණ වැලැක්වීම සඳහා ක්‍රියාත්මක විය යුතු අතර, ඒවා සම්බන්ධ නීති දැඩි කිරීම සහ වංචා සහ දූෂණ වැලැක්වීමට ක්‍රියාත්මක වන ආයතන පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කළ යුතුයි. ඉතිහාසයේ වරින් වර සිදුවූ ඛේදජනක සිදුවීම් නැවත නැවත සිදු නොවන්නට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතුයි. බරපතළ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් හුදෙක්ම හුදෙකලා සිදුවීම් නොව ඒවායින් ගම්‍ය වන්නේ රට විසින් පොරොන්දු වී ඇති මානව හිමිකම් රැකීමට ඇති අසමත්භාවයයි.
රජය ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සිදුකිරීමට අපොහොසත් වන අවස්ථාවලදී ජනතාවට රජය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බරපතළ ලෙස බිඳවැටෙයි. එකී ගරාවැටීමේ ප්‍රතිඵල ඉතා පුළුල්ව පැතිර යා හැකි අතර, රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඇති සම්පූර්ණ විශ්වාසය බිඳවැටෙනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ආර්ථික සංවර්ධනය සහ සමාජ සංවර්ධනයට බාධා ඇතිවීමයි. ඒ නිසා නීතියේ ආධිපත්‍යය මත කටයුතු කිරීමෙන් තොරව යහපත් සහ සංවර්ධනය වූ රාජ්‍යයක සිහිනය යථාර්ථයක් කරගැනීම කළ නොහැකියි. මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඉතා කැපවීමෙන් ක්‍රියා කළ යුතු අතර, අතීතයේ සිදුවූ ඛේදජනක සිදුවීම් නැවත සිදුවීම වැලැක්වීමට ඇති එකම මාර්ගය වන්නේ ද එයයි. සමාජයේ විවිධ පාර්ශවයන්ට පොදුවේ විවෘත කතිකාවතකට මගපෑදීම සිදු කළ යුතු අතර, එමගින් සමාජ සංහිඳියාව වැඩිදියුණු වෙනවා. සමාජ සංහිඳියාව සහ ජනතාවට වග නොකියන පාලනයන්ගේ ප්‍රතිඵල ප්‍රංශ විප්ලවය, රුසියානු විප්ලවය, අරාබි වසන්තය යන උදාහරණවලින් අපිට හොඳින් වටහාගත හැකියි. මේ සෑම අවස්ථාවකදීම මිනිස් අයිතිවාසිකම් නොසලකා හැරීම නිසා ඇති වුණු පීඩනයන් පොදුවේ ජනතා විරෝධයන් බවට පත්වුණා. ඒවාගේ ප්‍රතිඵල ලෙස ජනතා නැගීසිටීම් සහ ආණ්ඩු බිඳවැටම් සිදු වුණා.
ඕනෑම රටක ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම එම රටේ සමබර පැවැත්මට විශාල හානියක් ඇතිවීමට හේතුවෙනවා. ඒ නිසා මිනිසුන්ගේ නිදහස් ජීවිතයට සහ සාධාරණ පැවැත්මට හානි සිදුවෙනවා. එහි ප්‍රතිඵලයන් ලෙස ඇතිවන නොසන්සුන්තා හේතුවෙන් ආර්ථිකය කඩා වැටීම, රාජ්‍යය අස්ථාවරවීම් වැනි දේ සිදුවිය හැකියි. අප පසුගිය මැයි 9 වැනි දිනක අත්වින්ඳේද එවැනි සිදුවීමක්. එවැනි සිදුවීම් නැවත සිදුවීම වැලැක්වීමට රජයකට පූර්ව පියවර ගණනාවක් ගැනීමට සිදුවෙනවා. රජයකට එවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදි පියවර ගැනීමට වගකීමක් තිබෙනවා. නමුත් අප ‘අරගලය‘ සමයේ දුටුවේ රජය එවැනි ජනතා නැගිටීම්වල මූල හේතු සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදු නොකළ බවයි.
රටේ නීතියේ ආධිපත්‍යය බිඳවැටීම සම්බන්ධයෙන් රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. කලක් ඉතා ඉහළ මට්ටමක පැවති අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳවැටීමේ වගකීම රජය විසින් බාරගත යුතුයි. සමාජ කණ්ඩායම් අතර පැවති අසමානතාවන්, තරුණයන්ගේ ගැටළු හෝ පොදුවේ සමාජයේ පවතින ගැටළු හඳුනාගැනීම සිදු වුණේ නෑ. එසේම නීතියේ ආධිපත්‍යය ද රජයේ ක්‍රියාමාර්ග අතරේ අභියෝගයකට ලක්වුණා. රටේ අනාගත තරුණ පරපුර මෙකී ගැටළුවලට විධිමත් පිළිතුරු අපේක්ෂාවෙන් හඬනැගුවා. සමාජයක් ලෙස අපට නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන, සමාජ සාධාරණත්වය ඇති, නීතියට ඉහළින් කිසිවෙකුත් නැති රටක් හිමිවිය යුතුයි.
අධිකරණ පද්ධතිය සවිබලගැන්වීම, අධිකරණවලට සහ නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය සම්පත් සහ පහසුකම් ලබාදී එයින් සිදුකරන සේවාවන් ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව මම තරයේ ඉල්ලා සිටිනවා. වංචාවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම, රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් වගවීමට බැඳීම, ජනතාව ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීම සහ ඒවා කඩවන සෑම අවස්ථාවකදීම කිසිදු බියකින් තොරව ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි.
අතීතයේ ඉතා සොඳුරු දිවයිනක් වූ මේ රට අද වන විට අපේ දරුවන්ට යුද බිමක් බවට පත්ව තිබෙනවා. වෙඩි තැබීම්, ඝාතනය කිරීම්, දරුවන් අපයෝජනයට ලක්කිරීම්, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් සීඝ්‍රයෙන් මෙරට හැරදමා මිනිසුන්ගේ හිමිකම් ආරක්ෂා කරන, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන, නීතියේ ආධිපත්‍ය සුරකින රටවල්වලට යෑම අප අත්දකිමින් තිබෙනවා. නීතියේ ආධිපත්‍යයට ගරු නොකොට, එය නොරැක දියුණු වූ ආර්ථිකයක්, ස්ථාවර වූ රටක් ඇති බව හෝ ඇති විය හැකි බව කවරෙක් හෝ කියන්නේ නම් එය අපට පිළිගත නොහැකියි.
අද සමහරු කියා සිටින්නේ රටේ ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් තිබෙන බවයි. එහෙත් රටේ නීතියට අවනතවීමකින් තොරව කිසිදු සංවර්ධනයක් හෝ ස්ථාවරත්වයක් ඇතිවිය නොහැකියි. නීතියේ ආධිපත්‍යයට ගරු නොකරන රටක ආයෝජන සිදුකරන්නේ කවුරුන්ද? ආයෝජකයන් හෝ ව්‍යාපාරිකයන් තමන්ගේ කටයුතු සිදුකරන්නේ විශ්වාසය තැබිය හැකි සහ පාරදෘශ්‍ය නීති පද්ධතියක් පවතින රටවලයි. ඒ විශ්වාසය නොමැති තැන ආර්ථික වර්ධනයට බාධා සිදුවෙනවා.
අගෝස්තු 27 වැනිදා ඩේලිමිරර් පුවත්පත වාර්තා කරන ආකාරයට ජනාධිපතිවරයා රට පුරා මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදා කැඳවා තිබෙනවා. ආරක්ෂක හමුදාව මෙලෙස කැඳවන්නේ පොලීසියට මහජන සාමය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය පවත්වාගැනීමට අපහසු අවස්ථාවල පමණයි. නමුත් කණගාටුවට කරුණ නම් අපේ රටේ පොලීසිය නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යා නොහැකි තැනකට පත්ව තිබෙනවා.
අප සහය දැක්විය යුත්තේ නීතියේ ආධිපත්‍යය පවත්වාගැනීම හා මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කළ හැකි නායකයෙකුටයි, ඉතා පහළ තැනක සිට ඉහළ තැනක් දක්වා රට ඔසවා තබන නායකයෙකුටයි, ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ රටක් බවට පත්කරන නායකයෙකුටයි. අප නැගීසිටිය යුතුයි. එහෙත් ඒ ආවේගයෙන් හෝ හිංසනකාරීව නොව එකමුතුව සහ එක්සත්ව.
පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක සිහිනය ඇත්තේ අපේ සීමාවේ. එයට දැඩි කැපවීමක් සහ සමාජ සාධාරණත්වය උදෙසා කැපකිරීමක්, පුරවැසියාගේ බලය සම්බන්ධයෙන් විශ්වාසයක් තිබිය යුතුයි. අපි එක්ව වැඩ කරමු, මේ රට ගොඩනැගීමට, සියලුම පුරවැසියන්ට ගෞරවණීය ලෙස සලකන රටක් ගොඩනැගීමට, ඒ සඳහා අප එක්ව ක්‍රියාත්මක වෙමින් නීතීයේ ආධිපත්‍යය සහ සාධාරණත්වය උදෙසා අපගේ අද්විතීය කාර්යභාරය සිදු කළ යුතුයි.
ස්තූතියි.”
Lanka Truth.