Friday, September 27, 2024

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය: රනිල් රාජපක්ෂ ගෝටාගේ අඩිපාරේ

සේ.පියවර්ධන විසිනි.

අද  (සැප් 09) දින ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57වන සැසිවාරයෙහි දී රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෝටාගේ අඩිපාර දිගේම යමින් තිබෙන බව යළි තහවුරු විය.

මානව හිමිකම් කවුන්සිලය වෙත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රි ලංකා තානාපතිනිය කියා සිටියේ මෙයයි:

“ අත්තනෝමතික හා ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට (එනම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට) ශ්‍රී ලංකාව දැඩි ලෙස විරුද්ධ වේ. සාමාජික රටවල් විසින් මහ කොමසාරිස්වරයාගේ වෙත ලබා දී ඇති වරම ඉක්මවා යාම සහ දේශපාලනීකරණය වීම මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ  වැඩ පිළිබඳ විශ්වාසය ඛාදනය වීමට හේතු විය හැක.”

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය: එ.ජා. මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සම්පූර්ණයෙන් සිංහලෙන් කියවන්න

මේ වනාහී ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලු රාජපක්ෂවරුන් මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් දරන ලද මතයමය. එය සෑම යෝජනාවකටම විරුද්ධ වූයේ එම තර්කය උඩය.

දැන රනිල් රාජපක්ෂගේ විදේශ ප්‍රතිපත්තිය ලොවට ගෙන යන්නේ ගෝටාභය රාජපක්ෂගේ පුද්ගලික නීතිඥයා සහ අතවැසියකු වූ අලි සබ්රිය. ඔහු මෙම වාර්තාව ගැන කතා කරමින් කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ පිළිවෙත මෙහෙය වන්නේ දෙමළ ඩයස්පෝරාව මගින් බවයි.

ඊටත් වඩා හාස්‍යයට කාරණා වන්නේ මෙම ප්‍රකාශය කළේ ඕස්ට්‍රේලියානු අධීකරණයක් මගින් මානව හිමිකම් කෙළෙසීමක් සම්බන්ධයෙන් වරදකරු කර දඩ ගෙවිමට නියම කර ඇති එරට හිටපු ශ්‍රී ලංකා තානාපතියනි වන හිමාලි කරුණාරත්න වීමයි. දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ලෝකයට මානව හිමිකම් කියා දෙන්නට යොදා ගෙන ඇත්තේ මානව හිමිකම් කඩකරන ලද තැනැත්තියකි.

වධකයකු ලෙස ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඩුවම් කරන ලද දේශබන්දු පොලිස්පති කළ රනිල් රාජපක්ෂට ලෝකයට මානව හිමිකම් කියා දීමට ලොව ඉදිරියේ අජූත වි ඇති නිලධාරිනියක යොදා ගැනීම අරුමයක් නොවේ.

රනිල් රාජපක්ෂගේ මානව හිමිකම් සලුපට දැන් හුළගේ ගොස්ය.

ඊටත් වඩා ලැජ්ජා සහගත ක්‍රියාව වන්නේ 2015 වසරෙහිදි රනිල් වික්‍රමසිංහ සිය    අගමැතිධූරය යටතෙහි මානව හිමිකම් කවුන්සිලය හා එක්ව සම්මත කර ගන්නා ලද “ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම් සහ සංහිදියාව” නම් 30/1 දරන යෝජනාවටද දැන් රනිල් රාජපක්ෂ විරුද්ධ වීමයි. එම යෝජනාවෙන් දැන් රනිල් රාජපක්ෂද ඉවත් වී තිබේ.

රනිල් රාජපක්ෂගේ ප්‍රතිපත්තියක් නැතිකමට මේ තවත් එක් නිදසුනක් පමණි.

අද මානව හිමිකම් කවුන්සිලය හමුයේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව මෙසේද කීවේය:” මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාව මගින් ස්ථාපිත කර 51/1 යෝජනාව මගින් දීර්ඝ කරන ලද බාහිර සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන අතර එය සියලු රටවල් සඳහා පුළුල් පරාසයක නෛතික හා දේශපාලන ඇඟවුම් ඇති බව නැවත නැවත අවධාරණය කරයි. එය ප්‍රයෝජනයක් නැති අතර ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභයක් නොමැතිව ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් බෙදීමට සහ තවදුරටත් ධ්‍රැවීකරණය කිරීමට පමණක් සේවය කරයි.”

මෙයින් අදහස් කරන්නේ කිසිදු අන්දමකින් යුද වින්දිතයිනට යුක්තිය ලබා දීමට රනිල් රාජපක්ෂ දක්වන විරෝධයයි. මන්ද යත් එම යාන්ත්‍රණය පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුව ඇති බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්පන්ධයෙන් තොරතුරු එක් කිරීමට නිසාය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි සිදුවිම්ද ඊට ඇතුලත්ය.

රනිල් රාජපක්ෂ දැන්, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට යුක්තිය ඉටු කිරීමට විරුද්ධ බව ඉන් ගම්‍ය වේ.

තවත් පුදුමාකාර අවස්ථාවාදයක් වන්නේ යුද සමයෙහි ශ්‍රී ලංකාවේ සිදු වු යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා මානව හිමිකම් කමිටුව ඉදිරියට නිතිපතා පැමිණි නිමල්කා ප්‍රනාන්දු වැනි පිරිස් ද රනිල් රාජපක්ෂගේ මෙම පියවර අනුමත කරමින් ඔහුගේ බජව් පාටියට එක්ව සිටීමයි. එකල ඇය වැනි පිරිස් මෙරට යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලා  මානව හිමිකම් කවුන්සිලය ඉදිරියෙහි කරන ලද කතා තවමත් අන්තර් ජාලයේ තිබේ.

රනිල් රාජපක්ෂටත් ගෝල බාල හැත්තටත් කළ එළීයේ ඇදුම් ගැලවීමට ලැජ්ජාවක් නැත.

Archive

Latest news

Related news