Monday, October 14, 2024

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය: එ.ජා. මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සම්පූර්ණයෙන් සිංහලෙන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට අනුව ඉදිරිපත් කර ඇති වර්තමාන වාර්තාවෙහි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සපයන අතර, මානව හිමිකම් භුක්ති විදීමට දීර්ඝ කාලීන බලපෑමක් ඇති කළ හැකි ප්‍රවණතා කිහිපයක් ඉස්මතු කරයි.

රටේ මූලික අයිතිවාසිකම් සහ නිදහස, අතීතයේ සහ වර්තමාන මානව හිමිකම් කඩකිරීම් සඳහා දණ්ඩ මුක්තිය සහ පාලනයේ වගවීම සඳහා වූ පුළුල් ඉල්ලීම් අතර සහසම්බන්ධය සටහන් කරමින්, සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව යන දෙඅංශයෙන්ම ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තාව නිර්දේශ ඉදිරිපත් කරයි.

සම්පූර්ණ වාර්තාවෙහි සංහල පර්වර්තනය පීඩීඑෆ් ගොනුවක් ලෙස පහත අමුණා ඇත.

සම්පුර්ණ වාර්තාව පීඩීඑෆ් ගොනුවක් ලෙස බා ගත කරගන්න: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව, සැප..2024 PDF

එහි නිගමන සහ නිරදේශ මෙසේය:

නිගමන සහ නිර්දේශ

  1. ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට ළගා වන විට, 2022 දී විරෝධතා දැක්වූ ශ්‍රී ලාංකිකයන්ගේ පුළුල් හරස්කඩක් විසින් ඉල්ලා සිටින ලද පරිවර්තනීය වෙනස්කම් සඳහා නැවත කැපවීමට අවස්ථාවක් තිබේ. මැතිවරණ කාලයට පෙර සහ පසුව රජයට වගකීමක් ඇත. එනම් විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය හෝ අධික ලෙස බලය යෙදවීමෙන් වැළකීම ඇතුළුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ආශ්‍රය කිරීමේ සහ සාමකාමීව රැස්වීමේ අයිතිය සම්පූර්ණයෙන් ආරක්‍ෂා කිරීම සහ ඒවාට ගරු කිරීම, ආගමිකත්වය මත ස්ත්‍රී පුරුෂ භාවය හෝ වෙනත් හේතූන් මත පදනම් වූ භේදකාරී සහ වෙනස් කොට සැලකීමේ වාචාල කතා සහ භාවිතයන් වැළැක්වීමට සහ ඒවාට මුහුණ දීමට පියවර ගැනීම සහ මැතිවරණ ආශ්‍රිත සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් වැළැක්වීම යනාදියයි.

  2. ආර්ථික අර්බුදය සහ ණය බර නිසා සියලුම ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන්ම දුප්පත්ම සහ අවදානම් තත්ත්වන්ට මුහුණ දෙන අනෙකුත් ජන කණ්ඩායම් මත ඇති කරන ගැඹුරු බලපෑම් පිළිබඳව මහ කොමසාරිස්වරයා අවධානයෙන් සිටී. පවතින ගෝලීය ආර්ථික තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය සැකැස්ම මගින් ශ්‍රී ලංකාව සහ අනෙකුත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම ආර්ථික ආතතිය තීව්‍ර වේ. ප්‍රමාණවත් සමාජ ආරක්ෂාවක් සහතික කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් මගින් ආර්ථික ප්‍රතිපත්ති සහ මූල්‍ය ඒකාග්‍රතාවය පිළිබඳ තීරණ මෙහෙයවිය යුතු බව ඔහු ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ බාහිර ණය හිමියන් ආර්ථීක, සමාජීය සහ සංස්කෘතික අයිතීන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය අවකාශය රජයට සැපයිය යුතු අතර මුල්‍ය කප්පාදු පියවර මගින් මානව හිමිකම් වගකීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව අඩපණ නොවීමට වග බලා ගත යුතුය.

  3. වාර්තාකරණ කාල සීමාව තුළ නිරීක්ෂණය වූ නව ප්‍රතිගාමී නීති, ප්‍රජාතන්ත්‍රවාදී තුලන සහ සංවරණ ඛාදනය, වින්දිතයින්ට, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහි තර්ජන, බිය ගැන්වීම් සහ ප්‍රචණ්ඩත්වයන් සහ අතීතයේ සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත හිස ඔසවමින් පෙන්නුම් කරන මූලික නිදහසට අඛණ්ඩව ගරු නොකිරීම ඇතුළුව නැගී එන ප්‍රවණතා ගැඹුරු සැලකිල්ලකට හේතු වේ.

  4. වින්දිතයන්ගේ දුක් වේදනා නිශ්චිතව හඳුනා ගැනීමට, දරුණූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් හමුදාවේ සහ අනෙකුත් ආරක්ෂක හමුදාවන්ගේ භූමිකාව පිළිගැනීමට සහ අතීතයේ සහ වර්තමානයේ සිදු කරන ලද උල්ලංඝනයන් පිළිනොගැනීමට ශ්‍රී ලංකා රජය අසමත් වීම නීතියේ ආධිපත්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට සහ යහපාලනයට ප්‍රධාන බාධාවක් වී ඇත. බරපතල අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පිළිගත හැකි ලෙස සම්බන්ධ වී ඇති බොහෝ ව්‍යුහයන් සහ රාජ්‍ය යාන්ත්‍රණයේ සමහර සාමාජිකයන් ක්‍රියාශීලී ව සිටින අතර, වගවීම සම්බන්ධයෙන් අර්ථවත් ප්‍රගතියක් වළක්වන අතර මානව හිමිකම් කඩකිරීම් අඛණ්ඩව කර ගෙන යයි. 51 වැනි මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේ වාර්තාවේ සඳහන් කර ඇති පරිදි, 2022 දී ආර්ථික අර්බුදයට හේතු වූ සහ මහජන විරෝධතාවලට තුඩු දුන් දූෂණය සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම තුළ ද මුල් බැසගත් දණ්ඩ මුක්තිය ප්‍රකාශ වී තිබේ.

  5. මැතිවරණයෙන් පසුව, අලුතින් තේරී පත් වන ආණ්ඩුව, හදිසි අවශ්‍යතාවයක් ලෙස, ගැටුමේ මූල හේතු ආමන්ත්‍රණය කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සහ දේශපාලන අධිකාරිය බෙදා හැරීමට මෙන්ම වගවීම සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය මූලික ව්‍යවස්ථාමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කිරීම ඇතුළත් ජාතික දැක්මක් ශ්‍රී ලංකාව සඳහා අනුගමනය කළ යුතුය.

  6. වගවීම, ප්‍රතිසන්ධානය, සහ අනාගත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා මූලික වෙනස්කම් අවශ්‍ය වේ. මෙයට සැලකිය යුතු ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඇතුළත් වන අතර, බරපතල උල්ලංඝනයන්ට සම්බන්ධ වූවන් ඉවත් කිරීම සඳහා පරීක්ෂා කිරීම සහ මානව හිමිකම් ප්‍රමිතීන්ට දැඩි ලෙස අනුකූල වීම සහතික කෙරෙන මෙහෙයුම් සහ අධිකරණ රාමුවක් ස්ථාපිත කිරීම ඇතුළත් වේ. රටේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වීම, බරපතල උල්ලංඝනයන් නැවත සිදු වීම වැළැක්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සහ බලය බෙදා හැර ඇති පාලන පද්ධති ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය, නෛතික සහ ආයතනික ප්‍රතිසංස්කරණ රජය විසින් සිදු කළ යුතුය. OHCHR මෙම මාවතෙහි ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම්ව සිටී.

  7. මානව හිමිකම් කවුන්සිලයේ 46/1 සහ 51/1 යෝජනා යටතේ වගවීම සම්බන්ධ කටයුතු සිදු කිරීම සඳහා OHCHR හි පූර්ණ ශක්‍යතාවට සහාය දීමෙන් සහ එය භාවිතා කරමින් මානව හිමිකම් කවුන්සිලය සහ තනි තනි එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ශ්‍රී ලංකාවේ වගවීමේ හිඩැස පිරවීමට සහ රට තුළ අර්ථවත් වගවීම සහ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සිදු කිරීම සඳහා අවශ්‍ය කොන්දේසි සහ දේශපාලන අධිෂ්ඨානය නිර්මාණය කිරීමට දායක වීම දිගටම කළ යුතුය.

  8. මහ කොමසාරිස්වරයාගේ පෙර වාර්තාවල නිර්දේශ මත රජයට පහත සඳහන් නිර්දේශ ගොඩනගා ඇත.[1]

  (අ) කාන්තාවන්ට සහ සුළුතර ප්‍රජාවන්ට එරෙහිව වෙනස් කොට සැලකීම, වෛරය සහ ප්‍රචණ්ඩත්වය අවුස්සන ආගමික ක්‍රියාකාරීන්ගේ කතා සහ ක්‍රියා වැළැක්වීම සහ හෙළා දැකීම ඇතුළුව, සියලු දෙනාටම නොවෙනස්ව සැලකීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම මත පදනම්ව, ශ්‍රී ලංකාව සඳහා ඇතුළත්කර ගන්නා, බහුත්වවාදී දැක්මක් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීම.

  (ආ) රජයේ සෑම මට්ටමකදීම නිදහස් හා සාධාරණ මැතිවරණ හරහා දේශපාලන සහභාගීත්වය සඳහා ඇති අයිතිය තහවුරු කිරීම.

  (ඇ) හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම, උතුරු හා නැගෙනහිර නව ඉඩම් අත්පත් කර ගැනීම් නැවැත්වීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සියලු දිගුකාලීන රැඳවියන් නිදහස් කිරීම සහ වින්දිතයින් සහ අනුස්මරණ මුල පිරීම් නිර්-අපරාධකරණය සහ ඒවාට සහාය දීම වැනි විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමෙන් සංක්‍රාන්ති යුක්තිය සඳහා සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම.

  (ඈ) මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා ලබා සිටින අපරාධකරුවන් රජයේ, ආරක්ෂක අංශයේ, හෝ රාජ්‍යතාන්ත්‍රික තනතුරුවල මෙන්ම, විශේෂයෙන්ම සංක්‍රාන්ති යුක්තිය සහ වගවීම සාක්ෂාත් කර ගැනීම සඳහා පිහිටුවා ඇති ඕනෑම ආයතනයක ඉහළ මට්ටමේ තනතුරුවලට පත් කිරීමෙන් හෝ ප්‍රවර්ධනය කිරීමෙන් වැළකීම සහ ඉවත් කිරීම.

  (ඉ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම තාවකාලිකව නැවැත්වීම සහ ඕනෑම ප්‍රතිස්ථාපන නීතියක් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට සහ ත්‍රස්ත විරෝධී නීති සම්පාදනය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් කලින් දක්වා ඇති මිණුම් සලකුණු වලට අනුකූල බව සහතික කිරීම.[2]

  (ඊ) මාර්ගගත ආරක්ෂණ පනත, අයිසීසීපීආර් පනත, රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පත සහ විදුලි සංදේශ පනතට යෝජිත සංශෝධන ඇතුළු අදහස් සහ ප්‍රකාශනයේ නිදහස, සමාගමය සහ සාමකාමීව රැස්වීමේ අයිතිය අනවශ්‍ය ලෙස සීමා කරන පවතින නීති හෝ යෝජිත නීති අවලංගු කිරීම හෝ සංශෝධනය කිරීම.

  (උ) අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, නීති විරෝධී ඝාතන, වධහිංසා පැමිණවීම්, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් තහනම් කර  අතර ඒවා ක්‍රමානුකූලව විමර්ශනය කර දඬුවම් කරනු ලබන බවට හමුදාවේ, බුද්ධි අංශවල සහ පොලිස් බලකායේ සියලුම ශාඛා වෙත ප්‍රසිද්ධියේ නිසැක උපදෙස් නිකුත් කිරීම.

  (ඌ) මානව හිමිකම් කඩකිරීම් සහ පසුගිය දශකවල සිදු කරන ලද ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධව අදාළ තොරතුරු තක්සේරු කිරීම සහ නඩු පැවරීමේ ස්වාධීන තීරණ ගැනීම සඳහා නීතිපතිවරයාගේ කාර්යයෙන් වෙන් වූ ස්වාධීන අභියෝජක අධිකාරියක් හදිසි අවශ්‍යතාවක් ලෙස ස්ථාපිත කිරීම.

  (ඉ) නීතිය ක්‍රියාත්මක කිරීම, වාණිජ සහ සිවිල් කටයුතු සඳහා හමුදාවේ මැදිහත් වීම වැළැක්වීම සහ උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදා ස්ථානගත කිරීම සැලකිය යුතු ලෙස අඩු කිරීම.

(ඊ) මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් කඩවීම්වලට ගොදුරුවූවන් සහ ඔවුන්ගේ පවුල්වලට, විශේෂයෙන්ම කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ සෝදිසි කිරීම් සහ හිරිහැර කිරීම් සහ පළිගැනීම් වහාම අවසන් කරන ලෙස සියලුම ආරක්ෂක ආයතන සහ බුද්ධි අංශවලට නියෝග කිරීම.

(එ) අවාසි සහගත සහ කොන් කරන ලද පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල ජීවන තත්ත්වය මත (ආර්ථික) කප්පාදු පියවරයන්ගේ බලපෑම තක්සේරු කිරීම සහ අවම කිරීම; සහ විශේෂයෙන්ම එම පුද්ගලයන් සහ කණ්ඩායම් සඳහා, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ අයිතිවාසිකම්වල එම මූලික අන්තර්ගතය ආරක්ෂා කිරීමට සුදුසු සියලු පියවර ගැනීම.

(ඒ) මානව හිමිකම් භුක්ති විඳීමට දූෂණයේ ඍණාත්මක බලපෑම තක්සේරු කිරීම සහ දූෂණ විරෝධී පියවරයන් මානව හිමිකම් බැඳීම් සමඟ අනුකූල වන බව සහතික කිරීම.

(ඔ) සමාජ ආරක්ෂණ පියවරයන් සමාජ ආරක්ෂණය සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීම ඇතුළුව එම පියවර අවාසි සහගත සහ ආන්තික පුද්ගලයන් සහ කණ්ඩායම් වෙත ළඟා වන බව සහතික කිරීම.

(ඕ) ඉඩම් ආරවුල් විනිවිද පෙනෙන, උපදේශනාත්මක, අපක්ෂපාතී සහ වෙනස් කොට සැලකීමකින් තොරව විනිශ්චය කිරීම සහ ආගමික ස්ථාන ඉදිකිරීම පිළිබඳ අන්තර් ආගමික සංවාදය සහතික කිරීම.

(ක)‘යුක්තිය’ මෙහෙයුම් නවතා, මෙම මෙහෙයුම යටතේ අත්අඩංගුවේ පසුවන සියලු දෙනා නිදහස් කිරීම; මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින්ට ප්‍රජා මූලික ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ හානි අවම කිරීම සඳහා සහාය ලබා දීම; මානව හිමිකම් සහ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ ජාත්‍යන්තර මාර්ගෝපදේශවලට අනුකූලව මානව හිමිකම් සහ මහජන සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් අන්තරායකාරී ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සහ

(ග) බලහත්කාර අතුරුදහන්වීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ 31 වැනි වගන්තිය යටතේ සන්නිවේදනයන් ලබා ගැනීමට සහ සලකා බැලීමට බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ කමිටුවේ නිපුණතාවය හඳුනාගෙන ජාත්‍යන්තර යුද අපරාධ කවුන්සිලයේ (අයිසීසී) හි රෝම ප්‍රඥප්තියට එකඟ වීම.

[1] A/HRC/46/20,para.60 and A/HRC/49/9, paras.67–69, A/HRC/51/5, paras.70–72; A/HRC/54/20, para.64.

[2] OL/LKA,7/2021.

 

 

Archive

Latest news

Related news