Wednesday, August 28, 2024

මැතිවරණ සමයේ රජය විසින් සහනාධාර සහ වැටුප් වර්ධක ලබා දෙන බවට නිවේදනය කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් – TISL 

රජය විසින් මැතිවරණ කාල සීමාව තුළ සහනාධාර සහ වැටුප් වර්ධක ලබා දෙන බවට ප්‍රකාශ කිරීම, මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) පෙන්වා දෙයි. 2024 ජනාධිපතිවරණයේදී රාජ්‍ය සම්පත් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අවභාවිත කිරීම පිළිබඳව TISL ආයතනය නිරීක්ෂණය කරයි.

2025 ජනවාරි සිට සියලුම රාජ්‍ය සේවකයින් සඳහා සියයට 24 සිට 35 දක්වා වන වැටුප් වැඩිවීමක් සහ රු.25,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව රජය පහුගිය සතියේ නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක සංඛ්‍යාව මිලියන 1.5 ක් පමණ වන අතර ඔවුන් සියල්ලෝම පාහේ ඡන්දදායකයෝ වෙති. ඊට අමතරව, විශ්‍රාමිකයින් සඳහා රු. 12,000ක ජීවන වියදම් දීමනාවක් රජය පොරොන්දු වී ඇත. අගෝස්තු 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරයක් සහ තේ වගාකරුවන් සඳහා පොහොර සහනාධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුනි. එමෙන්ම, වතු කම්කරුවන්ගේ අවම වැටුප මෑතකදී රු. 1,700 දක්වා වැඩි කරන ලදී.

මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සහනාධාර සහ වැටුප් වැඩිවීම් සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද යන්න රජය කොතැනකවත් පැහැදිලි කර නැත. ජනතාවට සහනාධාර ලබාදීම පිළිබඳව හෝ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රතිලාභ ලබාදීම පිළිබඳව TISL ආයතනය කිසිසේත් විරුද්ධ නොවේ. නමුත්, ඒවා මැතිවරණයක් පැවැත්වෙන මෙම කාල සීමාව තුළ ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව අපි විරුද්ධ වෙමු. මැතිවරණ කාලසීමාව තුළ අපේක්ෂකයෙකු සෘජුව හෝ වක්‍රව ප්‍රවර්ධනය කරන හෝ හානි වන අයුරින් පොදු සම්පත් පරිහරණය කිරීම තහනම් බව නීතියේ පැහැදිලිව සඳහන් වේ.

මෙම බරපතල ගැටළු සම්බන්ධයෙන් TISL ආයතනය විසින් සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොනු කර ඇත. පසුගිය සිකුරාදා (අගෝස්තු 23) වන විට, TISL ආයතනය විසින් පොදු සම්පත් අවභාවිතය පිළිබඳ පැමිණිලි 80 කට වඩා ඉදිරිපත් කර ඇත. එවැනි නීති උල්ලංඝනය කිරීම් ගණනාවකට මැතිවරණ කොමිසම මැදිහත් වී ඇති බව වාර්තා වන අතර, එසේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව TISL ආයතනය කොමිසමට ප්‍රශංසා කරයි.

කෙසේ වෙතත්, තීරණාත්මක ජනාධිපතිවරණයක් අභිමුව ඇතැම් අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාම පිළිබඳව TISL ආයතනය දැඩි අවධානයෙන් පසුවේ. එවැනි ක්‍රියා පැහැදිලිවම මැතිවරණ නීති සහ මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කර ඇති  මාර්ගෝපදේශ (චක්‍රලේඛ/ගැසට් පත්‍ර 2394/56) උල්ලංඝනය කිරීමක් වේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක සුපිළිපන්නභාවයට හානි කරන මෙවැනි ක්‍රියා මැඩලීමට කඩිනම්, දැඩි පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමෙන් TISL ආයතනය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියි.

ජනාධිපති අපේක්ෂකයෙකු ද වන වත්මන් ජනාධිපතිවරයා නායකත්වය දරන රජය එවැනි ක්‍රියාකාරකම් දිගටම කරගෙන යාම අර්ථකතනය කළ හැක්කේ පුද්ගලික දේශපාලන වාසි තකා විධායක බලතල බරපතල ලෙස අවභාවිත කිරීමක් ලෙසයි. අපේක්ෂකයින්ට සම අවස්ථාව අහිමි කරන සියලු ක්‍රියා TISL ආයතනය හෙළා දකියි.

තීරණාත්මක මැතිවරණ කාලපරිච්ඡේදයක් තුළ මැතිවරණ නීති උල්ලංඝනය කරන ඕනෑම ක්‍රියාවක්, පුරවැසියාට නිදහස්ව සහ ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කරන අතර, එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට අහිතකර බලපෑම් ඇති කරයි. සාධාරණ මැතිවරණයක් තහවුරු කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීමටත් ඉක්මන් හා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස TISL ආයතනය ඉල්ලා සිටියි.

Archive

Latest news

Related news