Wednesday, August 14, 2024

තණමල්විල දැරියක් සමූහ දූෂණයකට ලක්වීම:  හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ ක්‍රියාකලාපය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හෙළා දකියි

තණමල්විල ප්‍රදේශයේ 2023 වසරේ සිට 16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමේ අමානුෂික සිදුවීම් මාලාව සහ වින්දිතයාගේ මව විසින් චෝදනා කරන පරිදි අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් වින්දිත දැරියට වාචික හා මානසික හිරිහැර කිරීම දැඩි ලෙස හෙළා දකිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නිවේදනයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ගරු (වෛද්‍ය)  සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිය නිවේදනය මගින්  පෙන්වා දෙන්නේ මෙම දැරියට මුහුණදීමට සිදුවූ අමානුෂික සිදුවීම් මාලාව තුළින් මීට අදාළ   වගකිවයුතු බලධාරීන් තම රාජකාරිය නිසිපරිදි ඉටුකිරීම පැහැර හැර ඇති ආකාරය පෙන්නුම් කරන බවයි. ඒ අනුව මෙවැනි අනීතික සිදුවීම්වලදී හෘද සාක්ෂියට එකඟව, වගකීමෙන් හා වගවීමෙන්  කටයුතු කිරීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කර සිටියි.

කාන්තා සහ ළමා අයිතිවාසිකම් මෙලෙස උල්ලංඝනය කිරීම් කිසිසේත්ම පිළිගත නොහැකි බවත් ඒ සඳහා කිසිදු ඉඩක් නොතැබිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වැඩිදුරටත් පෙන්වා දෙයි. එවැනි සිදුවීම් වැළැක්වීමට සහ ශ්‍රී ලංකාවේ සෑම ගැහැණු දරුවකුගේම අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවරයන් තහවුරු කිරීම සදහා ඉදිරියටත් පාර්ලිමේන්තු‍ මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙනී සිටින බවත්  මෙම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

Archive

Latest news

Related news