Wednesday, August 14, 2024

හෙණ හත නොහොත් රනිල් රාජපක්ෂගේ නරකාදි දවස් – සුනන්ද දේශප්‍රිය

තමන්ට සහාය දෙන සියලු දේශපාලනඥයින්ගේ අනාගතය සුරක්ෂිත කරන බව කවර හෝ දේශපාලනඥයකු  ප්‍රකාශ කළ හොත් ඉන් අදහස් වන්නේ කුමක්ද?

පළමුවෙන්ම සිය ප්‍රතිපත්ති මත මහජන ඡන්දය දිනා ගැනීමට නොහැකි තේරුම් ගොස් තිබීමයි.

දෙවනුව තමන්ට ඇති එකම මාර්ගය තමන්ට සහාය දෙන බවට පොරොන්දු වී ඇති අවශේෂ දේශපාලනයින්ට වරදාන සහ ආරක්ෂාව ප්‍රධානය කර ඔවුන්ගේ සහචර සහාය ලබා ගැනීම බවයි.

මෙැවැනි ප්‍රකාශයක් අනුර කුමාර හෝ සජිත් ප්‍රේමදාස කළේ නම් එම දූෂනය සඳහා දොර හැරීමක් බවට ඝේෂාවක් නැංවෙන්නට ඉඩ තිබුණි.

මෙම ප්‍රකාශය කළේ ඒ දෙදෙනාම නොව දූෂනයෙන් කප් ගසා ඇති රාජපක්ෂ වහලුන් පිරිවරා ගෙන සිටින රනිල් රාජපක්ෂ විසිනි. එමගින් රනිල් රාජපක්ෂ කියා සිටින්නේ කප්පම් ප්‍රසන්නගේ සිට භීෂනයට නම් දරා සිටින පිල්ලේයාන් වැනි දේශපාලනඥයින්ට ඔවුන්ගේ දූෂිත භීෂිත දේශපාලනය කරගෙන යාමට අවශ්‍ය ඉඩකඩද සහායද ලබා දෙන බවයි.

ප්‍රේත පිසාච කුම්භාණ්ඩ නරකාදිය

රනිල් රාජපක්ෂ වැටී ඇත්තේ, දේශපාලන නරකාදියකටය. ඔහු වටා සිටින්නේ දේශපාලන ප්‍රේත, පිසාච සහ කුම්භාන්ඩ යනාදීන්ය. උනගේ මනදොළ පිරවීමට එවැනි දූෂනය වහනය වන කතා නැතිව බැරිය

නරකාදි ප්‍රපාතයට ඇද වැටීම සනිටුහන් කරන හෙණ හතක් පසුගිය සති කිහිපයෙහි ඔහුගේ හිස මතට පතිත විය.

පළමු හෙණය:

රනිල් රාජපක්ෂගේ දූෂිත සැලැස්මට වැදුණූ පළමු හෙණය නම් දේශපාලන ගැත්තකු  ලෙස  බොහෝ විවේචනයන්ට ලක් වූ හිටපු නීතිපති සංජේ රාජරත්නම්ට සේවා දිගුවක් ලබා ගැනීමට බැරි වීමයි. සැලැස්ම වන්නට ඇත්තේ සංජේ රාජරත්නම් අගවිනිසුරු ලෙස පත් කිරීමය.

බලයේ සිටි ජනාධිපතිවරුන්ට අවශ්‍ය පරිදි තීන්දු දුන් සරත් සිල්වා හෝ එලෙස තීන්දු දීමට පොරොන්දු වූ මොහාන් පිරිස් වැනි අගවිනිසුරුවරු අපේ මතකයට නංවා ගත හැකිය. සංජේ රාජරත්නම් එවැන්නකු නොවන්නට ඉඩ තිබුනේ යැයි කිව හැක්කේ කාටද?

සරත් සිල්වා වර්ගයේ අගවිනිසුරකු පත්කර ගැනීමට හැකි වී නම් පසුගිය කාලය පුරා ප්‍රකාශයට පත් අගනා තීන්දු නොලැබෙන්නට ඉඩ තිබුණි. රනිල් රාජපක්ෂට වැදුණූ පළමු හෙණය නොහොත් හෙණ ගුලිය බවට, සංජේ රාජරත්නම්ට සේවා දිගුවක් දීම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිිරීම පත් වූයේ එම අවස්ථාව ගිලිහී යෑම නිසාය.  ඒ හෙණ පහරින් ගොඩ ඒමට රනිල් රාජපක්ෂට බැරි විය.

දෙවන හෙණය:

දේශබන්දුට වැදුණූ හෙණය රනිල් රාජපක්ෂගේ සැළසුම්වලට මරු පහරක් විය. වධකයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඩුවම් දෙන ලද දේශබන්දු රනිල් රාජපක්ෂ විසින් පොලිස්පති ලෙස පත් කර ගන්නා ලද්දේ සිය මර්දන දේශපාලනය ඉදිරියට ගෙන යෑම පිනිසය. මාස හයකින් මෙරට මත් ද්‍රව්‍ය භාවිතය සහ පාතාලය අහෝසි කරන බවට ටිරන් අලස් සමඟ උරුහන් බෑ දේශබන්දු තනතුරින් ඉවත් කරන විටත් එම ප්‍රශ්න එලෙසම ඉතිරිව තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් වධක පොලිස්පති ඉවත් කිරීමට විරුද්ධව කතානායක අගවිනිසුරු සමඟ සාකච්ජා කළ යුතු යැයි රනිල් රාජපක්ෂ දුන් නියෝගය පුස්සක් බවට පත් වූයේ කතානායක අධිකරණ අපහාසයට බිය වී  එම නියෝගවට අවනත නොවූ නිසාය. නීතිපතිද රනිල් රාජපක්ෂට පටහැනිව එවැනි පියවරක් අනවශ්‍ය බව කියා සිටියේය. පොලිස්පතියකු නැතිව ජනාධිපතිවරණය පැවැත්වීම අසීරුයැයි රනිල් රාජපක්ෂ කරන ලද බිය ගැන්වීම පුස්සක් බවට පත් විය. ඒ දෙවන හෙණයයි.

තෙවන හෙණය:

රනිල් රාජපක්ෂගේ බැදුම්කර මගඩිය පරදවන ඩොලර් බිලියන 12ක ඔන්ලයින්  වීසා මගඩියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  අගුල් දැමීම, ඊළඟ හෙණ ගෙඩිය විය.  එයද වධක පොලිස්පති තීන්දුව මෙන්ම රනිල් රාජපක්ෂගේ පොලිස් මර්දන යන්ත්‍රය බාරව සිටින ටිරන් අලස් මතද පතිත විය. ඒ ගසා කෑම, බැදුම්කර මඟඩිය මෙන්ම ඡන්දය අතළග සිදුවූයේ, ඡන්ද මැෂිමට තෙල් ගැසීමට විය හැක. දැන් එයද බකල්ය. එම මහා වංචාවට රනිල් රාජපක්ෂගේ ඇමති මණ්ඩලයම අත උස්සා තිබුණි.

සිව්වන හෙණය:

ජනාධිපතිවරණ අල්ලස් බෙදීමක් ලෙස ක්‍රියාත්මක කරමින් තිබූ  ප්‍රාදේශීය දේශපාලනඥයින් හරහා සිලියන ගණන් වැය කරන ඊනියා සංවර්ධන ව්‍යාපෘති කරගෙන යෑම මැතිවරණ කොමිසම විසින් නතර කිරීම ඊළඟ හෙණ ගෙඩිය විය. 2024 දෙසැම්බර් මාසය දක්වා කරගෙන යායුතු වූ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ජූලි 31වන දිනට අවසන් කිරිමටද  රනිල් රාජපක්ෂ නියෝග කර තිබුණි. මුදල් දී ඡන්ද ගරා ගැනීමේ එක් සැලැස්මකට එමගින් අගුල් වැටුණි.

පස්වන හෙණය:

රනිල් රාජපක්ෂ, නැගෙනහිර දෙමළ ඡන්ද ලබා ගැනීමට දූෂිත සහ භීෂිත දේශපාලනඥයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත්  පිල්ලේයාන් එක් කර ගත්තේය. දැන් පිල්ලෙයාන්ගේ ළඟම සගයකු ස්ත්‍රී දූෂන වෝදනාවකට අත්අඩංඟුවේය. රනිල් රාජපක්ෂගේ ප්‍රකාශය අනුව දැන් එම දූෂකයාගේ අනාගතයද සාර්ථක කළ යුතුය. එපමණක් නොවේ. මඩකළපුවෙහි තවත් දේශපාලනඥවකු වන රනිල් රාජපක්ෂගේ රාජ්‍ය ඇමැතිවරයකු වන  වියාලේන්ද්‍රන් ද රනිල් රාජපක්ෂගේ ගොන් කරත්තයට නැග්ගේය. දැන් ඔහුගේ ලේකම් මිලියන ගණනාවක අල්ලස් ගැනීමට අත්අඩංඟුවේය. එම අල්ලස ගත්තේ වියාලෙන්ද්‍රන්ට දීමට යැයි කියනු ලැබේ.  මේ වනාහී මඩකළපුවෙන් නරකාදියට තල්ලු වන රනිල් රාජපක්ෂට වැදුණු හෙණ ගෙඩියයි.

සයවන හෙණය:  

රාජපක්ෂවරුන්ගේ පොහොට්ටු පක්ෂය, රනිල් රාජපක්ෂගෙන් ඉවත්වීම තවත් දරාගත නොහැකි හෙණ ගෙඩියකි. රනිල් රාජපක්ෂ තමාම ගොස් මහින්ද රාජපක්ෂ හමු වී එම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා සිටියේ, එම හෙණ පහර කොතරම් බලවත් වියහැකිදැයි දන්නා නිසාය. රාජපක්ෂවරු අවම වශයෙන්  සියයට පහක සිට සියයට 10ක් දක්වා ඡන්ද ප්‍රමාණයක් රනිල් රාජපක්ෂට අහිමි කරනු ඇත. එවැනි හෙණ පහරක කම්පනයෙන් ගැලවීමට රනිල් රාජපක්ෂට නොහැක. ඊටත් වඩා රනිල් රාජපක්ෂට එක් වූ රාජපක්ෂ වහල්ලු දැන් සිටින්නේ දෙලොවක් අතරය.

හත්වන හෙණය:

රනිල් රාජපක්ෂගේ දෑත තමන් යැයි කියා ගන්නා දේශපාලන ගෙම්බන් දෙදෙනා පාර්ලිමෙන්තුවෙන්  එළියට ඇද දැමීම හත්වන හෙණ ගෙඩිය වේ. මෙම ගෙම්බන් දෙදෙනාගෙන් එකකු ගසාකෑමේ කප්පිත්තකු විය. රට රස්සාවලට ගිය නොගිය බොහෝ දෙන ඒ බව දනිති. රනිල් රාජපක්ෂ අධිකරණය බිය ගැන්වීමට දරන ලඳ සියලු උත්සාහයන් ව්‍යවර්ථ කරමින් ගෙම්බන් දෙදෙනා එළියට දැමීම රනිල් රාජපක්ෂගේ දෑත පමණක් නොව අහවල් එකද කපා දැමීමක් බඳු විය.

මෙම හෙණ පහරවලට අමතරව තවත් හෙණ ගණනාවක්ම රනිල් රාජපක්ෂ මත පතිත වී තිබේ. දැන් ඔහු ගත කරන්නේ දේශපාලන නරකාදිය සහ ජනාධිපති කාර්යාලය අතර  අවසාන දවස්ය.

ලොහාන් රත්වත්තේ වැනි මැරයින් සමඟ

රනිල් රාජපක්ෂගේ හූඇන්පීයට ඇත්තේ සියයට 2-3ක ඡන්ද පදනමකි. වැඩිම වුවහොත් සියයට 5ක් විය හැකිය. දැන් ඔහු සහමුලින්ම රදා පවතින්නේ වරදාන සහ අනීතික බලය මගින් ආරක්ෂා කරන ලද ලොහාන් රත්වත්තේ වැනි මැරයින්ගේ සහාය මතය. සිරගෙදරකට ඇතුලු වී දෙමළ සිරකරුවන් ඝාතකනය කිරීමට ප්‍රයත්න දැරීම සම්බන්දයෙන් අධිකරණය හමුවේ දඩුවම් ලැබිය යුුතු රත්වත්තේ දැන් රනිල් රාජපක්ෂගේ අතවැසියෙකි.

සමහර විට බදූර්දීන් වැනි දූෂකයකු පවා ඔහුගේ අතවැසියකු වීමට පුලුවන. එවැනි ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ සේනාවක් සමග යා හැක්කේ නරකාදියට හැර වෙන කොතැනකටද?

Archive

Latest news

Related news