Monday, October 14, 2024

තානාපතිනි හිමාලිගේ නුතන වහල් සේවය: රනිල්ගේ විදේශ අමාත්‍යාංශය රිරී නා ගනියි; පැයකට ඩොලර් සත 65 අනුමත් කළේ තමන්ලු!

ඡායාරූපය: අලි සබ්රි සහ හිමාලි.

ජිනීවා මානව හිමිකම් කොමිසමේ ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය වන හිමාලී සුභාෂිනී ද සිල්වා අරුණතිලට, සිය නිවසේ මෙහෙකාර සේවයට යොදාගත් තැනැත්තියකට ඕස්ට්‍රේලියානු ඩොලර්  5,43, 000.00ක (පන්ලක්ෂ හතලිස් තුන් දහසක)  මුදලක් දඩ වශයෙන්  ගෙවන  ලෙස ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය නියෝග තිබීම ලෝක පුවතක් බවට පත් විය.

මේ වනාහී මෙරට ගෘහ සේවිකාවන්ට ලබා දෙන වහල් දීමනා පිළිබඳ අපූරු උදාහරණයකි. වරක් එවැනි ළමා ගෘහ සේවිකාවක් ධනවත් බලවත් පවුලක් විසින් පිලිස්සූ බවට වාර්තා විය. තවත් ගෘහ සේවිකාවක් එවැනිම බලවත් කාන්තාවක විසින් පොලිස් වධහිංසා වලට ලක් කරවා  මරා දමන ලදී. මේ මෑත කාලීන සිදුවිම් දෙකක් පමණය.

දඩ ගෙවන ලෙස නියෝග කරමින්  ඕස්ට්‍රේලියානු පෙඩරල් අධිකරණය මගින් දෙන ලද දඩුවම පිලී නොගන්නා බව රනිල් රාජපක්ෂගේ විදේශ ඇමැති වන අලි සබ්රි දන්වා තිබේ.

රනිල් රාජපක්ෂ ද මෙරට  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වධක පොලිස්පති සම්බන්ධයෙන් දෙන ලද තීන්දුව පිළිගත්තේ නැත. ගුරා හිටගෙන හුජ්ජ කරන ිවට ගෝලයා දුව දුව හුජ්ජ කරවා යැයි කියන්නේ මෙන්න මේ වැනි පංගෝට් වලටය.

හිමාලී  අරුණතිලට ලෝකයට මානව හිමිකම් ගැන දේශනා කරන ලංකාවේ තානාපතිවරියයි. ඇය ලෝක කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කරන  අයිඑල්ඕ නම් එක්සත් ජාතීන්ගේ ආයතනයේ ද ශ්‍රී ලංකා නියෝජිතවරිය වේ. ඇය විදේශ සේවයට බැදීමට පෙර මෙරට කාන්තා සංවිධානයකට සම්බන්ධ වී සිටියේය.

වහල් සේවයක් පවත්වා ගත් බවට තීන්දු වී තිබෙන්නේ එවැනි අයෙකි. ලංකාවේ හැටි එහෙමය.

හිමාලී අරුණතිලක ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරිය වශයෙන් 2015-2018  වර්ෂ වල කටයුතු කළ කාලයේ  ප්‍රියංකා ධනරත්න නමැති ශ්‍රී ලාංකික ස්ත්‍රියක් ඇයගේ  නිල නිවාසයේ ගෘහ සේවිකාව ලෙස යොදා ගෙන තිබේ.

එලෙස ගෘහ සේවයට රැගෙන ගිය  ප්‍රියංකා  ධනරත්න  වසර තුනක් සතියකට දින හතක් වැඩ කිරීමට සිදු විය. එම කාලය පුරාම ඇයට ලැබී ඇත්තේ  දින දෙකක නිවාඩු පමණකි.  එම නිවාඩුව ද  ලැබී ඇත්තේ  ආහාර පිළියෙළ කිරීමේදී ඇගේ අත පිළිස්සීම නිසා බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීති නිලධාරි  ඩේවිඩ් හිලාඩ් මහතා අධිකරණයට සැකයකින් තොරව කරුණු වාර්තා කර තිබූ බව ඕස්ට්‍රේලියිනු මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වසර තුනම සඳහි  ඇයට ගෙවා ඇත්තේ ඩොලර් 11,212 ක් පමණි. එනම් ඇය පැයකට ඩොලර් ශත 65 ක මුදලකි. ඒ බව අධීකරණය හමුවේ සනාථ විය.

ඇයට එතරම් අඩු වැටුප්  ලබමින් අඛණ්ඩව වැඩි පැය ගණනක් වැඩ කිරීම නිසා ඇයගේ රැකියාව ඕස්ට්‍රේලියානු රැකියා නීති උල්ලංඝනය කිරීමක් බව එරට පෙඩරල් අධිකරණය පිලිගත්තේය. ඇයට විවේකයක් ලබා නොදීම, අතිකාල හෝ දඩ මුදල් නොගෙවීම, නිතිපතා නොගෙවීම හෝ වැටුප් පත්‍රිකා නිකුත් නොකිරීම යන මේ සියල්ල සාධාරණ වැඩ පනත උල්ලංඝනය කිරීමක් බව අධිකරණයේදී තහවුරු විය.

“එය නූතන වහල්භාවය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ උදාහරණයක්” යැයි නඩු තීන්දුව පවසයි.

“අවදානමට ලක්විය හැකි සේවකාවන්ගේ  ජීවිතය රැකියාවක් මිස වෙනත් දෙයක් නොවන බවත්, ඔවුන්ට පැන යාමට නොහැකි රැකියාවක සිරවී සිටින බවත් .” එය වැඩි දුරටත් දක්වයි.

පුදුමයට කරුන නම් මෙම නූතන වහල් වැටුප ගෙවීමට නිර්දේශ කර ඇත්තේ තමන් බව අලි සබ්රිගේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පිළිගැනීමයි.

මෙම නඩු තීන්දුව පිළිබඳ ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නඩු තීන්දුව පිළිගන්නේ නැත. ඒ පිලිබඳ අද නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ.

“කැන්බරා නුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරියට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව පළ වී ඇති පුවත් වාර්තා කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

ඔවුන්ගේ නිල නියෝජන රාජකාරිවලට සහය වීම පිණිස ගෘහ සහායක සහායිකාවන් රැගෙන යෑම සඳහා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් පහසුකම් සැලසීම සාමාන්‍ය සිරිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙම සිද්ධියට අදාළ ගෘහ සහායිකාව තුන් වසරක පූර්ණ සේවා කාලයක් නිමා කොට තිබූ අතර, ස්වකීය සේවායෝජිකාව ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව ඒමට අදහස් කොට තිබූ දිනට පෙර දින සේවායෝජිකාවගේ නිල නිවෙසින් රහසින් පළා ගියාය.

ගෘහ සහායිකාවගේ වැටුප වශයෙන් අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලැබූ දීමනාව ඇයට ගෙවා තිබේ. අනොන්‍ය වශයෙන් ගිවිස ගත් පරිදි සේවායෝජිකාව විසින් ගෘහ සහායිකාවට එම වැටුප ගෙවන ලද බවට අමාත්‍යාංශය සෑහීමට පත් වෙයි.”

 

 

අලි සබ්රිගේ නිවේදනයට අනුව ගෙවා ඇති සොච්චම් මුදල නිර්දේශ කර ඇත්තේ කයිවාරුකාර විදේශ අමාත්‍යාංශය විසිනි. නිවාස පිරිසිදු කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රධන නගරයන්හි පැයකට ගාස්තුව එරට ඩොලර් 30-50 අතර වේ. පූර්ණකාලීන ගෘහ සේවය වෙනුවෙන් අවම වශයෙන් මසකට එරට ඩොලර් 3000ක් වත් ගෙවිය යුතුය.

අධිකරණ තීන්දුව දක්වන්නේ ගෘහ සේවිකාවකට පැය 38ක සතියක් සඳහා ෙඕස්ට්‍රේලියාවේ ජාතික අවම වැටුප ඩොලර් 656.90 ක් බවයි. නමුත් ඇය සතියකට පැය 70ක් ඉක්මවා වැඩ කළේය.

අලි සබ්රි විසින් අනුමත කරන පැයකට ඩොලර් සත 65  අනුව පැය අටේ සේවයකට ලැබෙන්නේ ඩොලර් 8ක් සමණය. එවැනි මුදලකින් එම සමාජයේ කිසිදු බාහිර කටයුත්තකට සහභාගි වීමට එවැනි ගෘහ සේවිකාවකට නොහැකිය. එවැනි තැනැත්තියකට නිවසින පිට යාමට පවා හැකියාවක් නැත. එය වහල් වැටුපක් වන්නේ එනිසාය.

එවැනි වැටුපකට දිනකට පැය 10ක් අතිකාල පවා නොගෙවා වැඩ ගැනීම වැඩ ගැනීම අති අමානුශික වන අතර මානව හිමිකම් කෙලෙසීමක් ද වේ.

දැන් ලංකාණ්ඩුව ලෝකයටම කියා ඇත්තේ තමන්ගේ තානාපති නිලධාරීනට වහල් සේවාවක් පවත්වා ගැනීමට තමන් අනුමැතිය දි ඇති බවයි. අපුරු ආණ්ඩුවකි.

හිමාලි අරුණාතිලක ජිනීවා නුවර තානාපතිනිය ලෙස පත් කර එවන ලද්දේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙනි.

මෝඩයා හත් පොලේ ගා ගන්නවා කියන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මෙන්න මෙවැනි රිරී ගා ගැනීම් වලටය.

Archive

Latest news

Related news