Saturday, July 20, 2024

ටිරන් අලස්ගේ වැදි බණ සහ වෙලේ සුදාගේ නීතිඥයා දේශබන්දුට පෙනී සිටීම

ඡායාරූපය: ගම්පොල විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා.

ඊයේ පෙරේදා පොලිස් ඇමති ටිරන් අලස් කුඩු ජාවාරම් කාරයින්ට පෙනී සිටින්නේ යැයි ප්‍රධාන පෙළේ නීතිඥයින්ට වක්‍ර තර්ජනයක් කළේය.

ටිරන් අලස් කියා සිටියේ කුඩු ජාවාරම්කරුවන්ට රටෙන් පැන යාමට හැකි වන පරිදි නීතිඥයින් ඔවුන්ට ඇප ලබා ගත් බවයි.

එසේ නම් කරනු ලබන සැකකරුවන් රටින් පැන ගියේ නම් ඊට වගකිව යුත්තේ නීතිඥයින් නොව ටිරන් අලස් යටතේ පවතින පොලිසියයි.

එයට පෙර ද ටිරන් අලස් කරන ලද එවැනි ප්‍රකාශයක් හෙළා දකිමින් නීතිඥ සංගමය ප්‍රකාශයක් පවා නිකුත් කළේය.

එලෙස සැකකාර කුඩු ජාවාරම්කරුවන් වෙනුවෙන් නීතිඥයින් පෙනී සිටීම වරදක් ලෙස දොස් පවරන ටිරන් අලස් වෙනුවෙන්ද එවැනි සැකකාර කුඩු ජවාරම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් ලද්දුවහෙට්ටි පෙනී සිට තිබේ.

එසේ පෙනී සිටීමේ වරදක් නැත.

කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා යැයි කියන්නේ මෙවැනි දේට ය.

ඊටත් වඩා හපන් වැඩක් ඊයේ පෙරේදා සිදු විය. ඒ දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ලෙස පත් කිරීම අභියෝග කරමින් පවරණ ලද පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයේ දීය.

එහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටියේ ද සැකකාර කුඩු ජාවාරම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙකි. ඒ ජනාධිපති නීතිඥ රොමේශ් සිල්වාය.

රොමේශ් සිල්වා පෙනී සිටියේ එසේ මෙසේ සැකකරුවකු වෙනුවෙන් නොව, කුඩු ජාවරම් රජකු ලෙස දක්වන ගම්පොල විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ ජීවිතය ආරක්ෂා කිරීම වෙනුවෙනි.ඒ 2021 මැයි 16වන දාය.

එවිට ටිරන් අලස්ගේ කටේ පිට්ටු හිර වෙයි.

වෙලේ සුදා තවමත් සිටින්නේ අත්අඩංගුවේය. ඔහු ගැන පරීක්ෂන ද කවම සිදුවෙයි. ඒ පරීක්ෂණ සිදු වන්නේ පොලිස්පති දේශබන්දුගේ පොලිසියෙනි.

වෙලේ සුදාගේ නීතිඥයා, පොලිස්පති වෙනුවෙන් පෙනී සිටින විට එමගින් ලැදියාවන් අතර ගැටුමක් ඇති වන්නේ යැයි කෙනෙකුට තර්ක කිරීමට ද පුලුවන.

කෙසේ වෙතත්, අනුන්ට වැදි බණ කියන ටිරන් අලස් සහ ශුද්ධවන්තයකු ලෙස පෙනී සිටින දේශබන්දු  යන දෙදෙනාම සැකකාර කුඩු ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් තමන් වෙනුවෙන් යොදා ගැනීම, අපූරු උත්ප්‍රාසයකි.

Archive

Latest news

Related news