Saturday, July 20, 2024

19වන සංශෝධනය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කියවන්නේ නැතිවද? – ජයම්පතී වික්‍රමරත්නගෙන් පිළිතුරක්

දහනමවන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන අවස්ථාවේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධූර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම තමාගේ ෙ පළපුරුද්ද නොමැතිවීම නිසා සිදුවූ වරදක් බවට රනිල් රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ජයම්පතී වික්‍රමරත්න පිළිතුරු නිවේදනයක් නිකුත් කර තිබේ.

එහිලා ඔහු සඳහන් කරන්නේ 19වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහ විසින් බවත්, එම සංශෝධනය කැබිනට් අනු කමිටුව මගින් අනුමත කළ බවත්ය. ඉන් පැන නැගෙන ප්‍රශ්නය වන්නේ සියල්ල දත් පණ්ඩිතයකු සේ පෙනී සිටින රනිල් රාජපක්ෂ එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එය කියවන්නේවත් නැතිවද යන්නය.

තවද කෙටුම්පත පිළිබඳ නීතිපතිවරයා සමඟ පැවැත් වූ සාකච්ඡා ගණනාවකට අගමැති ව්ක්‍රමසිංහ සහභාගි වූ බවද එම නිවේදනයේ දැක්වේ.

ජනාධිපති නීතිඥ වික්‍රමරත්න තවදුරටත් පෙන්වා දෙන්නේ 19වන සංශෝධනය සකස් කරන ලද්දේ ජනමත විචාරණයකට යා යුතු කිසිම සංශෝධනයක් ගෙන නොඑන බවට එවකට ජනාධිපති වූ සිරිසේනගේ පොරොන්දුවට අනුකූලව බවය.

රනිල් රාජපක්ෂ යළිත් කර ඇත්තේ ඇදගෙනම නා ගැනීමකි.

ජනාධිපති නීතිඥ ජයම්පතී වික්‍රමරත්න විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.

ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය වෙනස් නොකිරීම මගේ වරදක් බවට ජනාධිපති වික්‍රමසිංහ කල ප්‍රකාශය

දහනමවන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන අවස්ථාවේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධූර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම මා අතින් පළපුරුද්ද නොමැතිවීම නිසා සිදුවූ වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජූලි 19 වන දින ගාල්ලේදී ප්‍රකාශ කර ඇත.

මේ පිලිබඳ සත්‍යය කුමක්දැයි පැහැදිලි කිරීමට කැමැත්තෙමි.

ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ සහ පුරවැසි සංවිධාන 49ක් සමග විහාරමහා දේවි උද්‍යානයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට පොරොන්දු විය. එහෙත් ඔහු ඊට පසු දිනම ජාතික හෙළ උරුමය සමග වෙනම අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් නොගෙන එන බවට පොරොන්දු විය. සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශයේද ඔහු කියා සිටියේ ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් නොගෙන එන බවය.

කෙටුම්පත නීතිපතිගේ සහතිකය සඳහා යොමු කල විට ජනාධිපතිවරයාගේ සමහර බලතල අඩු කිරීම ඇතුළු ප්‍රතිපාදන කීපයකට  ජනමත විචාරණයක් අවශ්‍ය බව ඔහුගේ මතය විය. එම කාරණය සාකච්ඡා කිරීමට අගමැතිවරයා නීතිපතිවාරය කීපවරක්ම කැඳවූ අතර එක් සාකච්ඡාවකට මමද සහභාගී වුනෙමි. නීතිපතිවරයාගේ ස්ථාවරය නිසා පනත් කෙටුම්පතට වෙනස්කම් කීපයක් කරන ලදී.

ජනාධිපති සිරිසේන දිව්රුම් දුන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු විෂය අග්‍රාමාත්‍යවරයා යටතේ ගැසට් කෙරින. 19වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කරන ලදී. මූලික කෙටුම්පත සකස් කරන ලද්දේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාමලත් ජ්‍යේෂ්ට නිලධාරීන් තිදෙනෙකු සහ මාත් තව නීතිඥවරයෙකුගෙනුත් සමන්විත කෙටුම්පත් කමිටුවකිනි. මුළු කෙටුම්පත් ක්‍රියාවලියම සිදුකරන ලද්දේ ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් නොකරන පදනම අනුවය. ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු කල නමුත්, එම ධූර කාල වැඩි කල හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට ආණ්ඩුව යෝජනා නොකළේ එවැන්නකට ජනමත විචාරණයක් අවශ්‍ය බැවිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තිය ප්‍රකාර එහි සඳහන් වගන්ති ගණනාවකට සහ පෙර කී හය අවුරුදු කාලයට පටහැණි  ඕනෑම වෙනසකට ජනමත විචාරණයක් අවශ්‍යය. තවද, 83 වගන්තිය සංශෝධනය කිරීමටද ජනමත විචාරණයක් අවශ්‍ය බව මතක තබා ගත යුතුය.

සංශෝධන ක්‍රියාවලියෙදී පිළියෙළ කරන ලද සැම කෙටුම්පතක්ම කැබිනට් අනුකමිටුව සමග සාකච්ඡා කරන ලදී. අනුකමිටුව විසින් අනුමත කල අවසාන කෙටුම්පත් නීති කෙටුම්පත්කරුට යොමු කල අතර ඔහු එහි වෙනස්කම් කීපයක් කළේය. කෙටුම්පත නීතිපතිගේ සහතිකය සඳහා යොමු කල විට ජනාධිපතිවරයාගේ සමහර බලතල අඩු කිරීම ඇතුළු ප්‍රතිපාදන කීපයකට  ජනමත විචාරණයක් අවශ්‍ය බව ඔහුගේ මතය විය. එම කාරණය සාකච්ඡා කිරීමට අගමැතිවරයා නීතිපතිවාරය කීපවරක්ම කැඳවූ අතර එක් සාකච්ඡාවකට මමද සහභාගී වුනෙමි. නීතිපතිවරයාගේ ස්ථාවරය නිසා පනත් කෙටුම්පතට වෙනස්කම් කීපයක් කරන ලදී.

19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කලේ අගමැති වික්‍රමසිංහ විසිනි. එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කල විට ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා කිසිම ප්‍රතිපාදනයකට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කියා සිටියේය. ජනමත විචාරණයක් අවශ්‍යයයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල සමහ ප්‍රතිපාදන පාර්ලිමේන්තුවේදී සංශෝධනය කල අතර සමහර ඒවා අත්හරින ලදී.

කරුණු මෙසේ තිබියදී, ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධූර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම මගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපති වික්‍රමසිංහ හුවා දැක්වීම ගැන මට ඇත්තේ කලකිරීමකි. ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමතවිචාරණයකට ඉදිරිපත් නොකරන පදනම යටතේ මුළු සංශෝධන ක්‍රියාවලියම සිදුවූ බව නැවත අවධාරණය කරමි.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

2024 ජුලි 20 වන දින.

Archive

Latest news

Related news