Tuesday, July 16, 2024

2018 -2022 තුල රුපියල් බිලියන 4.5ක් රටින් එවූ තාඹුගලට ලක්ෂ 700ක් වංචා කළාට නඩු!

රුපියල් ලක්ෂ 700ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කොට කෝටිපති ව්‍යාපාරිකයකු වන අවුරා ලංකා සමාගම් සමූහයේ සභාපති විරංජිත් තාඹුගල යන සැකකරුට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඊයේ (10දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබේ.

මෙම විරාජ් තාඹුගලට ඉඩම් කෝමාරිකා වගාවක් සඳහා අක්කර සිය ගණනාවක් ඇමැතිවරයකු වූ එස්.එම්. චන්ද්‍රසේන විසින් ලබා දෙන ලදී.

වැඩිදුර කියවීමට: ප්‍රසිද්ධියේ නීති කඩන අවුරාලංකා තාඹුගලට මේ දණ්ඩ මුක්තිය කොහෙන්ද? – සජීව චාමිකර

වන සතුන්ට හිරිහැර වන පරිද දඹුල්ල ආසන්නයේ අධිබල සංගීත සංදර්ශනයක් පැවැත්වීමට බලධාරීහු තාඹුගලට අවසර දුන්හ.

තමන් උසස් පොලිස් නිලධාරීන්ගේ හා දේශපාලනඥයන් ඇතුළු බලධාරීන්ගේ ග්‍රහණයට හසුවූ පුද්ගලයකු ලෙස සලකා වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ තමන් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසට නියෝගයක් කරන්නැයි විරංජිත් තාඹුගල  කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කර තිබේ.

ඇමෙරිකානු ඩොලර් 26,429,490ක්

එම සැකකරුගේ ගිණුම්වලට 2018 වසරේ සිට 2022 වසර දක්වා වූ කෙටි කාලය තුළදී පමණක් ඇමෙරිකාවේ සිට ඇමෙරිකානු ඩොලර් 26,429,490ක් එනම් රුපියල් බිලියන 4.5කට අධික මුදලක් ලැබී ඇති තිබේ. ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පසු උසස් පොලිස් නිලධාරීන් ඔහුගෙන් කප්පම් ඉල්ලූ බවට තාඹුගල පුරා දින තුනක් තිස්සේ ගරු අධිකරණයට රහස්‍ය ප්‍රකාශයක් ලබාදී ඇත. එම ප්‍රකාශය ලබා දි ඇත්තේ විමර්ශන අඩපණ කිරීමේ කූට අරමුණින් ෙ යැයි පෙන්වා දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය ඉදිරියේ කරුණූ දක්වන ලදී. එම කරුණු දැක්වීම කෙරෙහි සැලකිලිමත් වෙමින් අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කර තිබේ.

ලක්ෂිත් වික්‍රමසිංහ සේනානායක නමැත්තා විසින් රුපියල් මිලියන 700 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව එම සැකකරු මෙන්ම තවත් සියයකට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කොට ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පසු උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකු කප්පම් ඉල්ලූ බවට හා එම කප්පමෙන් කොටසක් ලෙස රුපියල් කෝටි දෙකක මුදලක් ලබාගත් බවට සැකකාර තාඹුගල නමැත්තා පුරා දින තුනක් ගරු අධිකරණයට රහස්‍ය ප්‍රකාශ ලබාදී තිබේ. ඒ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්  අධිකරණයට පවසා ඇත.

නිදන් හෑරීම ගැන නඩු පහක්

තාඹුගල නමැති මෙම සැකකරු නිධන් හෑරීමට හා රජයේ රක්ෂිත වනාන්තරවලට අයුතු ලෙස ඇතුළුවීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩු පහක සැකකරුවකු බවත් එකී කප්පම් ඉල්ලූ බව සනාථ කිරීමට ඔහු උපාය දූතයකු ලෙස යොදාගෙන ඇත්තේ උද්දික ප්‍රේමරත්න නමැති රංගන ශිල්පියාගේ කාර් රථයට වෙඩි තැබීමේ රංගනයට සම්බන්ධ මේ වනවිට රටින් පලාගොස් සිටින සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම නමැති නිලධාරියා වන්නේ යැයි ද දිලීප පීරිස් මහතා අධිකරණයට පවසා ඇත. අපරාධකරුවකුගේ උපාය දූතයා ලෙස සේවයේ යෙදී සිටි සහකාර පොලිස් අධිකාරිවරයකු යොදා ගත්තේ යැයි කීම පිළිගත හැකි කරුණක් දැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ දී විමසන ලදී.

අධිකරණය වේදිකාවක් කරගෙන

තාඹුගල නමැති සැකකරු සිදුකර ඇත්තේ ඔහුට එරෙහිව සිදු කරන විමර්ශන යටපත් කිරීම සඳහා අධිකරණය මෙන්ම එකී විමර්ශන කටයුතු ද වේදිකාවක් බවට පත්කර ගැනීම වන්නේ යැයි ද අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා තාඹුගල නමැත්තා ව්‍යාපාරිකයකු බව පැවසුවද ඔහුගේ නමින් ලියාපදිංචි කර ඇති ව්‍යාපාර පහේම ලිපිනය ලෙසට සඳහන්ව ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ ලිපිනය බවත් අධිකරණයට පවසන ලදී.

උසස් පොලිස් නිලධාරීන් ඔහුගෙන් කප්පම් ඉල්ලුවා නම් ඒ සඳහා අධිකරණය වේදිකාවක් බවට පත්කර නොගෙන පැමිණිලි කළ හැකි අංශ ඇති බවද පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකී කප්පම් ඉල්ලීමේ සිද්ධිය සත්‍යයක් නම් එයට එරෙහිව සිදු කරන විමර්ශනවලට ද තම දෙපාර්තමේන්තුව උපරිම සහය ලබා දෙන බවද අධිකරණයට පැවසීය.

එම නඩුව ලබන ඔක්තෝබර් 3 වැනිදා යළි කැඳවීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය දින නියම කළාය.

මාධ්‍යට තහංචි දාන්න බෑ

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් විවිධ ආකාරයේ ප්‍රවෘත්ති පළ කරන බැවින් ඒවා ප්‍රචාරය කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස විරංජිත් තාඹුගල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා ඉල්ලා සිටි අතර මාධ්‍ය ඔවුන් සතු කාර්ය භාරය ඉටු කරනු ඇති බැවින් එවැනි තහනමක් පැනවීමට තමා සූදානම් නොමැති බවද අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය පැවසුවාය.

දිවයින පුවත්පත අසුරිනි

Archive

Latest news

Related news