Sunday, September 24, 2023

ප්‍රසිද්ධියේ නීති කඩන අවුරාලංකා තාඹුගලට මේ දණ්ඩ මුක්තිය කොහෙන්ද? – සජීව චාමිකර

රාජාංගනය ගොවි ජනතාවට බලපත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් නීති විරෝධී ව පවරා ගෙන එම ඉඩම් අවභාවිත කරමින් ව්‍යාපාරික කටයුතු සිදු කරන නීති විරෝධී ක්‍රියා ගණනාවකට සම්බන්ධ අවුරා ලංකා ව්‍යාපාර ජාලයේ සභාපති විරංජිත් තාබුගල අත් අඩංගුවට ගැනීමට අද දක්වා ම පොලීසිය අපොහෙසත් වී ඇත.
රාජාංගනය යාය 18 ප්‍රදේශයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොර ව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ, ග්‍රාමීය ජනතාව පීඩාවට ලක් වන පරිදි නීති විරෝධී ව අඛණ්ඩ ව සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට එරෙහි ව රාජකාරී කටයුතු සිදු කිරීම සඳහා රාජාංගනය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩබ්ලිව්. එස්. ගජසිංහ මැදිහත් වූ අවස්ථාවේ දී ඒ සඳහා බාධා කර තර්ජනය කිරීම ද තාබුගල විසින් සිදු කර ඇත. නමුත් අද දක්වා ම ඒ සම්බන්ධයෙන්ඔහුට එරෙහිව නිවැරදි පරිදි නීතිය ක්‍රියාත්මක කර නොමැත.
ගොවි පවුල් 550 ක් පමණ ජීවත් වන රාජාංගනය යාය 18 ගම්මානයේ අවුරා ලංකා සංගීත ප්‍රසංගය අඛණ්ඩ ව පැවැත්වීමෙන් ජන ජීවිතයට සිදු වන බලපෑම් හා පාසැල් දරු දැරියන්ට ඇති වන බාධාවන් ඇතුළු මහජන පීඩාකාරී තත්ත්වයන් පිළිබඳ ව ප්‍රදේශවාසීන් විසින් පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකට පැමිණිලි කර තිබේ. මෙසේ පැමිණිලි කළ පුද්ගලයන්ට මරණ තර්ජන එල්ල කිරීම හා ඔවුන් ගේ දේපල හා ජීවිතවලට හානි සිදු කිරීමට තාබුගල විසින් ඔහු ගේ පාක්ෂිකයන් පෙලැඹවීම මගින් සාමය කඩ වන පරිදි කටයුතු කිරීමට එරෙහි ව ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පැමිණිලි කළ ද එම පැමිණිලි භාර ගැනීමට හෝ ඊට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමට අද දක්වා ම පොලීසිය අපොහොසත් වී ඇත.
අවුරා ලංකා සමාගම් ජාලයේ සභාපති ලෙස පෙනී සිටින විරංජිත් තාබුගල නිදන් ජාවාරමක් සම්බන්ධයෙන් වැරදිකරුවකු වී බන්ධනාගාර ගත ව සිටිය දී බන්ධනාගාරයෙන් පැන ගිය පුද්ගලයකු බව ප්‍රදේශවාසීන් හා පොලීසිය විසින් දන්නා ප්‍රසිද්ධ කරුණකි. බන්ධනාගාරයෙන් පැන ගොස් ප්‍රසිද්ධියේ පෙනී සිටින මෙම පුද්ගලයා ව අත් අඩංගුවට ගැනීමට අද දක්වා ම පොලීසියට නොහැකි වීම පුදුමයට කරුණකි. මුදල් බලය හා දේශපාලන සබඳතා මත මේ සියල්ල සිදු ව ඇති බව ඉතා ම හොඳින් තහවුරු වී තිබේ.
වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පමණක් තාබුගලට නඩු පැවරීම
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කලාප අංක 3 හි දකුණු මායිම ලෙස ගලා යන පනංකානි ඇළ හෙවත් පනික්කන්කුලම ඇළ හරස් කර වේල්ලක් ඉදි කර රාජාංගනය යාය 18 ප්‍රදේශයේ අවුරා ලංකා සමාගමේ යෝජිත කෝමාරිකා වගා භූමියේ පිහිටි කහඹිලියාපිටිය වැවට අලුතින් ඇළ මාර්ගයක් සකස් කර ජලය රැගෙන ඒමටවන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්තාබුගලට එරෙහි ව නඩු 2 ක් පවරා තිබේ. මේ වන විටතාබුගල ගේ නීති විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පමණි. අනෙක් කිසිදු රාජ්‍ය ආයතනයක් අද දක්වා ම තාබුගල ගේ නීති විරෝධී ක්‍රියාවලට එරෙහි ව නිවැරදි ව නීතිය ක්‍රියාත්මක කර නොමැත.

ඊට හේතුව අවුරා ලංකා ප්‍රසංග මාලාවේ දී පොලිස් නිලධාරීන් ගණනාවක ගේ නම් ආරාධිත අමුත්තන් ලෙස හා පොල්තෙල් පහන දැල්වීමේ කටයුතුවල දී සඳහන් කිරීම පිටුපස සැඟව ඇති බව පෙනෙන්නට තිබේ. උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධමින්ද ශ්‍රී රාජිත, අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේරත්න, අනුරාධපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර, අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම, තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරී ජීවහස්ත සිරිසේන හා රාජාංගනය හිටපු පොලිස් ස්ථානාධිපති අශෝක රණසිංහ යන අය ගේ නම් අවුරා ලංකා ප්‍රසංග මාලාවේ නිතර සඳහන් කරති.

හොර වෙදෙක්

ආචාර්ය උපාධියක් හෝ වෛද්‍ය උපාධියක් නොමැති ව ව්‍යාජ ලෙස වෛද්‍යවරයෙක් ලෙසත්තවත් අවස්ථාවක ආචාර්යවරයෙකු ලෙසත්ව්‍යාජ ව පෙනී සිටින, සමාගම් ජාලයක සභාපති ලෙස කටයුතු කරන බව සඳහන් කරමින් කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් ලංකාවේ විදෙස් ණයවලින් කොටසක් ගෙවා දැමිය හැකි බවට ප්‍රකාශ කරන නමුත් මෙතෙක් කළක් ඔහු ගේ ව්‍යාපාර වලින් රජයට ආදායම් බදු ගෙවීම සම්පූර්ණයෙන් ම පැහැර හැර සිටින රාජාංගනය, කටුපත්තෑව හන්දියේ රේඩියෝ කැසට් අලුත්වැඩියා කරන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත් ව සිටිවිරංජිත් තාබුගල අද වන විට මුළු මහත් සමාජය ම අසත්‍ය කරුණු මත මුලා කරනීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කර ඇත. නමුත් ඊට එරෙහි ව කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලිස් දෙපාර්තමේන්තුවට හෝ ආරක්ෂක අමාත්‍යංශයට හෝ නොහැකි වීමෙන් පෙනීයන්නේ මෙරට ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් ම බිඳ වැටී ඇති බව ය.

නමුත් විරංජිත් තාබුගල විසින් රාජාංගන යාය 18 ප්‍රදේශයේ ජනතාවට මරණීය තර්ජනය කිරීම හා ඔවුන්ට පහරදීම සඳහා සංගීත ප්‍රසංගය තුළ ඔහු ගේ පාක්ෂිකයන් පෙළැඹවීම මගින් සාමය කඩ කිරීමට ප්‍රසිද්ධියේ කටයුතු කිරීම පිළිබඳ ව පොලීසියට ලිඛිත ව පැමිණිලි කර ඇති නමුත් එම කිසිදු කරුණක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා නොකළ පොලිස් නිලධාරීන් ..

පොලීසිය අණ පනත් කඩයි

සංශෝධිත 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 32(1)(ඊ) උප වගන්තියට අනුව රාජකාරී කටයුතුවල නිරත පොලිස් නිලධාරියකුට බාධා කිරීම, මහේස්ත්‍රාත්වරයකු ගේ ආඥාවක් නොමැති ව හා වරෙන්තුවක් නොමැති ව අත් අඩංගුවට ගත හැකි වරදකි. නමුත් රාජාංගනය පොලිස් ස්ථානාධිපතිට තර්ජනය කිරීම සම්බන්ධයෙන් නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත බී වාර්තාවකින් කරුණු ඉදිරිපත් කිරීමේ දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමිල සෙනෙවිරත්න හා රාජාංගනය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සාවද්‍ය කරුණු ඉදිරිපත් කර ඇත. එනම් ඔවුන් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ විශාල පිරිසක් එම ස්ථානයේ රැදී සිටි බැවින් විරංජිත් තාබුගල අත් අඩංගුවට ගත්තේ නම් සාමය කඩ වීමක් සිදු වන බව ය.
නමුත් මෙවැනි අත් අඩංගුවට ගැනීම් පසුගිය කාලය පුරා කොපමණ ප්‍රමාණයක් සිදු වී ඇද්ද යන්න සමාජයේ සියලූ ම පුරවැසියන් හොඳින් දනිති. එසේ තිබිය දී මෙවැනි සාවද්‍ය ප්‍රකාශයක් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 188 වන වගන්තිය උල්ලංඝනය කිරීමකි. එය දණ්ඩ නීති සංග්‍රහයේ 190 වන වගන්තිය අනුව වසර 7 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හා දඩයකට යටත් කළ යුතු වරදකි.
එපමණක් නොව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 80(1) උප වගන්තියට අනුව යම් තැනැත්තෙකුට හෝ දේපළකට හානියක් කරන බවට තර්ජනය කර සාපරාධී බිය ගැන්වීමක් සිදු කිරීම වසර තුනක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හේතු වන වරදකි. ඊට අමතර ව මෙම පනතේ 109(5) වන උප වගන්තිය අනුව සාමය කඩ කිරීමක් සිදු වන බවට තොරතුරක් ලැබුණු පසු ඒ පිළිබඳ ව පරීක්ෂා කර වරදකරු සොයා සිරභාරයට ගැනීම පොලීසිය විසින් සිදු කළ යුතු ය.
නමුත් විරංජිත් තාබුගල විසින් රාජාංගන යාය 18 ප්‍රදේශයේ ජනතාවට මරණීය තර්ජනය කිරීම හා ඔවුන්ට පහරදීම සඳහා සංගීත ප්‍රසංගය තුළ ඔහු ගේ පාක්ෂිකයන් පෙළැඹවීම මගින් සාමය කඩ කිරීමට ප්‍රසිද්ධියේ කටයුතු කිරීම පිළිබඳ ව පොලීසියට ලිඛිත ව පැමිණිලි කර ඇති නමුත් එම කිසිදු කරුණක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා නොකළ පොලිස් නිලධාරීන් සිදු කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය පනතේ 198 වන වගන්තියට අනුව වරදක් සිදු කර ඇතිබව දැන දැන ම වරදකරු නීත්‍යානුකූල දඩුවමෙන් ආවරණය කිරීමේ අදහසින් අසත්‍ය තොරතුරු සැපයීම ය. එවන් වරදක් සිදු කරන නිලධාරියකුට එම වගන්තියේ සඳහන් පරිදි බන්ධනාගාරගත කිරීමකට හා දඩයකට ලක් කළ හැකි ය.
මෙම නීති සියල්ල තාබුගල ඉදිරියේ ක්‍රියාත්මක නොවුනේ ඔහුගෙන් ලැබෙන තුටු පඬුරු මත බව ගම්‍ය වන කරුණකි. එසේ නොමැති ව මෙවන් තත්ත්වයක් ඇති විය නොහැකි බව සමාජයේ අති බහුතරයක් දෙනා දන්නා පොදු කරුණකි.
දණ්ඩ නීති සංග්‍රහයේ 158 වන වගන්තියට අනුව යම් නිල කාර්යයක් නොකර සිටීම සඳහා තුටු පඬුරු ලබා ගැනීම වරදකි. එවන් ක්‍රියාවකට වරදකරුවකු වන නිලධාරියකු වසර 3 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ මේ දෙකට ම යටත් කළ හැකි ය.
මේ තත්ත්වය පමණක් නොව පසුගිය කාලය පුරා ම පාරිසරික හා ඉඩම් නීති උල්ලංඝනය කරමින් රාජාංගනය යාය 18 ගම්මානය සම්පූර්ණයෙන් ම විනාශ කළ තාබුගලට එරෙහි ව නීති ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ අද වන විට මේ ආකාරයෙන් සමස්ත නීති පද්ධතිය ම උල්ලංඝනය කරන තත්ත්වයට පරිවර්තනය වීම ය.
යාය 18 ගම්මානයට සිදු කළ විනාශය
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද යාය 18 ගම්මානයේ පිහිටි කහඹිලියාපිටිය වැව අවුරා ලංකා ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණයෙන් ම විනාශ කර තිබේ. කිසිදු අනුමැතියකින් තොරව වැව හාරා වැවට අයත් විශාල ප්‍රදේශයක් ගොඩ කර ඒ වටා ප්‍රදේශය සම්පූර්ණයෙන් ම කොන්ක්‍රිට් හා ගල් අතුරා සකස් කර ඇත. මේ නිසා ගොවි බිම්වලට ජලය ලබා ගත නොහැකි තත්ත්වයකට පත් ව තිබේ. මෙම වැව යටතේ ගොවි පවුල් 87 ක් අක්කර 130 ක කුඹුරු ඉඩම් අස්වද්දනු ලැබූ අතර ගොවීන් 118 ක් පමණ කුඹුරු ගොවිතැන හා ගොඩ ගොවිතැන සඳහා මෙම වැවෙන් ජලය ලබා ගැනීම සිදු කෙරින. එවන් වැවක් සම්පූර්ණයෙන් ම විනාශ කර දමද්දී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ප්‍රධාන කිසිදු රාජ්‍ය ආයතනයක් මේ පිළිබඳ ව සොයා බැලීමක් සිදු කර නොමැත. ගැඹුරු කර සකස් කරන ලද වැවට ජලය ලබා ගැනීම සඳහා කලා ඔයේ අතු ගංගාවක් වන පනන්කානි ඇළ හරස් කර අමුණක් ඉදි කිරීම ද නීති විරෝධීව ආරම්භ කෙරින.
යාය 18 ගම්මානය තුළ පිහිටි වනාන්තර අක්කර 15 ක් පමණ සම්පූර්ණයෙන් ම කපා ඉවත් කර සමහර ප්‍රදේශවල කොන්ක්‍රීට් අතුරා භූමිය සකස් කර තිබේ. එපමණක් නොව යාය 18 ගම්මානයේ ජනතාව භාවිත කරන බලපත්‍ර යටතේ ලබා දී ඇති කුඹුරු ඉඩම් හා ගෙවතු ඩෝසර් යන්ත්‍ර මගින් පස් ඉවත් කර භූමිය සකස් කර තිබේ. මීට අමතර ව රාජාංගනය, යාය 18 ගම්මානය තුළ පිහිටි ප්‍රධාන මාර්ග දෙපස ශාක සියල්ල ම කපා ඉවත් කර මාර්ගය දෙපස අලුතින් ඇළ මාර්ග සකස් කර ඇති අතර ඒ සියල්ල ම කිසිදු සැලැසුමකින් තොර ව සිදු කර තිබේ. මේ සියලු සංවර්ධන ක්‍රියාවලීන් දැනට වසර පහකට ආසන්න කාලයක සිට සිදු කළ ද කිසිදු ස්ථානයක කෝමාරිකා ශාක වගා කර නොමැත.නමුත් රජයට අයත් ඉඩම් හා ගොවි ජනතාවට බලපත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම් නීති විරෝධී ව පවරා ගෙන එම ඉඩම් ආවරණය වන පරිදි ස්ථිර වැටවල් ඉදි කර පුවරු ප්‍රදර්ශනය කර මෙම සමාගම යටතට අත් පත් කර ගෙන ඇත. නමුත් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් හෝ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් හෝ මේ සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදු කර නොමැත. ඒ හේතුවෙන් තාබුගල විසින් තමන්ට අයත් සින්නක්කර ඉඩම් පරිහරණය කරන ආකාරයෙන් රජයට අයත් පොදු භාවිත ඉඩම් පරිහරණය කරමින් සිටී.
අවුරා ලංකා ව්‍යාපෘතිය සඳහා බිම් සකස් කිරීමේ දී යාය 18 ගම්මානයේ උස්සාන වාරිමාර්ග ජල ව්‍යාපෘතිය සඳහා “යළි පුබුදමු” වැඩසටහන යටතේ සකස් කළ ජල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත. රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වියදමින් සකස් කළ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම සමාගමක් විසින් විනාශ කර දමද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් ඊට එරෙහි ව මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ ආකාරයෙන් සමාගමක් විසින් නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය බලය ලැබී ඇත්තේ ප්‍රදේශයේ දේශපාලඥයින්ගේ හා නිලධාරීන්ගේ සහයෝගය මත ය.

බලහත්කාර ව්‍යාපෘතිය 

මෙම සමස්ත ව්‍යාපෘතිය අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කර ඇත. විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ මෙම ව්‍යාපෘතියට අදාළ සංවර්ධන කටයුතු සිදු කරන්නේ 2022 අංක 07 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ ඕනෑම ආකාරයක සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප්‍රථම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. 9අ(2) උප වගන්තියට අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම් ව එම අනුමැතිය ලබා ගත යුතු වේ. පනතේ 10(ඈ) උප වගන්තියට අනුව එවන් අනුමැතියකින් තොරව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ක්‍රියාවලියක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මේ නීතිමය තත්ත්වය උල්ලංඝනය කිරීමට එරෙහි ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
අවුරා ලංකා සමාගම මගින් ගොවි ජනතාවගේ ඉඩම්, රජයට අයත් පොදු ඉඩම් හා වනාන්තර ප්‍රදේශ එළිපෙහෙලි කිරීම සිදු කරනු ලබන්නේ සංශෝධිත 1980 අංක 47 දරන පාරිසරික පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙලි කිරීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශ එළිපෙහෙලි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.
අවුරා ලංකා සමාගම මගින් කහඹිලියාපිටිය වැව සංවර්ධනය කර ඇත්තේ ද කිසිදු අනුමැතියකින් තොරව ය. ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට ම අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්ඡයේ සිට මීටර 100 ක් වටා කලාපය හෝ එකී වැව ඇතුළත යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගත යුතු ය. මෙම නීතිමය තත්ත්වය ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කර ඇත.
පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලු ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට පනතේ 31 වගන්තියට අනුව රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරා වස්තු ආඥා පනත යන සියලු අණ පනත් උල්ලංඝනය කරමින් මෙම සමාගම යාය 18 ගම්මානය සම්පූර්ණයෙන් ම විනාශ කරද්දී සියලූ ම රාජ්‍ය ආයතන නිහඬව සිටීම ගැටළුවට කරුණකි.
පාරිසරික පනත් වලට අමතර ව 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. පුරාවස්තු ආඥා පනතේ 43අ හා 47 වගන්ති යටතේ ප්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 4 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනයට අනුව වැව් ප්‍රතිසංස්කරණය කිරීම, කෘෂිකාර්මික ව්‍යාපෘති සංවර්ධනය කිරීම, හෙක්ටයාර දෙකක් ඉක්මවන භූමි ප්‍රදේශ එළි කිරීම, ඒකාබද්ධ බහුකාර්ය සංවර්ධන ක්‍රියාවලීන් සිදු කිරීම සඳහා හෙක්ටයාර එකක් ඉක්මවන භූමි ප්‍රදේශ එළි කිරීම යන සියලු ක්‍රියාවලීන් සිදු කිරීමට ප්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් අවුරා ලංකා සමාගම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරා වස්තු ආඥා පනත යන සියලු අණ පනත් උල්ලංඝනය කරමින් මෙම සමාගම යාය 18 ගම්මානය සම්පූර්ණයෙන් ම විනාශ කරද්දී සියලූ ම රාජ්‍ය ආයතන නිහඬව සිටීම ගැටළුවට කරුණකි.

නිව්ස් කටර් වීඩියෝවකිනි.
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ දැක්වෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතු ය. නමුත් අවුරා ලංකා සමාගම නීති විරෝධීව යාය 18 ගම්මානය වනසද්දී සමහර රාජ්‍ය නිලධාරීන් මුදලට ඇති ගිජු බවට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම හා බොහෝ රාජ්‍ය නිලධාරීන් නිද්‍රාශීලීව පසු වීමෙන් පෙනී යන්නේ අපගේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමට රාජ්‍ය ආයතන සියල්ල තාබුගලට සහයෝගය ලබා දෙන බව ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 14(1)(උ) හා (ඌ) ව්‍යවස්ථාවල දැක්වෙන ලෙස නීත්‍යානුකූල කර්මාන්තයක නියුක්තවීමේ නිදහස හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස අවුරා ලංකා සමාගම මගින් යාය 18 ගම්මානයේ ගොවි ජනතාවට අහිමි කර ඇත. නිද්‍රාශීලීව පසු වන පොලීසිය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු සියලූ ම රාජ්‍ය ආයතන අවදි කිරීමේ වගකීම සියලු ජනතාවට ම ඇත. එසේ නොවුනහොත් නුදුරු අනාගතයේ දීම සමස්ත ලංකාවේ ම ගොවි ජනතාවගේ වගා බිම් සමාගම් විසින් අත්පත් කර ගනු ඇත. එවන් තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා අවුරා ලංකා සමාගමේ වර්තමාන ක්‍රියාකාරීත්වය වහා ම නතර කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු ව ඇත.
සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Archive

Latest news

Related news