Tuesday, July 16, 2024

සරසවි අනධ්‍යයන සේවක වැටුප් වැඩි නොකරන්නේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේශ් සලේගේ අනතුරු හැඟවීම නිසාලු! 

දෙමසක් පුරා විරෝධතාවයේ නිරත විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට වැටුප් වැඩිවීමක් ලබා නොදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ අනතුරු ඇඟවීමක් හේතුවෙන් බව ඉකොනොමි නෙක්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

රාජ්‍ය බුද්ධී සේවයේ ප්‍රධානියා වන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද මේජර් ජෙනරාල් සුරේශ් සලේය.

ඔහු පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පසුපස සිටි බවට චෝදනා එල්ල වී තිබේ.

මෙයින් පෙනෙන්නේ මෙරට රාජ්‍ය පාලනය කොයිතරම් දුරට යුදකරණය වි ඇති අන්දමය. විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට වැ‍ටුප් ඉහළ නැංවීම නතර කිරීමට තරම් බලයක් රාජ්‍ය බුද්ධි සේවයට තිබීම ඉතා අනතුරු දායක වර්ධනයක් බව දේශපාලන අංශ පවසති.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල විරෝධතාවයේ නිරත අනධ්‍යයන කාර්ය මණ්ඩලයට වැටුප් වැඩිවීමක් ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවය (SIS) රජයට අනතුරු අඟවා ඇත්තේ එය විශාල කුමන්ත්‍රණයක කොටසක් බැවින් යැයි දක්වමින් බව  උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් බවසා තිබේ. ඔහු දක්වා ඇත්තේ එවැනි වැටුප් වැඩිකිරීමක් ලබා දුනහොත් සේවක අරගල රැල්ලක් ඇතිවිය හැකි බවයි.

සුරේන් රාඝවන් පවසා ඇත්තේ මෙම වැඩ වර්ජනය විශාල කුමන්ත්‍රණයක කොටසක් බවයි.

සෑම සාධාරණ ඉල්ලීමක්ම පිටුපස කුමන්ත්‍රණයක් ඇති බව පැවසීම මෙරට පාලකයින්ගේ පුරුද්දකි.

දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා පාරට බැස තමා එලවා දැමූ අරගලය ගෝඨාභය රාජපක්ෂයට අනුව කුමන්ත්‍රණයකි.

 පසුගිය සිකුරාදා (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු EconomyNext වෙත ප්‍රකාශ කර ඇත්තේ “රාජ්‍ය බුද්ධි අංශ අපට කිව්වේ ඒකයි.” කියාය

ආන්දෝලනාත්මක වරිතයක් වන රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ උපදෙස් මත රජය වැටුප් වැඩිවීමක් ලබා නොදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍යවරයා පිළිගෙන තිබේ.

“ අපි මේක දෙන්න හිටියා. රාජ්‍ය බුද්ධි සේවය කීවේ දෙන්න එපා , මෙය ආරම්භය පමණයි කියලා. තවත් රාජ්‍ය ආයතන කිහිපයක් (වැටුප් වැඩිකිරීම් සඳහා විරෝධතා දැක්වීමට) බලා සිටියා. ඒ නිසා අපිට මේක කරන්න බැහැ,”  රාඝවන් පවසා ඇත.

අනධ්‍යන කාර්යමණ්ඩලයේ මාස දෙකකට වැඩි කාලයක් පුරා පැවති විරෝධතා හේතුවෙන් දිවයිනේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෙහෙයුම් අඩාල වී ඇත.

වැඩි වැටුප් ඉල්ලා රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක සහ ඒකාබද්ධ පශ්චාත් උපාධි ආයතන 19ක අනධ්‍යන සේවකයින් 14,600කට ආසන්න පිරිසක් දින 65ක් තිස්සේ වැඩ වර්ජනයක නිරතව සිටිති.

එවැනි සාධාරණ අරගලයක් මර්දනය කිරීමට ආණ්ඩුව කවන්නේ අතිශය දේශපාලනකරණය වී ඇති ඔත්තු සේවා මත පදනම් වීම, ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් බවද දේශපාලන ආරංචි මාර්ග දක්වති.

සේ. පියවර්ධන

Archive

Latest news

Related news