Sunday, May 19, 2024

“නඩු පිට නඩු පැරදුණූ” අල්ලස් කොමිසමේ ගෝටාගේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යළි පත් කිරීම අත්තනෝමතිකයි! TISL ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි.

ගෝඨාභය රාජපක්ෂ විසින් සිය තනි කැමැත්ත මත 2020 ජනවාරි මාසයේදී පත් කල  අධ්‍යක්ෂක ජනරාල්වරයාම නැවතතත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ එම ධුරයටම රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් පත් කර තිබේ. රාජපක්ෂවාදී බොහෝ දේශපාලනඥයින්ට පවරා තිබූ අල්ලස් සහ දූෂණ වංචා නඩු විවිධ හේතු උඩ ඉවත් කර ගන්නා ලද්දේ මෙම පුද්ගලයා යටතේය. දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ද එම පිළිවෙතම ගෙන යෑම පිනිස ඔහු යළි පත් කර තිබේ.

වංචා දූෂණ සම්බනධයෙන් නිසි පියවර ගන්නා ලෙස රනිල් රාජපක්ෂගේ බාප්පොච්චී වන අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශ කර ඇත්තේ ජනයා රැවටීමට පමණක් බව මෙම පත් කිරීමෙන් තහවුරු වේ.

ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය TISL විසින් මෙම පත් කිරීම දැන් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබේ. එම පියවර සම්බන්ධයෙන් TISL විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය පහත දැක්වේ.

 

  • CIABOC අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කනිෂ්ක විජේරත්න මහතා පත් කිරීම දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට පටහැනි බව මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රකාශ කරයි.

  • එකී පත්වීම අත්තනෝමතික සහ ක්‍රියා පටිපාටිමය වශයෙන් නොගැලපෙන බව පෙත්සම ප්‍රකාශ කරයි.

  • පත්වීම ශුන්‍ය සහ බලරහිත බව ප්‍රකාශ කරන ලෙසත්, නඩු විභාගය අවසන් වන තුරු විජේරත්න මහතා CIABOC අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කිරීම වළක්වන අතුරු නියෝගයක් ලබා දෙන ලෙසත් පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම පත් කිරීම සාධාරණීකරණය කිරීමට ගෙන හැර පෑ කරුණු, අනුගමනය කරන ලද ක්‍රියා පටිපාටිය, රැස්වීම් සටහන් ආදිය ප්‍රසිද්ධියට පත් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඩබ්ලිව්. කණිෂ්ක ඩී. විජේරත්න මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) අප්‍රේල් 30 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SC FR 110/2024) ගොනු කරන ලදී.

2020 ජනවාරි මාසයේ සිට CIABOC අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළ විජේරත්න මහතා,  නව දූෂණ විරෝධී පනත බලාත්මක කිරීමෙන් පසු 2024 අප්‍රේල් 2 වන දින එම තනතුරට නැවත පත් කරන ලදී.

එම පත්වීම දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට පටහැනි බවත්, එහිදී සුපිළිපන් සහ විනිවිද භාවයක් සහිත පටිපාටියක් අනුගමනය කර නොමැති බවත් TISL ආයතනය සිය පෙත්සම මගින් පෙන්වා දෙයි. එබැවින්, එම පත්වීම ශූන්‍ය සහ බල රහිත බව ප්‍රකාශ කරන ලෙස හෝ, නොඑසේ නම් එම ධූරයෙන් ඔහුව ඉවත් කර නීත්‍යානුකූලව නව පත්වීමක් සිදු කරන ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙස TISL ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

CIABOC අධ්‍යක්ෂ ජනරාල්වරයා වීමට අදාළ සියලුම සුදුසුකම් සහ නිර්ණායක විජේරත්න මහතා විසින් සපුරා නොමැති බව පෙත්සමෙහි වැඩිදුරටත් සඳහන් වේ.

නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සහ මහලේකම්, CIABOC සභාපති, එහි කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා, සහ CIABOC අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ඉල්ලුම් කර, ලැයිස්තුගත කළ අපේක්ෂකයින් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් වගවන ලෙස ඉල්ලා සිටිමින්, මහජන සුබ සිද්ධිය වෙනුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.

මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර අවසන් වන තෙක් CIABOC අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විජේරත්න මහතා කටයුතු කිරීම වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස TISL ආයතනය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මෙවැනි අක්‍රමික පත් කිරීම් දිගටම සිදු වීමට ඉඩ හැරීම තුළින් රටේ ආර්ථිකයට සහ කීර්තියට ඇති විය හැකි හානි පිළිබඳව ද TISL ආයතනය පෙන්වා දී ඇත. “මෙවැනි වැරදි පියවරයන් නිවැරදි කිරීමට ක්ෂණික පියවරක් නොගතහොත් දූෂණයට එරෙහි සටනේ විශ්වසනීයත්වයට මෙන්ම රටේ ආර්ථිකයට සහ ජාත්‍යන්තර කීර්තිනාමයට අහිතකර බලපෑම් ඇති කරනු ඇත,” යනුවෙන් පෙත්සම  මගින් අවධාරණය කර ඇත.

එසේම, CIABOC අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි, විනිවිද පෙනෙන මාර්ගෝපදේශ ඉදිරියේදී අනුගමනය කරන ලෙස TISL ආයතනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ CIABOC වෙතින් ඉල්ලා සිටියි.

Archive

Latest news

Related news