Sunday, May 19, 2024

දිවයිනේ හේමන්ත රන්දුණු යළිත් ගා ගනී: නිවැරදි නොකෙළොත් කපිල කුමාරගේ මව නඩු මඟට!

ශාන්ත විජේසුරිය විසිනි. (ලංකාස්කයි නිව්ස්)

“දකුණේ ඝාතන හතරේ වෙඩික්කරු අත්අඩංගුවට” යන සිරස් තලය යටතේ  මාධ්‍යවේදී හේමන්ත රන්දුණු දිවයින පුවත්පතට ලියා ඵල කළ ප්‍රවෘත්තීයෙන් මගේ සහ මගේ පුතාට සහ ඔහුගේ බිරිදට සහ දරුවන් දෙදනාගේ ජිවිත වලට තර්ජන එල්ල වීමේ බරපතළ අවධානමක් පවතින බවත් විශේෂ කාර්ය බලකාය පමණක් කියන දේවල් අසා ලිවිමෙන් සත්‍ය විකෘති වී ඇති බවත්  අසත්‍ය කරුණු අඩංගු එම ප්‍රවෘත්තීය නැවත නිවැරැදි  කර ඵල කරන්නැයි ඉල්ලන අතර එසේ නොකරන්නේ නම් ,නීතීමය ක්‍රියා මාර්ග වලට අවතිරණ බව කපිල කුමාරගේ මව වන නෙළුම් කුමුදුනී ජයසේකර දිවයින පුවත් පතේ කර්කෘ මණ්ඩලයට ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

මෙම ප්‍රවෘත්තීය ලියා ඵල කර ඇත්තේ මාධ්‍යවේදී ‌හේමන්ත රන්දුණු විසිනි .

රන්දුණු මාධ්‍යවේදියා තොරතුරු වල නිරවද්‍යතාවය සනාථ කර නොගෙන ලිවිමෙන් කපිල කුමාර සහ ඔහුගේ පාර්ශ්වයට බරපතළ ජිවිත අනතුරක් හෙළා ඇති බවත් කපිල කුමාර සැකකරුවෙකු ලෙස නොසලකා නිර්දෝෂිභාවයේ පුර්ව නිගමනය සචේතනිකව නොසලකා ඇති බවත් වගකිම් විරහිත ලෙස මාධ්‍ය ආචාර ධර්ම වලට පිටුපාමින් අසත්‍ය පුවත් වාර්තාකරණයේ යෙදී ඇති අතර සංවේදී කරුණු පිළිබද සැලකිලිමත් වී නැතැයි එම ලිපිය මගින් පෙන්වා දී ඇත .

කපිල කුමාර මුලින් ගුවන් හමුදා සෙබළෙකු ලෙස කටයුතු කර පසුව ඉන් ඉවත් වී ශ්‍රී ලංකා කොමාන්ඩෝ බලකායට සම්බන්ධ වි ඇත. හේමන්ත රන්දුණු ලියා ඵල කළ ප්‍රවෘත්තීයේ සදහන් කර ඇත්තේ, කපිල කුමාර කොමාන්ඩෝ රේජිමේන්තුවට අනුයුක්තව කටයුතු කරමින් සිටියදී පලා ගිය  පුද්ගලයෙකු යැයි පොලිසිය පැවසු බවයි . නමුත් කපිල කුමාරගේ මව පවසන්නේ ඔහු නිත්‍යානුකුලව හමුදාවෙන් ඉවත් වී ඇතැයි කියාය . කපිල කුමාර හමුදවෙන් පලා ගිය පුද්ගලයෙක් නම් ඔහුව පිටිගල පොලිසිය බාරදුන් අවස්ථාවේ හෝ අධිකරණයෙන් ඇප මත මුදාහරි අවස්ථාවක හෝ කපිල කුමාරව කොමාන්ඩෝ රේජිමේන්තුවෙන් අනිව්‍යීයෙන් රැගෙන යනු ඇත..

විශේෂ කාර්ය බලකාය මගින් කපිල කුමාරව අත්අඩංගුවට ගෙන පිටිගල පොලිසියට බාර දී ඇත්තේ අප්‍රේල් (24) වැනිදා බව හේමන්ත රන්දුණු ලියා ඵල කළ ප්‍රවෘත්තීයේ සදහන් වේ . ගොනපිනුවල කපිල කුමාර සිල්වා පැහැරගෙන යන්නේ 2024 මාර්තු (27)  සවස 6.30 ට පමණ අනුරාධපුර හොරොව්පොතාන නගරයේදීය . ඔහුව දින 25 ක් අතුරුදන් කර සිට අප්‍රේල් 21 වැනිදා විශේෂ කාර්ය බලකාය මගින් ගාල්ල පිටිගල පොලිසියට ගෙනැවිත් බාර දී තිබුණි.  ඊට පසු දින එනම් අප්‍රේල් (22) පිටිගල පොලිසිය මගින් ඇල්පිටිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි .  ඔහුව පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට , අතුරුදන් වුවන් පිළිබද සොයා බැලීමේ කමිටුවට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට පැමිණි කර  ඇතැයි ද එම ලිපියේ වැඩිදුරටත් සදහන් වේ .

රන්දුණූගේ පටලැවීම

පිටිගල පොලිසිය මගින් කපිල කුමාරව අප්‍රේල් (22) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබියදී , විශේෂ කාර්ය බලකාය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන පිටිගල පොලිසියට බාර දුන්නේ අප්‍රේල් (24) යැයි කියන්නෙ කෙසේද? පොලිසිය කියන විට ලියන්නට ගොස් රන්දුණුට පඹගාලක පටලැවී ඇත.

කපිල කුමාර නැමති කුලි ඝාතකයා කරදෙණිය සුද්දා සමග කොමාන්ඩෝ රේජිමේන්තුවේ ඒකට  වැඩ කර ඇතැයි රන්දුල එම ප්‍රවෘත්තීයේ  සදහන් කර ඇත.  සොබනා නන්ද ජයලත් හෙවත් කරන්දෙණිය සුද්දා කොමාන්ඩෝ රේජිමේන්තුවට අනුයුක්තව සේවය කර නැත . ඔහු සේවය කර ඇත්තේ ආමට්කෝ රේජිමේන්තුවට අනුයුක්තවය . කපිල කුමාර සමග කොමාන්ඩෝ රේජිමේන්තුවේ එකට වැඩ කර ඇත්තේ කරන්දෙණිය සුද්දාගේ මල්ලී වන සෙබනා සනත් රංජි.් හෙවත් රාජුය . හේමන්ත රන්දුණු වායුසමනය කළ කාමර වලට සිට කියනවිට ලිවිමට ගොස් හත්පලේ ගාගෙන ඇත. කපිල කුමාර රන්දුලගේ ඥාතියෙකු හෝ මිත්‍රයෙකු හෝ ඝාතනය කළ අයුරින් හැසිරෙමින් ඔහු කපිල කුමාරට කුලී ඝාතකයා යැයි අමන්ත්‍රණය කරයි. රන්දුණු යනු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. නමුත් ඔහු එම ප්‍රවෘත්තීය ලියා ඵල කර ඇත්තේ ජ්‍යෙෂ්ඨයෙකුට නොව නවකයෙකුටත් නොගැලපෙන අයුරින්ය. කපිල කුමාර වැරදිකරුවෙකු ද නිවැරැදිකරුවෙකු ද යන්න තිරණය කිරීමේ සහ දඩුවම් පැමිණවිමේ අයිතිය ඇත්තේ අධිකරණයටය . නමුත් රන්දුණු පොලිසිය මෙන් කපිල කුමාර කුලි මිනීමරුවෙක් යැයි තීන්දු කර හමාරය. .

එස්ටීඑෆ් එකට කඩේ යෑම

 ඇල්පිටිය අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ කපිල කුමාර නමවෙනි විත්තිකරු වන අතර කපිල කුමාර ඇතුළු පිරිසට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතින නිසා කපිල කුමාර විත්තිකරුවෙක් මිස වරදකරුවෙකු නොවන බව දැන දැනත් විශේෂ කාර්ය බලකායේ අවශ්‍යතාවය සදහා රන්දුණු පේවි සිට ඇත.

විශේෂ කාර්ය බලකාය මගින් කපිල කුමාර අත්අඩංගුවට ගන්නට පෙර කපිල කුමාරගේ මව සහ මල්ලි වන කැලුම් කුමාරව අත්අඩංගුවට ගත් බව රන්දුල එම ප්‍රවෘත්තීයේ සදහන් කර ඇත. කපිල කුමාරව අත්අඩංගුවට ගන්නේ මාර්තු (27) සවස වන අතර ඔහුගේ මව වන කුමුදුණී ජයසේකරගේ ගාල්ල අකුරල කහව නිවසට සිවිල් ඇදුමෙන් සැරසුණු නාදුනන පිරිසත් බලහත්කාරයෙන් එම නිවසට ඇතුල් වී පසුදා (28) වනදා රාත්‍රි 8ත30 පමණ වෙන තෙක් නිවසේ රැදි සිට ඔවුන් නිවාස අඩස්සියේ තබා ගත්තා මිස ඇයව අත්අඩංගුවට ගත්තේ නැත. කපිල කුමාරගේ මල්ලි වන කැලුම් කුමාරව අත්අඩංගුවට ගන්නේ අප්‍රේල් (28) පාන්දර 4.30 ට පමණ  අනුරාධපුර කැකිරාව ඔහුගේ නිවසේ සිටියදීය .කැලුම්ව අත්අඩංගුවට ගන්නේ දඹුල්ල විශේෂ කාර්ය බලකා මුලස්ථානය මගින්ය . කැලුම් ධිවරයෙකු වන අතර මාස තුනකට ආසන්න කාලයක් මුහුදේ සිට ගොඩ බිමට පැමිණෙන්නේ අප්‍රේල් (27)  උදේ වන අතර ඔහු එදිනම බිරිද සහ ළමුන් බැලීම සදහා කැකිරාවට ගොස් ඇත. කැලුම්ව අත්අඩංගුවට ගන්නේ කපිල කුමාර කළා යැයි පොලිසිය කියන ඝාතන වලට ආදාළ තොරතුරු ලබා ගැනීමටය . නමුත් ඝාතන චෝදනා මෙන්ම මත්ද්‍රව්‍ය ලග තබා ගත්තැයි චෝදනා කොට ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර කර ඇත .

රන්දුණූ වෛද්‍ය සාෆි ගැන බොරු ජනගත කල කෙබරාය

  සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් රන්දුණු මිට පෙර වෛද්‍ය සාෆි  ගැන අසත්‍ය තොරතුරු ඵල කිරීම සම්බන්ධයෙන් කතාබහට ලක් වු කුප්‍රකට මාධ්‍යවේදියෙකි. අප ඉදිරිපත් කර ඇති කරුනු සම්බන්ධයෙන් රන්දුණුට අභියෝග කළ හැකිය .

  සදාචාර සම්පන්න මාධ්‍ය කාලාවක් ගොඩනැගීම සදහා කැප වන්නැයි ලංකා ස්කයි නිව්ස් රන්දුණුගෙන් සහෝදරත්වයෙන් ඉල්ල සිටිමු .

කපිල කුමාරගේ මව වන කුමුදුණී ජයසේකර දිවයින කර්තෘ මණ්ඩලයට වෙත යවන ලද ලිපිය පහතින් ඵල වේ .

2024.04.26

ප්‍රධාන කර්.තෘ,

දිවයින පුවත්පතේ කර්.තෘ මණ්ඩලය.

මහත්මයාණෙනි,

අසත්‍ය තොරතුරු සහිතව පලකර තිබූ පුවතක් නිවැරදි කර නැවත පලකිරීම සදහා අගතියට පත් පාර්ශවය විසින් කරන ඉල්ලීමයි.

“දකුණේ ඝාතන හතරේ වෙඩික්කරු අත්අඩංගුවට” යන ශීර්ෂ පාඨය යටතේ දිවයින පත්තරේ, දෙවැනි පිටුවේ, 2024.04.26 වන දින, හේමන්ත රන්දුණු මාධ්‍යවේදියා විසින් පලකර තිබූ පුවත මම කියෙවුවෙමි. එම පුවත කියවා දැනට සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගතකර සිටින කපිල කුමාරගේ මව වන මා දැඩි කම්පාවට පත්වුණෙමි. මගේ පුතා කපිල කුමාර පැහැරගැනීමට ලක්වුණේ 2024.03.27 දින සවස 6.30ට පමණ හොරොව්පතාන ප්‍රදේශයේදී. ඉන්පසු ඔහු පිළිබදව කිසිදු තොරතුරක් නොලද තැන කපිලව පැහැරගෙන බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම සම්බන්ධයෙන් මා නීතිමය සහ මානව හිමිකම් පිළිබද ආයතනික ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ වෙත පැමිණිලි ඉදිරිපත් කළෙමි. පැහැරගෙන අතුරුදහන්කර සිටි කපිල කුමාර දින 25කට පසුව 2024.04.21 දින රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් පිටිගල පොලීසියට භාර දී තිබුණි. පසුදින එනම්, 2024.04.22 ඔහු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී. ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබෙන මෙම නඩුවේ විත්තිකරුවන් අතර කපිල කුමාර විත්තිකරුවෙකි. නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර නැති නිසා මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඔහු තවමත් සැකකරුවෙකු පමණි.  ගරු මහේස්ත්‍රාත්තුමා විසින් නඩුවේ තීන්දුවක් ලබාදෙන තුරු “නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය” මත ඔහු විත්තිකරුවෙකු මිස වැරදිකරුවෙකු නොවේ.

මෙවැනි සිදුවීමක් සහ සැකකරුවෙකු පිළිබදව පුවත් වාර්තාකරණයේදී මාධ්‍ය ආචාරධර්මවලට අනුකූලව එය වාර්තා කරන්නේනම් අගනේය. ඒ බව මට වඩා ඔබට උගත් මාධ්‍යවේදියෙක් සහ කර්තෘ කෙනෙකු ලෙස අවබෝධයක් සහ පළපුරුද්දක් ඇතැයි මම සිතමි. මෙම පුවත් වාර්තාකරණයේ ඇතුළත් වැරදි කරුණු 04ක් සහ ඊට අදාළ නිවැරදි කරුණුද ඉතා අවංක ලෙස, මාගේ හෘද සාක්ශියට අනුව පහත පරිදි සටහන් කරමි.

01. “…පෙරේදා (24දා) අත්අඩංගුවට ගෙන ඇත”

නිවැරදි තොරතුර

කපිලව පිටිගල පොලීසියට භාර දී තිබෙන දිනය වන්නේ 2024.04.21

02. “යුද හමුදා කමාන්ඩො බළකායේ රාජකාරි කර ඉන් පලාගොස්..”

නිවැරදි තොරතුර

කපිල කුමාර කමාන්ඩො බළකායේ රාජකාරි සදහා වන ගිවිසගත් අවුරුදු ගණන සම්පූරණ කර නීත්‍යානුකූලව රාජකාරියෙන් විශ්‍රාම ගිය කෙනෙකි (ඒ බව තහවුරු කරන ලිපිය මේ ලිපිය සමග අමුණා ඇත).

03. “..කරන්දෙණියේ සුද්දා නැමති පාතාල නායකයා යුධ හමුදා කමාන්ඩො බළකායේ රාජකාරිකර ඇත්තේ එකට..”

නිවැරදි තොරතුර

කපිල කුමාර කොමාන්ඩො බළකායේ රාජකාරී කළත්, ඔහු කිසිම අවස්ථාවක කරන්දෙණියෙ සුද්දා නැමති හමුදා නිළධාරියෙකු සමග එකට රාජකාරී කර නැත.

04. “කපිල කුමාරගේ මව සහ සොහොයුරා මුලින් අත්අඩංගුවට ගෙන තිබුණි”

නිවැරදි තොරතුර

කපිල කුමාරගේ මව වන මා අත්අඩංගුවට ගත්තේ නැත. කපිලගේ සොයුරාද අත්අඩංගුවට ගත්තේ කපිල කුමාර පැහැරගත් 2024.03.27 දිනට පසුදින එනම්, 2024.04.28 දිනය.

හේමන්ත රන්දුණු මාධ්‍යවේදියා ඔහුට ලැබුණු තොරතුරුවල නිරවද්‍යභාවය සනාථ නොකර ගැනීමෙන් සිදුව ඇත්තේ අසත්‍ය පුවත් වාර්තාකරණයකි. එමෙන්ම සැකකරුවෙකු ලෙස කපිල කුමාරගේ “නිර්දෝශිභාවයේ පූර්ව නිගමනය” සචේතනිකවම නොසලකාහැර ඇත. වෘර්තීමය මාධ්‍යවේදියෙකු ලෙස මාධ්‍ය ආචාර ධර්ම බැහැර කරමින්ද සිදු කළ මෙම අසත්‍ය පුවත් වාර්තාකරණය හා සංවේදී කරුණු පිළිබදව සැලකිලිමත් නොවී සිදු කළ පුවත් වාර්තාකරණය මාගේ සහ කපිල කුමාරගේ බිරිද සහ දරුවන් දෙදෙනාගේද ජීවිතවලට මරණ තර්ජන පවා එල්ල වීමේ අවදානමක් ඇත.

එබැවින් සම්මත මාධ්‍ය ආචාරධර්මවලට ගරු කරමින් මෙම අසත්‍ය පුවත් වාර්තාකරණය ගැන කණගාටුව හා අගතියට පත් පාර්ශවයට සමාව භජනය කරමින් වැරැදි නිවැරදි කිරීමක් සිදු කරන ලෙස මෙමගින් කාරුණිකව ඉල්ලා සිටිමි. එම පුවත නිවැරදිකරණය ඉදිරි සතියේ (මැයි මස 03වන සිකුරාදා දින) දිවයින පත්තරේ පලකරනු ඇතැයි මා විශ්වාස කරන අතර ඒ පිළිබදව මම අවදානයෙන් සිටිමි. එම වෘතීමය වගකීම සහ මාධ්‍ය ආචාරධර්මය ඔබ ආයතනයෙන් ඉටු නොවේනම් මෙම අසත්‍ය පුවත් වාර්තාකරණය තුළින් අගතියට පත් පාර්ශවය ලෙස නීතිමය පියවර ගැනීමට මා හට සිදුවන බව කණගාටුවෙන් වුවද ප්‍රකාශකර සිටිමි.

මෙයට,

අසත්‍ය පුවත් වාර්තාකරණය නිසා අගතියට පත්,

නෙළුම් කුමුදුනී ජයසේකර

රන්දුණු විසින් ලියා දිවයිිනපුවත්පතේ ඵල කරන ලද ප්‍රවෘත්තීය .

www.lankaskynews.com.

Archive

Latest news

Related news