Sunday, May 19, 2024

ඩයනා ගමගේ හොරා කෑ කෝටි ගණන් මහජන මුදල් ගෙවන්නේ කව්ද?

ඡායාරූපය: ඩයනා ගමගේ ලංකාවට ඇතුල් වී තිබුණේ  බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් හරහා බව අපරාධ පරීක්ෂනණ දෙපාර්තමෙන්තුව අධිකරණයට වාර්තා කළේය.

අවසානයේ දී නීතිය ඇත්ත දුටුවේය. ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේ ඩයනා ගමගේට මෙරට පුරවැසිබව නැති බවයි.

දැන් ඇය මෙරට රැදී සිටීමට නම් වීසා ලබා යුතුය. නැත්නම් සිය රට වන එංගලන්තයට යා යුතුය.

ඩයනා ගමගේට ශ්‍රී ලාංකික පුරවැසි බව නොමැති බව අධිකරණය හමුවේ ඉදිරිපත්ව තිබූ සාක්ෂි අනුව සක් සුදක් සේ පැහැදිලි වී තිබුණි. එසේ නමුත් අභියාචනාධිකර්‍ය එම සාක්ෂි සමඟ එකඟ වූයේ නැත. එම නඩු තීන්දුව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවෙහි දී විවාදයට බදුන් වූ විනිසුරු බන්ධුල කරුණාරත්න විසිනි.

එම නඩුව අභියාචනාධිකරණයේ දී මුල්ම වතාවට විමසූ අවස්ථාවෙහි විනිසුරන් දෙදෙනෙකු බෙදුණු තීන්දුවක් දුන් බැවින් යළි ත්‍රි-පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලදී. එහි දී ද එක් විනිසුරුවරයකු, ඇයට මෙරට පුරවැසි බව නැතැයි තීරණය කළේය.

එයට පෙර මෙම නඩුව කැදවන ලද්දේ මහේස්ත්ත්‍රාත් අධීකරණයේ දීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉතා පැහැදිළිව ඇය මෙරට ඇතුලු වී ඇත්තේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් හරහා බව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණි.

බන්ධුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද පත්වීම, ව්‍යවස්ථා සභාව විසින් අත්හිටුවා තිබේ. ඊට අදාළ වෙනත් නඩු විභාගයක දී ලබන ඔක්තොම්බර් 04දා වන තුරු ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු පත් කිරීමක් නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැන් වාරණ නියෝගයක් ද පැනවී තිබේ.

ඒ වන විට නව ජනාධිපතිවරයකු පත් වී හෝ පත්වීමට ඔන්න මෙන්න වනු ඇත. එනයින් රනිල් රාජපක්ෂගේ ධුර කාලයටම මෙම වාරණ නියෝගය බලපායි.

ඩයනාගේ නඩුව ගැන කතා කරමින් පසුගිය 25දා පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල කිවේ එම තීන්දුව දීම පමා වී ඇත්තේ ත්‍රි-පුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරියක් සිය තින්දුව ලියා අවසන් කර නැති නිසා බවය. අගවිනිසුරුවරයා එම තීන්දුව ලිය දෙන ලෙස එම විනිසුරුවරියට දන්වා ඇති බව ද ඔහු කීවේය.

ඩයනාගේ සහායට පැමිණි පා.ම. හරීන් ප්‍රනාන්දු, පා.ම. ලක්ෂමන් කිරිඇල්ල කරන්නේ අධිකරණයට අපහාස කිරීමක් බවය.  ඊට පිළිතුරු දුන් කිරිඇල්ල කීවේ, හරීන් නොදන්නා නමුත් අලුත්කඩේ උසාවියේ එය නොදන්නා කෙනෙක් නැති බවය.

මෙම විවාදයෙන් දවස් 12කට පසු අධිකරණ තීන්දුව ලැබුණි.

ඩයනා පාර්ලිමේන්තුවට ගෙනාවේ  මංගල සමරවීර විසින් යැයි කියනු ලැබේ. එලෙස මංගල සමරවීර විසින් ගෙන එන ලදැයි කියන අනෙක් පුද්ගලයා ටිරන් අලස්ය!

සමගි ජන බලවේගය ඇය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ ද ඇය පිනුමක් ගසා ආණ්ඩුවට පැන්නේය.

ඩයනා ගමගේ නිල වශයෙන් විවාහ වී සිටියේ, පීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකාගේ විශ්වාසවන්ත ලේකම් වූ කපිතාන් සේනක හරිප්‍රිය සිල්වා සමඟය.

දැන් ප්‍රශ්නය මෙයයි. ඩයනා ගමගේ තමාට මෙරට පුරවැසිබව නැති බව දැන දැනම නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුවට පත්වීමට කැමැත්ත දුන්නේය. ඇය කළේ දඬුවම් ලැබිය යුතු වරදකි.

සිය දරුයන්ගේ කුස ගිනි නිවීමට පොල් ගෙඩියක් කඩා ගන්නා පියකු සිරගත කරන රටක මෙවැනි වරදක් කළ ඩයනා ගමගේට ලැබිය යුතු දඬුවම කුමක්ද?

පසුගිය කාලය පුරා පාර්ලිමේන්තු මංත්‍රීවරියක සහ නියෝජ්‍ය ඇමතිවරයක් ලෙස ඇය මෙරට මහජන මුදල් කෝටි 02කට වඩා අපහරණය කර තිබේ. එම මුදල් සහ වරප්‍රසාද ලබා ගැනීමට ඇයට කිසිදු අයිතියක් තිබුණේ නැත.

ඇය මෙන්ම ඇය පාර්ලිමේන්තුවට පත් කළ සමගි ජන බලවේගයද මෙම අපරාධයට වගකිය යුතුය.

මෙවැනි වරද සම්බන්ධයෙන් ලබාගත් මුදල් සහ අධිකරණය හමුවේ වැය කරන ලද මුදල් ගෙවීමට ඇයට නියෝග නොකරන්නේ නම් යළිත් කවර හෝ වංචාකරුවකුට හෝ කාරියකට මෙම වරද කර මහජන මුදල් ගසා කෑමට ඉඩ ලැබෙනු ඇත.

මෙම නඩුව පවරා ඉදිරියට ගෙන යන ලද්දේ සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් විසිනි.

Archive

Latest news

Related news