Sunday, May 19, 2024

සාගල රත්නායකගේ අයුතු දේශපාලන මැදිහත්විම් ගැන පියවර ගැනීමට මැතිවරණ කොමිසම බෑ කියයි!

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වන සාගල රත්නායක  රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරි තනතුරක් වන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර දරමින් දේශපාලන රුස්වීම් ඇමතීම සමබන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස කරන ලද ඉල්ලීමක් මැතිවරණ කොමිසම විසින් බැහැර කර තිබේ.

එම ඉල්ලීම කරන ලද්දේ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසිනි.

රනිල් රාජපක්ෂ රජය කළ එළියේම මැතිවරණ නීති කෙලෙසමින් කරන කටයුතු නෙදුටුවා සේ සිටින මැතිවරණ කොමිසම  මෙවැනි තීරණයක් ගැනීම පුදුමයක් නොවන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

කොමිසම ලසන්ත රුහුණගේ වෙත දන්වා ඇත්තේ එම කාරණය සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමත්‍යාංශය විසින් බවයි.

එම ලිපිය පහත දැක්වේ.

එම කාරණය මතු කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියට පිීළතුරු වශයෙන්

ලසන්ත රුහුනගේ මැතිවරණ කොමිසම වෙත යැවූ ලිපිය මෙසේය:

ආර් එම් ඒ එල් රත්නායක මහතා
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව
රාජගිරිය.
මහත්මයාණෙනි,
රජයේ නිලධාරියෙකු ප්‍රසිද්ධ දේශපාලන කටයුතුවල නිරතවීම සහ රජයේ මුදල් අවභාවිතා කිරීම
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ ප්‍රථම ප්‍රචාරක රැලිය ලෙස හඳුන්වමින් එක්සත් ජාතික පක්ෂය 2024 මාර්තු මස 10 දින කුලියාපිටිය නගර සභා පිටියේදී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එයට සහභාගිවෙමින් කතාවක් ද පැවැත්වීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (3) ව්‍යවස්ථාව අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී රජයේ නිලධාරියෙකු ලෙස සැලකෙන අතර එම තනතුර රජයේ මාණ්ඩලික මට්ටමේ තනතුරකි. රජයේ මාණ්ඩලික මට්ටමේ තනතුරු දරන නිලධාරින් යනු ප්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් නොමැති පිරිසකි.

එවැනි තත්වයක් තුළ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඔහුට හිමි නැති නීති විරෝධී කාර්යයක නිරත වී තිබේ. තවදුරටත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙසද හඳුන්වා ඇති අතර රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකුට පිළිගත් දේශපාලන පක්ෂයක තනතුරක් දැරිය හැකිද යන ප්‍රශ්නයද මෙහිදී මතු කරයි.

ඊට අමතරව එම රැලියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ කතාවේදී රජයේ අස්වැසුම ප්‍රතිලාභය දෙගුණයකින් වැඩිකර ලබාදෙන බවට පොරොන්දුවක්ද ලබාදේ. අස්වැසුම ප්‍රතිලාභ ලබාදෙනු ලබන්නේ රජයේ මුදල්වලින් වන බැවින් දේශපාලන පක්ෂයක ප්‍රචාරක රැලියකදී එවැනි පොරොන්දුවක් ලබාදීමද රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් වේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා නාම යෝජනා කැඳවා එය බාරගෙන ඇති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයද නාම යෝජනා බාරදී තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ එම රැලිය පවත්වා ඇත්තේද මැතිවරණ කාලය ලෙස හැඳින්වෙන වකවානුවකය.

මා විසින් ඉහත සඳහන් කරන ලද කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර සාගල රත්නායක නම් රජයේ නිලධාරියා සම්බන්ධයෙන් හා රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මේ මගින් ඉල්ලා සිටින අතර එම පියවර සම්බන්ධයෙන් මා දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිමි.

ස්තූතියි
ලසන්ත රුහුණගේ

Archive

Latest news

Related news