Friday, May 17, 2024

‘අලස් ඉවත් කරනු! ප්‍රකාශය හකුලා ගනු’: මීනීමැරීමට ලයිසන් දීමේ ටිරන් අලස්ගේ කතාවට නීතිඥ සංගමයෙන් කණේ පහරක්.

‘ අපරාධකරුවන් ඝාතනය කිරීම පවක් නොවේ’ යැයි උපදෙස් දෙමින් බිය නැතිව සිය අවි ආයුධ භාවිත කරන ලෙස රනිල් රාජපක්ෂගේ මහජන ආරක්ෂක ඇමති වන ටිරන් අලස් විසින් කරන ලද ප්‍රකාශයට හෙළා දකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැර ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මෙම ප්‍රකාශයෙහි වැදගත්කම ඉස්මතු වන්නේ මානව හිමිකම් ආරක්ෂි කිරීමේ නාමයෙන් සුඛෝපභෝගී කාර්යාල පවත්වා ගෙ යමින් කෝටි ගණනින් ආධාර ලබන  ප්‍රභූ රාජ්‍ය නොවන සංවිධාන මෙවැනි භයානක ප්‍රකාශ හමුවේ දෙමුඛයම වසා ගෙන රහසිගතව රනිල් රාජපක්ෂ වන්දනාවේ යමින් සිටින බැවිනි.

ටිරන් අලස්ගේ එම ප්‍රකාශය හිට්ලර්, මුසෝලිනී වැනි අඥාදායකයින් අමු අමුවේම ප්‍රනර්ච්චාරණය කිරීමකි. නීතිඥ සංගමය පෙන්වා දී ඇති පරිදි මේ ටිරන් අලස් කරන ලද  මිනී මැරීමට ලයිසන් දෙන ප්‍රථම ප්‍රකාශය නොවේ. මෙයට පෙරද ඔහු මේ කතාව කීවේය.

පසුගිය මාස කිහිපය තුළ මෙරට පොලිසිය විසින්  සිදු කරන ලද  නීති විරෝධී ඝාතන වේගයෙන් ඉහළ ගොස් තිබේ. අපරාධකරුවන් තීරණය කිරීමේ බලය එස්ටීඑෆ් තුවක්කුවට පවරන ටිරන් අලස්ගේ ප්‍රකාශය රනිල්ල රාජපක්ෂගේ කණට මී පැනි වන්නට ඇත. මන්ද යත් අපරාධකරු තීරණය කිරීමේ බලය තුවක්කුවට බාර දුන් විට ඕනෑම විරුද්ධවාදියකු ඝාතනය කර එය (අ) ‘යුක්ති මෙහෙයුම’ ලෙස හැදින්විය හැකි නිසාය.

ටිරන් අලස්ගේ මෙම භයානක ප්‍රකාශය ගැන තවම කිසිදු විපාක්ෂික දේශපාලන නායකයකු හෝ කිසිවක් කියා නැත්තේ ඇයි ද යන්න ද මහත් ප්‍රෙහෙළිකාවකි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රකාශයේ සිංහලානුවාදයක් පහත පළවේ.

මෑත ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයගෙන් සහ   එම මහජන ආරක්ෂක අමාත්‍යංශය ඔහුගෙන් ඉවත් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා  නීතිඥ සංගමය විසින් සම්මත කරන ලද යෝජනාව.

2024 අප්‍රේල් 27 වැනි දින පැවති එහි සභා රැස්වීමේදී, විවිධ මාධ්‍ය වේදිකා හරහා පුලුල් අවධානය ලැබ  ඇති කටුකුරුන්ද STF පුහුණු කඳවුරේ විසිර යාමේ පෙළපාලියේදී මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු අමාත්‍යවරයා විසින් පසුගියදා නිකුත් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් හෙළා දකින ලදී.

මාධ්‍ය වාර්තාවලට අනුව අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

‘අපරාධකරුවන් රටින් තුරන් කිරීම පාපයක් නොවන බවයි. ඔබේ අතේ ඇති ආයුධය නිවැරදි දේ සඳහා භාවිතා කිරීමට බිය නොවන්න, අපි ඔබ සමඟ සිටිමු.’

ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කරන අතර, එය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික මූලධර්මවලට සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය පාලනය කරන ස්ථාපිත ක්‍රියා පටිපාටිවලට සෘජුවම පටහැනි බව සලකයි. වැරදි කරන්නන්ට දඬුවම් පැනවීම ඇතුළු යුක්තිය පසිඳලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති අධිකරණ බල සීමාව තුළ පමණක් සිදු විය යුතුය. එවැනි ක්‍රියා නීතියට අනුකූලව පවත්වනු ලබන පරිපූර්ණ විමර්ශන සහ සාධාරණ නඩු විභාග ඇතුළුව නියමිත ක්‍රියාවලියට දැඩි ලෙස අනුගත විය යුතුය.

මෑත කාලයේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් සිදු කරන ලද නීති විරෝධී ඝාතන, භාරකාර මරණ සහ වධහිංසා පැමිණවීම්වල භයානක වැඩිවීම සැලකිල්ලට ගෙන, අමාත්‍යවරයාගේ ප්‍රකාශය යුක්තිය, දඬුවම් සහ දඬුවම් අධිකරණයේ විෂය පථයෙන් ඔබ්බට පවතින අතර නියමිත ක්‍රියාවලියට අනුගත නොවී අත්තනෝමතික ලෙස දඩුවම් පැමිණවීම කළ හැකි බවට භයානක වැරදි වැටහීමක් ඇති කරයි. .

අමාත්‍යවරයා විසින්  කරන  වගකීම් විරහිත, අත්තනෝමතික සහ නොමග යවන සුළු ප්‍රකාශවල පුනරාවර්තන රටාව,  ප්‍රතිශෝධන ක්‍රියාමාර්ගයක හදිසි අවශ්‍යතාවය අවධාරනය කරයි. මහජන ආරක්‍ෂාවේ භාරකරුවෙකු ලෙස අමාත්‍යවරයා මහජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට බැඳී සිටී. කෙසේ වෙතත්, මෙවැනි නොමඟ යවනසුලු පණිවිඩ නැවත නැවත ප්‍රචාරය කිරීමෙන් මහජන විශ්වාසය පළුදු වනවා පමණක් නොව, නීතිය ක්‍රියාත්මක කරන්නන් ද නොමඟ යවයි.

එබැවින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩිව ඉල්ලා සිටී. ටිරාන් අලස් අමාත්‍යවරයා දණ්ඩමුක්තිය දිරිමත් කරමින් සහ නීතියේ ආධිපත්‍යය නොසැලකිලිමත් ලෙස පුන පුනා කරන ප්‍රකාශ මගින් ඔහු තවදුරටත් එම ධූරය දැරීමට සුදුසු නැති බව පෙන්නුම් කරන බැවින් ඔහුව වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය  අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී. තවද, ස්ථාපිත නෛතික ක්‍රියා පටිපාටිවල සීමාවන් තුළ ක්‍රියාත්මක වන, දඬුවම් නියම කිරීමේ බලය තනිකරම අධිකරණය වෙත පැවරිය යුතුය යන පරිශුද්ධ මූලධර්මය ශ්‍රී ලංකා නීතිඥ සංගමය නැවත තහවුරු කරයි.

මීට අමතරව, ශිෂ්ට නීති පද්ධති විසින් පිළිපැදිය යුතු නීතිය සහ ජාත්‍යන්තර සම්මුතීන් විසින් සහතික කර ඇති පරිදි, සාධාරණ හා කඩිසර පරීක්ෂණයකට භාජනය වීමට සහ සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෑම පුද්ගලයෙකුටම ඇති මූලික අයිතිය ශ්‍රී ලංකා නීතිඥ සංගමය නැවත අවධාරණය කරයි.

( දළ සිංහලානුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news