Monday, July 15, 2024

ජවිපෙ, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ පැසිස්ට්වාදය – රංජිත් හේනායකආරච්චි

ඡායාරූපය: 88-89 භීෂන සමයේ  ඝාතන තවම සමාජීය කැළලකි. 

කවර හෝ දේශපාලන පක්ෂයක් අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නෙමු  යැයි කීවාට පමණක්  වෙනසක් සිදු වන්නේ නොමැත. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් ඉතිහාසයේ තමන් විසින් කළ, තම කණ්ඩායම් විසින් කළ වැරදි හඳුනා ගෙන ඒ වැරදි දෙස විවෘත මනසකින් බැලීමට හැකියාව තිබිය යුතුය. එසේ එම වැරදි හඳුනා ගැනීම, එතුළින් එම වැරදි නැවත යළි සිදු නොවන ආකාරයකට තම දේශපාලනය තුළ මතවාදයක් සහ  වැඩ පිළිවෙළක්  ඇති කර ගැනීම අවශ්‍යය.  ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන වෙනසක් සිදු කරමින් ඉදිරියට යා හැක්කේ එළෙසය.

“ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ තමන් අතින් සිදු වූ, සිදු කළා වූ වැරදි වටහා ගෙන තිබේ නම් එම වැරදි ගැන කුමන තත්වයක් යටතේ හෝ කුමන ආකාරයෙන් හෝ  කතා කරන විට  සිදු විය යුත්තේ එම වැරදි  පිළිගෙන සමාව ඉල්ලීමයි”

පුද්ගල ඝාතන සංස්කෘතිය

මෙම තර්කය මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලට අදාළය. මෑත දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියකු විසින් රූපවාහිනී විවාදයක දී කරන ලද ප්‍රකාශයක් නිසා මෙම සාකච්ඡාව යළි ඇති වී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ තමන් අතින් සිදු වූ, සිදු කළා වූ වැරදි වටහා ගෙන තිබේ නම් එම වැරදි ගැන කුමන තත්වයක් යටතේ හෝ කුමන ආකාරයෙන් හෝ  කතා කරන විට  සිදු විය යුත්තේ එම වැරදි  පිළිගෙන සමාව ඉල්ලීමයි.

එසේ නොමැතිව එම වැරදි පිළිබඳව යමකු ජනතා විමුක්ති පෙරමුණට  චෝදනා කරන විට  ඊට බැන අඬ ගැසීම් වලින් හෝ වැරදි ප්‍රකාශ කිරීම් තුළින් තමන් කළ දෙය සාධාරණීකරණය කරන්නේ නම් එය වැරදිය. එමගින් පෙන්වන්නේ  ඔවුන් ඉතිහාසය තුළින් පාඩම් ඉගෙන ගැනීම යනුවෙන් ඉදිරිපත් කරන්නේ වචන හරඹයක් පමණක් බවය. එවිට ඔවුන්  ඉදිරිපත් කරන තර්ක වල ඇති අර්ථය වටහා ගෙන නැති බව පැහැදිලි වෙයි. එසේ නැත්නම් තමන් එම වචන පාවිච්චි කරන්නේ  ආවට ගියාට පමණක් බව එයින් ගම්‍ය වෙයි.

දේශපාලන ප්‍රචණ්ඩත්වය  මගින් ලංකා සමාජය තුළ ඇති වූ තුවාල තවමත් කිසිම ආකාරයකින් සුව වී නැති බව නිතර මතු වන දේශපාලන සාකච්ඡාවල දී පෙනේ. ඒ  තුවාල යළි යළි ඉස්මතු වන ආකාරයෙනි.

උතුරේදීත් දකුණේදීත්

මෙම දෝෂ සහගත ක්‍රියාදාමය ලංකාවෙහි දකුණේ දේශපාලනයේදීත් උතුරේ දේශපාලනයේදීත්  දේශපාලන ව්‍යාපාරය විසින් සිදු කර ඇති බව නොරහසකි. මිනිසුන් මරා දැමීම විශේෂයෙන්ම වෙනත් දේශපාලන මතයක් දරන අය මරා දැමීම උතුරේත් දකුණේත් විමුක්ති ව්‍යාපාර ලෙස හඳුන්වා ගන්නා දේශපාලන ව්‍යාපාර විසින් සිදු කරන ලදී.

එවැනි ක්‍රියාදාමයන් නිසා එම ව්‍යාපාර විනාශ කර දැමීමට ප්‍රතිගාමී රාජ්‍ය යන්ත්‍රයට, ස්වකීය මිනීමරු වැඩපිළිවෙළ සහ  සමූල ඝාතනයන් සාධාරණීයකරණය කර ගැනීමේ (අඩුම තරමින් වචනයෙන් හෝ) ඉඩක් ලබා ගැනීමට අවස්ථාවක් උදා විය. එමගින් ලංකා සමාජය තුළ ඇති වූ තුවාල තවමත් කිසිම ආකාරයකින් සුව වී නැති බව නිතර මතු වන දේශපාලන සාකච්ඡාවල දී පෙනේ. ඒ  තුවාල යළි යළි ඉස්මතු වන ආකාරයෙනි.

දේශපාලන ප්‍රචණ්ඩත්වය ගැන සාකච්ඡාව අප්‍රමාණවත්

මෙයට ප්‍රධාන හේතුව නම් ඉහත කී වැරදි පුද්ගල ඝාතන දේශපාලන ක්‍රියාදාමය පිළිබඳ ඉන් පසුව සමාජ දේශපාලන තලයේ ප්‍රබුද්ධ සංවාදයක් ඇති නොවී තිබීමයි. එසේම ඉතිහාසය තුළ ලංකා සමාජයේ සිදු වී ඇති  මිනිස් ඝාතන, අපරාධ පිළිබඳව, ඒවා ඇති වූ ආකාරය සහ එහි දෝෂ සහගත බව පිළිබඳ සංවාදයක්, සාකච්ඡාවක් ඇති නොවීමයි. එවැනි වැරදි කිරීම පිළිබඳ සාධාරණ කම්පාවක් සමාජ සංවාදය තුල දක්නට නොලැබීමයි.  එවැනි සංවාද සමාජය තුල ඇති වූයේ නම් දේශපාලන ව්‍යාපාර නොකල යුතුව තිබූ වැරදි වටහා ගත්තා නම් එම වැරදි නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නට හැකි වනු ඇත. නමුත් මේ වනතුරු එවැනි පැතිරුණූ සාකච්ඡාවක් සංවාදයක් ලංකා සමාජය තුළ සිදු නොවීම නිසා එම තුවාල සහ වේදනාවන්  දිගටම පවතින සමාජයක් බවට ලංකා සමාජය පත් වී තිබේ.

මරුම් කෑවේ ස්ත්‍රී දූෂකයින් සහ මං පහරනන් – ජවිපෙ මධ්‍ය කාරක සභික නලින් හේවගේ

පුද්ගල ඝාතන දේශපාලනය සාධාරණ කිරීම

පසුගිය දිනක රූපවාහිනි නාලිකාවක් ඔස්සේ සාකච්ඡාවකට යොමුවන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර ඇති වූ සංවාදයකදී, සංවාදයකට වඩා වාග් ප්‍රහාරයකදී සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ කතිකාවක් සමාජය තුල සැරිසරමින් තිබේ.

එම සාකච්ඡාවෙහිදී  ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ නියෝජිතයා තමන්ගේ ප්‍රකාශය තුළින් සිය  ඉතිහාසයෙහි කරන ලද පුද්ගල ඝාතන වැරැද්ද  සාධාරණ කරන ප්‍රකාශයක් කළේය. ඉන් පෙනී ගියේ ඔවුන් එදා දැරූ මතයම අදත්  දරන බවයි. ඔහු ප්‍රකාශ කළේ 88-89 වර්ශයන්හි ජවිපෙ විසින් මරා දැමුවේ ගම්වල සිටි හොරුන් අපරාධකරුවන් සහ ස්ත්‍රී දූෂකයන් බවයි.

අපරාධකරුවන් මරා දැමීමට ලයිසන් දුන්නේ කව්ද?

දැන් අපි එළෙස මරා දමා ඇත්තේ අපරාධකරුවන් යැයි සිතමු. අපරාධකරුවන් ම මරා දැමීමට දේශපාලන ව්‍යාපාරයට ඇති අයිතිය කුමක් ද?  අදටත් ඔවුන් එදා ස්වකීය පුද්ගල ඝාතන දේශපාලනය සාධාරණීකරණය කරන්නේ නම් ඔවුන් අදටත් සිතන්නේ අපරාධකරුවන් මරා දැමිය යුතුයි කියා නොවේද යන ප්‍රශ්නය පැන නගී.  මෙය ඇත්ත වශයෙන්ම පැසිස්ට්වාදී සිතිවිල්ලකි. පැසිස්ට්වාදීන්ද තමන් සාමාජ ද්‍රෝහී යැයි නම් කල විවිධ ජන පිරිස් ඝාතනය කළහ.

දැන් ටිරාන් අලස් පෙරේදා එනම් 25දා  කළ ප්‍රකාශයක් ගෙන බලන්න. ඔහු කියන්නේ ඡායාරූඵය,අපරාධකරුවන්ට වෙඩි තැබීමට බිය විය යුතු නැති බවයි. ඔහු පොලිසියට පවසන්නේ

අපරාධකරුවන්ට ආයුධ පාවිච්චි කර වෙඩි තබා මරා දමන ලෙසයි. ටිරාන් අලස්ට හෝ ලංකා රාජ්‍යයට මිනිසකු යම්කිසි වැරැද්දක් කළා යැයි තමන් සිතන නිසා මරා දැමීමට ඇති අයිතිය කුමක් ද? එය පැසිස්ට්වාදී රාජ්‍යයක පැසිස්ට්වාදී නායකයින් විසින් ගන්නා වර්ගයේ තීරණයකි. එය ප්‍රජාතන්ත්‍රවාදය ගෑවුන හෝ රටක සිදු නොවිය යුතු සිදු නොවන දෙයකි. එනිසා ටිරාන් අලස් හෝ ජනතා විමුක්ති පෙරමුණේ නලින් හේවගේ හෝ වෙනත් දේශපාලන සංවිධානයක නියෝජිතයකු හෝ අපරාධකරුවන් යයි ඔවුන් සිතන මිනිසුන් මරා දැමීමට සූදානම් වන්නේනම් ඔවුන් කිසිම ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් නොවේ. ඔවුන්

නියෝජනය කරන්නේ පැසිස්ට්වාදයයි. මෙය ඇත්තෙන්ම ලංකා සමාජය මුහුණ දෙන භයානක තත්ත්වයකි.

ප්‍රජාතන්ත්‍රවාදි කියා ගන්නා වත්මන් රජයේ පොලිස් ඇමතිවරයා මිනිසුන් මරා දැමීමට පොලිසියට ලයිසන් දෙයි. ඒ අතර ඉතිහාසයේ දේශපාලන හේතුන් මත මිනිසුන් ඝාතනය කළ දේශපාලන සංවිධානයක් අද වන විට රටෙහි බලය තමන් අතට ලබාගැනීමේ හැකියාවක් ඇති දේශපාලන සංවිධානයක් බවට පත් වෙමින් සිටිය දී තමන් ඉතිහාසයේ කළ පුද්ගල ඝාතන දේශපාලනය අදටත් සාධාරණීකරණය කරයි. එසේ නම් ලංකා සමාජයට ඉදිරියේ විමුක්තිය යැයි ලැබෙන්නට යන්නේ කුමක්ද යන්න මට නම් ප්‍රශ්නයකි.

මෙම දේශපාලන සංවාදයේදී මතුව ආ දේශපාලන ප්‍රකාශ සහ ඒවා මතු වන ආකාරය ඇත්තෙන්ම සමාජයක් ලෙස අපට කණගාටු වීමට කාරණාවකි.  සතුටු වීමට යමක් එහි නොමැත. ඒ වගකියන දේශපාලන නියෝජිතයින් හැසිරෙන ආකාරය ඔවුන් කතා කරන වගකීම් තොර ආකාරය දකින විට ඉදිරියේ අළුත් යමක් ඇතිවේ යැයි සිතීමට ඉඩ අහුරා නොදමන්නේද?

අද පවතින පොලිස් රාජ්‍යයක ස්වභාවය හෙට ඇති කරන අලුත් දේශපාලනයක් තුළින් වෙනස් විය යැයි අපි අපෙක්ෂා කරමු. එනමුත් මෙවැනි ප්‍රකාශ එම බලාපොරොත්තු අර්බූදයකට යවයි. නලින් හේවගේ කළ එම ප්‍රකාශය තවම ජවිපෙ හෝ ජාතික ජන බලවේගයේ කිසිවකු විසින් වරදක් ලෙස දක්වා නැත. ඒ වෙනුවට දියත්ව ඇත්තේ ඔහු වීරයකු බවට පත් කරන විකෘති සමාජ ජාල පොස්ටුය.

නලින් හේවගේ  කියන ආකාරයට ඔවුන් මරා දැමුවේ හරක් හොරුන් ස්ත්‍රී දූෂකයන් හෝ අපරාධකරුවන්ද. දැන් මම එදා ඔවුන් අතින් මරා දැමු මගේ මිතුරන් සොයුරන් කිහිප දෙනෙකුගේ නම් මෙහි ඉදිරිපත් කරන්නේ එම අදහස කොතරම් සාහසික ද යන්න පෙන්වීමටය. ඔවුන් 1971 කැරැල්ලේ ක්‍රියාකාරීන් නන්දන මාරසිංහ, ෂෙල්ටන් සිරිපාල, නන්දසේන සිල්වා, ජේමිස් අතුගල, ටී.බී. විජේසූරිය, ආදීන් මෙන්ම තවත් එවැනිම දේශපාලන ක්‍රියාදරයන් වූ විජය කුමාරතුංග,දයාපතිරණ, මරදගහමුල අමරදාස ඉස්කෝල මහත්තයා, වෘත්තීය සමිත නායක පණ්ඩිත ආදි විශාල ප්‍රමාණයක් මෙසේ නම් වශයෙන් අපට ඉදිරිපත් කළ හැක.

ඔවුන් මරා දැමුවා පමණක් නොව  ඔවුන් හරක් හොරු යැයි ස්ත්‍රී දූෂකයන් යයි පවසමින් අදටත් ඔවුන්ගේ නම් වලට පවා අපහාස කරයි නම් එය දේශපාලන වශයෙන් සමාව දිය නොහැකි වැරැද්දකි.

අනුර කුමාරගේ ප්‍රකාශය නලින් හේවගේ ප්‍රතික්ෂේප කරන්නේද?

ටිරාන් අලස්ගේ පැසිස්ට්වාදී ප්‍රකාශයට පමණක් විරුද්ධ නොවී  බලයට එ්මට අපේක්ෂා කරන  දේශපාලන ව්‍යාපාරයක නියෝජිතයකු විසින්  කරන ලද එම පුද්ගල ඝාතන දේශපාලනය සාධාරණ කිරීම ද විවේචනය කළ යුතුය. මෙම අදහස් ජවිපෙ සමස්ත නායකත්වයේ අදහස නොවන බව පෙන්විය හැක්කේ එමගිනි. 88 – 89 කාලයේ සිදු වූ වැරදි සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රධානි අනුර කුමාර කැනඩාවෙහි දී ද ප්‍රකාශ කළේය. නලින් හේවගේ කළ ප්‍රකාශය එම අදහසට පරස්පරය.

මෙවැනි වැරදි පිළිබඳ තම තමන්ගේ දේශපාලන පක්ෂ තුළ ම සංවාද ඇති කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් සඳහා තම පක්ෂවල ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළවල් සකස් කර ගන්නා මට්ටමකට දේශපාලන සංවිධාන සහ පක්ෂ යොමු කිරීම සිවිල් සමාජ පිරිස් වශයෙන් අපගේ වගකීම වේ.

අලුත් ලංකාවක් බිහිකිරීමට ඔවුන් අද දේශපාලන බලය තමන්ට දෙන ජවිපෙ- ජාජබ ලෙස ඉල්ලති. එසේ නම් ඔවුන් කළ යුතුව ඇත්තේ අදවත් තමන් අතින් සිදුවූ වැරදි වටහා ගැනීම සඳහා තම සාමාජිකත්වය අතර ඒවා පිළිබඳ අඩුම තරමින් සංවාදයක් ගොඩනගා ගෙන එවැනි වැරදි නැවත නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වීම බව මගේ වැටහීමයි.

මා මෙය ලියන්නේ අද ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ලෙස විශාල ජන සංඛ්‍යාවක් එකතු කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ගැන කතා කරන නිසාය. තමන්ගේ ඉතිහාසයේ වැරදි සඟවා ගෙන කල වැරදි තේරුම් නොගෙන අනාගතයේ නිවැරදි දේශපාලනයකට යොමු විය නොහැක. ‍

දූෂණයට හොරකමට විරුද්ධවීම මදි

දූෂණයට හොරකමට පමණක් නොව, ආර්ථික, සමාජ සහ දේශපාලන ආදී සෑම තලයකම පාරාදෘෂ්‍යභාවය පවත්වා ගනිමින් අතීතයෙහි සිදුවූ වැරදි නැවත ඇති නොවන ආකාරයට දේශපාලන ගමනක් විය යුතු  බව ඔවුන් වටහා ගත යුතුව ඇත. එසේ නොවන්නේ නම් එම දේශපාලන බලවේගය තුළම ඇති වන ප්‍රතිවිරෝධයන් නිසාවෙන් වැරදි දේශපාලනයකට යොමු වීමත් එනිසාම එම දේශපාලන බලවේගයට නිවැරදි දේශපාලන ක්‍රියාදාමයක් ලෙස රටක ක්‍රියාත්මක වීමට නොහැකි වීමත් සිදු විය හැකි බව ඔවුන් අමතක නොකළ යුතුය.

ඔවුනට ස්වකීය ඉතිහාසය කල වැරදි වටහා ගැනීමට බුද්ධිය ලැබේවා එම වැරදි වලින් පාඩම් ඉගෙන ගෙන නිවැරදි දේශපාලනයකට රට යොමු කරවන්නට ඔවුනට හැකියාව ලැබේවා යන්න මගේ පැතුමයි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ක්‍රමවේදය වන්නේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ඒවා නැවත සිදු නොවීමට වග බලා ගැනීමයි.

රංජිත් හේනායකආරච්චි.

28.04.2024

Archive

Latest news

Related news