Sunday, April 28, 2024

ගෝටාගේ කුමන්ත්‍රණ පාපොච්චාරණය නොහොත් පල් වල ඉහගෙන කෑම (2) – සුනන්ද දේශප්‍රිය

ගෝඨාභය රාජපක්ෂගේ කුමන්ත්‍රණ පොත, මෙරට සමාජය ගිලා බැස තිබූ ජාතිවාදී මඩ ගොහොරුවට රට යළි ඇද ගෙන යාමට තැතටීමක් ද වේ. යන එන අතක් නැතිව දේශපාලනික අතරමංව සිටින ගෝඨාභය සිය  කුමන්ත්‍රණ පොතින් උත්සාහ ගන්නේ සිංහල බෞද්ධයාගේ  ආරක්ෂකයා තමා පමණක් යැයි හුවා දක්වා ගැනීමටය.

රනිල් රාජපක්ෂට කැපිල්ල

ගෝටා සිය පවුලේ සහෝදරයින් තිදෙනෙකු, දරුවන් තිදෙනෙකුගේ සහ රාජපක්ෂ වහලුන්ගේ සම්පූර්ණ අනුබලයෙන් රට පාලනය කරන රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව මෙසේ විවේචනය කරයි.

සම්පූර්ණ අනුබලයෙන් රට පාලනය කරන රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව මෙසේ විවේචනය කරයි.

“සිංහලයන් සහ විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් දැන් යළිත් දෙවැනි පෙළට වැටී ඇත. බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය සහ සම්ප්‍රදායන් යළිත් උපහාසයට හා අපහාසයට ලක් වෙමින් පවතී.

“ඇතැම් භික්ෂුන් වහන්සේලා තනි තනිව අවමානයට ලක් වෙමින් සිටින අතර, පොදුවේ මහා සංඝරත්නයට ද අපහාස විඳීමට සිදු වී තිබේ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන විවිධ පාර්ශ්ව විසින් ඉලක්ක කර ගනිමින් තිබේ. පන්සල්වල අලි ඇතුන් ප්‍රශ්නය පවා නැවත වරක් කරළියට පැමිණ තිබේ.

දේශපාලනඥයෝ සිංහලයාගේ සහ සිංහල බෞද්ධයාගේ අයිතීන් තහවුරු කරනවාට වඩා මැතිවරණවල දී ඡන්ද ලබා ගැනීම සඳහා සුළු ජාතීන් ගැන වැඩියෙන් සොයා බැලීමට උනන්දු වෙති.”

ඔහු මේ විවේචනය කරන්නේ හේතු දෙකක් සඳහාය. එකක් නම් තමා විසින් ගෙන ගිය අදූරදර්ශී ඥණසාරවාදී ආගමික දේශපාලනය සාධාරණ කිරීම සදහාය. අනෙක් නම් ‘දේශප්‍රේමය යනු ජඩයකුට ඇති අවසාන රැකවරණයයි’ යන චිරප්‍රසිද්ධ කියමන අනුව යමින් සිංහලකමට සහ සිවුරට මුවා වී සිය  ත්‍රාඩ දේශපාලනය වසා ගැනීමටය.

ඔහුගේ එම විවේචනය එල්ල වන්නේ රනිල් රාජපක්ෂටය. පසුගියදා රනිල් රාජපක්ෂ හමු වූ රාජපක්ෂ පවුලේ ආර්ථික අපරාධකාර දෙබෑයන් ද රනිල් රාජපක්ෂට එම විවේචනය තරමක් මෘදුව ඉදිරිපත් කර තිබේ.

වර්ගවාදී ඥණසාර ගෝටාගේ විරයෙකි.

 වධකයා රැකගැනීමට සිවුරට මුවා වීම

වධක පොලිස්පති රැකගැනීමට ද ගෝටා මුවා වන්නේ සිවුරටය.

“කලක සිට පැවත එන මෙම වර්ගවාදී හා ආගම්වාදී ක්‍රීඩාව දැන් නව තලයකට පැමිණෙමින් තිබේ. මෙය ලියන අවස්ථාව වන විට, වැඩබලන පොලිස්පතිවරයා හැටියට පත්කල නිලධාරියාට රෝමානු කතෝලික සභාව විරුද්ධ වී ඇති අතර ප්‍රකට බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් එම පත්කිරීම අනුමත කිරීමට ඉදිරිපත් වී ඇත. තත්ත්වය එන්න එන්නම නරක දිශාවට ගමන් කරමින් තිබෙන බව පැහැදිලිය.”

දේශබන්දුට පක්ෂව ප්‍රකාශ දීමට පැමිණියේ ගෝටාගේ ‘වොයිස් කට්’ හාමුදුරු සෙට් එකය. කතෝලික පල්ලිය දේශබන්දුට විරුද්ධ වීමට ප්‍රධාන හේතුව වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයන් විමසා බැලූ ජනාධිපති කොමිසම ඔහුට විරුද්ධව විනයානුකූල පියවර ගත යුතු බව කියා සිටීමයි. එසේ තිබිය දී කිසිදු පියවරක් නොගැනීමයි.

ගෝටාට නොපෙනෙන  සිංහල සමාජය

වධක දේශබන්දු පොලිස්පති කිරීමට විරුද්ධව නීතිඥ සංගමය, සරසවි ආචාර්ය සංගමය, නීතිඥ සාමුහිකය වැනි තවත් බොහෝ ප්‍රමුඛ සිවිල් සංවිධාන විරුද්ධ වී තිබේ. ප්‍රධාන විරුද්ධ පක්ෂ වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයද ඊට විරුද්ධය. නමුත් ගෝටාගේ ජාතිවාදී මනසට පෙනෙන්නේ කතෝලික සභාවේ විරුද්ධත්වය පමණය. එය ද ආගමික විරසකයක් ඇති කිරීම පිණිසය.

මෙයට පෙර මෙරට සිටි පොලිස්පතිවරු බොහොමයක් සිංහල බෞද්ධ පසුබිමක් සහිත අය විය. එනමුත් ඒ කිසිවකුට ආගමික පදනම මත කතෝලික සභාව විරුද්ධ වූයේ නැත.

ගෝටාගේ කුමන්ත්‍රණ පොතෙහි දැකිය හැකි නරකම ලකුණක් වන්නේ ලාංකිකයින්ගේ බහුවිධ අනන්‍යතාවයක් හුදෙක් වාර්ගික සහ ආගමික අනන්‍යතාවයන්ට ලඝු කිරීමයි. එය වාර්ගික අගතියේ පදනමය.

වාර්ගික අනන්‍යතාවය ඉස්මතු කිරීම

අරගලය උච්චාවස්ථානයට පත් අවස්ථාවෙහි අරගලකරුවන් පිරිසක් සාමකාමීව රජයේ රූපවාහිනී පරිශ්‍රයට ඇතුලත් වී තාවකාලිව එය අල්ලා ගත්හ. එඑම කණ්ඩායමේ මුලිකත්වය ගත් එක් අරගලකරුවකු මුස්ලිම් ජාතිකයකු විය. ගෝටා එම සමස්ත සිදුවීම දකින්නේ එම තරුණයාගේ වාර්ගිකත්වය හරහාය.

‘අරගල ක්‍රියාකාරීන් සාමාන්‍ය ජනතාව බිය ගැන්වීමට කටයුතු කළ ආකාරය මේ වන විට බොහෝ දෙනෙකුට අමතක වී ඇත. ඔවුන් විශේෂයෙන්ම සිංහල බෞද්ධ බහුතරය පාගා දැමීමට කටයුතු කළ ආකාරය සිහිපත් කිරීමට අවශ්‍ය වන්නේ අරගලය අතරතුර සිදු වූ රූපවාහිනී සංස්ථා පරිශ්‍රය ආක්‍රමණය කිරීමේ වීඩියෝ පටය නැරඹීම පමණි. 2022 ජුලි 13 වන දින මුස්ලිම් ජාතිකයෙකු ප්‍රමුඛ අරගල ක්‍රියාකාරීන් පිරිසක් රූපවාහිනී සංස්ථාවට කඩා වැදුණි.

“එදින පෝය දිනයක් විය. සියලුම විකාශන නවතා අරගලයට අදාළ දේ පමණක් විකාශනය කළ යුතු බව කියමින් අරගල නායකයා රූපවාහිනී සේවකයන්ට කෑ ගසන ආකාරය වීඩියෝ පටයේ සටහන් වී ඇත. එවිට පෝය වැඩසටහන් එදිනට නියමිත බව පැහැදිලි කිරීමට රූපවාහිනී සේවකයෙක් උත්සාහ කරන ආකාරය අපට පෙනේ. බණ, පිරිත්වලට වඩා වැදගත් දේවල් තිබෙන බවත් රටේ දැවෙන ප්‍රශ්නයක් ඇති බවත් මුස්ලිම් අරගල නායකයා පවසයි. ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය තමන් විසින් අත්පත් කරගෙන ඇති බවත් රූපවාහිනිය අත්පත් කර ගැනීම ඔවුන්ට සුළු දෙයක් බවත් ඔහු තර්ජනාත්මකව එතැන සිටි සැමට මතක් කර දෙනු ලබයි.”

වාර්ගිකත්වය ඇවිස්සීම

ඊළගට ගෝටා කියන්නේ මෙයයි.

“එදා රූපවාහිනියෙන් වෙනත් ආගමික කණ්ඩායමකට අදාළ වැඩසටහන් විකාශනය වීමට තිබුණේ නම්, මෙවැන්නක් සිදු වන්නේ නැත. ඒ අරගලය තුළ බෞද්ධයන්ට තිබූ තත්ත්වය පැහැදිලි කිරීමට මේ සිද්ධිය පමණක් ප්‍රමාණවත්ය.”

ගෝටාගේ වර්ගවාදය මේ කරන්නේ කොතරම් භයානක ප්‍රකාශයක්ද? ඉන් කියැවෙන්නේ එදා මුස්ලිම් හෝ ක්‍රිස්තියානි වැඩ සටහනක් තිබුණේ නම් එම පිරිස එසේ නොකරනු ඇති බවයි. ඊටත් වඩා රූපවාහිනි පරිශ්‍රයට කඩා වැදුණූ බහුතර පිරිස සිංහල බෞද්ධ පදනමකින් පැමිණ සිටි බව ද ගෝටා සඟවයි.

 

රාජපක්ෂ දේශපාලනයේ වර්ගවාදී මුට්ටිය

රාජපක්ෂවරුන් බලයට පැමිණියේ වර්ගවාදී සටන් පාඨ මගිනි. අද ගෝටා ලවා මුට්ටිය දා බලවන්නේ යළි එම දේශපාලනයෙන්ම ගොඩ ඒමට සිතා විය හැකිය.

මේ බලන්න.

“2019 දී මට ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් පෙළඹ වූ ප්‍රධානම සාධකය වූයේ සිංහලයන්ට බහුතර ප්‍රජාව හැටියට තම රට තුල හිමි ස්ථානය නැති වී ඇතැයි යනුවෙන් වූ හැඟීමය.”

ගෝටාගේ කුමන්ත්‍රණ පාපෝච්චාරණය සිංහල බෞද්ධ ජනයා අනියත   අතර අනෙක් ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් කෙරෙහි වෛරයක්ද බියක් ද ජනිත කරවීමේ නින්දිත උත්සාහයකි.

ඇත්ත වශයෙන්ම නම් ගෝටාට කතෝලික ප්‍රජාවද කඳ බැද ගෙන ඡන්දය දුන්හ. මන්ද යත් පාස්කු ප්‍රහාර නිසා එම සමාජය බලවත් කම්පනයකට පත්ව සිටි නිසාය. ඒ ගැන වචනයක්වත් නොකියන ගෝටා, තමා දරුණුතම වර්ගවාදියකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් බව කියන්නේ ආඩම්බරයෙනි.

ට්‍රම්ප් ජාතිවාදියෙකි

ගෝටා ට්‍රම්ප්ගේ අඩිපාරේ

“2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත්වීම එයට හොඳ උදාහරණයකි. ඒ ලෝක ව්‍යාප්ත ප්‍රවණතාවයේ මම ද කොටස්කරුවකු වූයෙමි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ විට ඔහුගේ ආකර්ෂනීය සටන් පාඨයක් වූයේ ඔහු ‘මඩ වගුර ගොඩ කිරීමට’ යන බවයි. මම ද මඩ වගුර ගොඩ කිරීමට උත්සාහ දැරුවෙමි.”

මුලු රටම මඩ වගුරට ගෙන ගිය ගෝටා දැන් කියන්නේ හතර හිනා යන කතාය. ගොටාගේ සමස්ත පාලන කාලයම පිරී තිබුණේ එකක් පසුපස එකක් වූ ආසාර්ථකත්වයන් විසිනි.

තමාට තමාගේම වූ විනිශ්චයන් නැති බව පෙන්වමින් ගෝටා මුස්ලිම් මෘතදේහ ආදාහනයය ඉඩ නොදිම පටවන්නේ එකල උග්‍ර ගෝටාවාදිනියක වූ මහාචාර්ය මෙත්තිකා විතානගේ මතය. ගෝටාගේ එම විවේචනයට පිළිතුරු දෙමින් ඇයි කියා සිටන්නේ කුමන්ත්‍රණවලින් විධායක ජනාධිපතිවරයකු එළවිය හැකි නම් ඒ ජනාධිපතියකු නොවන බවයි. ඇය තවදුරටත් කියන්නේ ගෝටා අඳබාලයෙක් බවයි.

සමස්ත ලෝකයම කියා සිටියදී, මුස්ලිම් ජනයාගේ කොවිඩ් මෘතදේහ භූමිදානයට ගෝටා ඉඩ දුන්නේ නැත. යුද්ධයෙහි දී දෙමළ ජනයාගේ ඥතීන් අනුස්මරණය කිරීමට ඔවුන්ට ඉඩ දුන්නේ නැත. නැගෙනහිර පලාතේ සිංහල බෞද්ධ උරුමය රැකීමට යැයි වර්ගවාදී ඥණසාරගේ නායකත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිට වූයේය. තමා උපදෙස් ගැනිමට තනි සිංහල බෞද්ධ උපදේශක සභාවක් පිහිටුවා ගත්තේය.

මෙවැනි තවත් බොහෝ ඒකාංශික පියවර ගෝටා විසින් ගනු ලබූයේ ඔහුගේ කුමන්ත්‍රණ පොතින් එළි දක්වා ඇති ලංකාව වාර්ගිකව බෙදා වෙන් කිරීමේ සහ යුදකරණය මගින් මර්දනයේ පාලනයක් ගෙන යනු පිනිසය.

බලයෙන් පහවීමෙන් පසුව පවා රාජපක්ෂවරු රටෙහි ජනයා බෙදා වෙන්කොට සිය දේශපාලන මඩිය පුරවා ගැනීම හැමදාම කළ සෙල්ලමය. නමුත් ගෝටාට එම සෙල්ලම ලෙල්ලමක් බවට පත් විය. පෑල දොරින් පැන දිවීමට සිදු විය.

ලේ ගංගාවක ලංකාව ගිල්වීමේ තැත

තමාට පලා යාමට සිදු වූයේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඒ දෛවෝපගත ජූලි 09දා වීරෝදාර ජන ගංගාව කොළඹට ඇතුල් වීම වැළැක්වීමට පියවර නොගැනීම නිසා යැයි සිය කුමන්ත්‍රණ පාපොච්චාරණයේ කියන  ගෝටා වෙනත් තැනක මෙසේ  කියයි.  ගෝටාට හිත යටින් අවශ්‍ය වී තිබී ඇත්තේ ලංකාව ලේ සාගරයක ගිල්වීමටය.

“අධිෂ්ඨානශීලී විදේශ බලවේග සහ ඇතැම් දේශීය පාර්ශ්ව මා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රචණ්ඩ විරෝධතා සහ කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කරමින්, ඒ සඳහා මූල්‍යාධාර ලබා දෙමින් කටයුතු කරමින් සිටි අතර මා බලයේ සිටින තාක් කල් ඒවා නතර නොවන බව ද මා දැන සිටියේය. මේ අනුව .. රට සාමාන්‍ය තත්ත්වයට පත් නොවනු ඇත. .. තවත් වාරයකට මා තරඟ නොකරන බවට මා බොහෝ කලක සිට තීරණය කර තිබූ නිසා ජනතාව ද තවත් අපහසුතාවයට පත් කරමින් මගේ ධුරයේ ඉතිරි කාලය තුල රැඳී සිටීමේ සටනක නියැලීමේ තේරුමක් නැති විය.”

එසේ තීරණය කර තිබුණා නම් ඒ බව කල් තියා ප්‍රසිද්ධියේ නොකීවේ මන්ද? එසේ වී නම් ඔහුට අරගලකරුවන් සහ දේශපාලන විපක්ෂය සමඟ සාකච්ඡා කොට සාමකාමී විසඳුමකට ඒමට ඉඩ තිබුණි.  මේ වනාහී ඔරුව පෙරළුනු පසු ඒ පැත්ත හොඳයැයි කියන්නාක් වැනි අන්ද භූත කතාවකි.

ගෝටාගේ කුමන්ත්‍රණ පොත පුරාම ඇත්තේ මෙවැනි හතර බීරි එකිනෙකට ප්‍රතිවිරෝධී කතාය. පසුගිය ලිපියෙහි පෙන්වා දුන් පරිදි ආරක්ෂක ඇමැති යන තහනම් වචනයට අමතරව එහි තවත් තහනම් වචනයක් තිබේ. ඒ දූෂණ සහ වංචා යනුය. දූෂණයට සහ වංචාවට කප් ගැසු රාජපක්ෂ පවුලේ සෙන්පතියකුට වුව දූෂණ සහ වංචා පිටු දැකීම නයාට අඳු කොළ මෙන් බව ඉන් පෙනේ.

ගෝටා තමා දූෂණ වංචා නතර කිරීමට කටයුතු කළේ යැයි ලකුණු දමා ගැනීමට උත්සාහ නොකරන්නේ ඒ නිසාය.

මතු සම්බන්ධයි.

12.03.2024

Archive

Latest news

Related news