Sunday, April 28, 2024

කල්හාර දිල්ෂාන් ඝාතනය: වධකයාගේ පොලිසිය නීතියට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කොකා පෙන්වයි

සේ පියවර්ධන විසිනි.

දඩුවම් ලද වධකයකු විසින් මෙහෙයවන ශ්‍රී ලංකාවේ පොලිසිය යළිත් වතාවක් මෙරට අධිකරණයට කොකා පෙන්වා තිබේ.

ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පසුගිය 11දා  පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය බව ඊයේ වාර්තා විය.

එම මරණය වාර්තා කරන ලද සෑම මාධ්‍යයක් ම එම මරණය සාධාරණ කලේ, පැන යාමට උත්සාහ කිරීමේ දී සිදු වූ වෙඩි තැබීමක් බව කියමිනි.

දිනමිණ වාර්තාව

මේ ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් මෙලෙස ඝාතනය කරන ලද පළමු වැන්නා හෝ අන්තිමයා නොවනු ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි සහ විමර්ශන මත පදනම්ව, 2020 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පොලිසියෙහි අත්අඩංගුවේ දී සිදු වූ මරණ විසිහතරක් සහ ගැටුම් මරණ දහතුනක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිරීක්ෂණය කර තිබේ.  2023 පළමු මාස හය තුළ පමණක් එවැනි භාරකාරත්වයේ දී සිදු වූ මරණ හයක් සහ ‘ගැටුම්’ මරණ දෙකක් සිදු වී තිබුණි.

‘භාරකාරත්වයේ දී මරණය’ යන්නෙන් අදහස් කරන්නේ පොලිස් නිලධාරියකුගේ ඍජු හෝ වක්‍ර ක්‍රියාවකින් හෝ මඟ හැරීමකින් පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයකු මිය යාමයි.

‘ගැටුම් මරණයක්’ යන්නෙන් අදහස් කරන්නේ කිසියම් නීතිමය රාමුවකට පිටතින්, පොලිස් නිලධාරියකු විසින් අධිකරණ විරෝධී, හිතාමතාම පුද්ගලයෙකු ඝාතනය කිරීමය.

කල්හාර දිල්ශාන් ඝාතනය එවැනි එකකි.

ඉහත කී  කාල වකවානුව තුළ, වාර්තාගත භාරකාරත්වයේ දී සිදු වූ මරණ  කොළඹ, ගම්පහ සහ කළුතර යන ප්‍රධාන දිස්ත්‍රික්ක තුන තුළ පොලිස් ස්ථාන හෝ කොට්ඨාශ ආශ්‍රිතව සිදු වූ බවද මානව හිමිකම් කොමිසම වාර්තා කළේය.

ඉන් වැඩි හරියක් සිදු වූයේ වධක නියෝජ්‍ය පොලිස්පතිවරයා භාරයේ තිබූ බස්නාහිර පලාතේය.

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මොහොතේ සිට පැය 24 කට අඩු කාලයකදී තුවාල ලැබූ තිදෙනෙකු හැර අනෙකුත් සියලුම වින්දිතයින් මිය ගිය බව වාර්තා වී තිබේ.

වාර්තා වී ඇති එම සියලුම මරණ, අවි ආයුධ හෝ මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ ක්‍රියාවලියේදී, කුරිරු, අමානුෂික, අවමන් සහගත සැලකිලි හේතුවෙන් හෝ රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ අතපසු වීම් හේතුවෙන් සිදු වූ බව ද මානව හිමිකම් කොමිසම සිය නිරීක්ෂණයන්හි සඳහන් කළේය.

දැන් වධක පොලිස්පති පත් වී මාසයක් යෑමටත් පෙර තවත් එවැනි ඝාතනයක් සිදු වී තිබේ.

නීතිය ඉදිරියේ වරදකරු වන තුරු කිසිම පුද්ගලයකු වරදකරුවකු ලෙස නම් කිරීමට පොලිසියට අයිතියක් නැත.

මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයකදීම ඒ බව ඉතා පැහැදිලිව දක්වා තිබේ.

කවර හෝ වරදක් සම්බන්ධයෙන් කවරකු හෝ පොලිස් අත්අඩංඟුවට ගත් පසු ඔහුගේ හෝ ඇයගේ ජීවිත ආරක්ෂාව එම  නියෝගය දෙන ලද පොලිස් නිලධාරියා සතුය.

ජීවිතයට ඇති අයිතිය මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දු මගින් තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකාව බැදී සිටින සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 6 වැනි වගන්තිය මෙසේ ප්‍රකාශ කරයි: ‘සෑම මනුෂ්‍යයෙකුටම ජීවත්වීමේ සහජ අයිතිය ඇත. මෙම අයිතිය නීතියෙන් ආරක්ෂා කරනු ලැබේ. කිසිවකුගේ ජීවිතය අත්තනෝමතික ලෙස අහිමි නොකළ යුතු ය.’

ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා සිටින සියලුම පුද්ගලයන්ට ඔවුන්ගේ සහජ ජීවත්වීමේ අයිතියට ගෞරවය සහ ආරක්ෂාව හිමි වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය නිර්දේශයන්හි දක්වා තිබේ.

පොලීසිය විසින් සැකකරුවකු ඝාතනය කිරීම පිලිබඳ ෆාතිමා ෂර්මිලා නඩුවෙහි (2008) දී ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නිරීක්ෂණය කළේය: ‘අධිකරණයෙන් බැහැර ඝාතන හෝ භාරකාර මරණ වැළැක්වීම, දේශීය නීතියේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඌණපුරණය කිරීම පිනිස, ජීවිතයට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ තහවුරු කිරීමේ ජාත්‍යන්තර බැඳීම් සපුරාලීම මගින් දේශීය ප්‍රමිතීන් ඉහළ නැංවීමට අවශ්‍ය කරයි.”

2023 පෙබරවාරි 03 වන දින දුන් එම තීන්දුව මගින් මාසයක් ඇතුලත පොලිස් අත්අඩංඟුවෙහි දී සිදුකරන නීතියට පිටින් කරන  ඝාතන වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

එම නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් 2023 මාර්තු 25 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවූ පොලිස්පතිවරයාට ඒ සඳහා 2023 අප්‍රේල් 03 දින දක්වා කල් දුන්නේය.

අනතුරුව ඉදිරිපත් කරනලද එම මාර්ගෝපදේශ වලට අනුව වැදගත් වැදගත්කමක් නොමැති නම්, වැඩිදුර පරීක්ෂණ සඳහා කිසිදු සැකකරුවෙකු පොලිස් ස්ථානයකින් පිටතට නොගත යුතුය. සැකකරුවෙකු වෙනත් ස්ථානයකට රැගෙන ගියද ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු කැටුව යා යුතුය.

එකී ශ්‍රේෂ්ධිධිකරණ තීන්දුව මත පදනම්ව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විස්තරාත්මක මාරගෝපදේශ මාලාවක් 2023 මානව හිමිකම් දිනය දා එළි දැක්වීය.

දැන් වධක පොලිස්පතිවරයා කර ඇත්තේ එම මාර්ගෝපදේශයන්හි අනෙක් පැත්තය. ජනමාධ්‍යද වදකයාට එහෙයි ස්වාමීනි කිමට පටන් ගෙන තිබේ.

කමන්ඩෝ බලකායේ සේවය කර 2017දී ඉන් ඉවත් වූ කල්හාර දිල්ෂාන් නම් අයකු පොලිස් අත්අඩංඟුවෙහි දී ඝාතනය කිරීම මෙරට මුද්‍රිත සහ අන්තර්ජාල  ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලද්දේ කිසිදු විමසීමකින් හෝ නීතිමය සන්දර්භය ඉදිරිපත් නොකරය.

ජනමාධ්‍ය යනු පොලිසිය කියන දේ වාර්තා කිරීම නම් ඒවා නම් කළ යුත්තේ පොලිස් ගැසට් ලෙස මිස ඇත්ත කියන ජනමාධ්‍ය ලෙස නොවේ.

පොලිසිය විසින් අහවලා විසින් අහවලා ඝාතනය කලේ යැයි කී කතා මෑත කාලයේ දීම ගල් පැලෙන බොරු බවට පත්ව තිබේ.

ඊට මෑතම උදාහරණයක් නම් රත්නපුරයේ මවක මැරූ බවට පොලිසිය සමඟ එක්වූ ජනමාධ්‍ය ඇයගේ දියණිය කෝටු මස් කිරීමයි.

ඝාතතනය ඇයගේ දියනිය පිටින් යැවීමට පොලිස් උත්සාහය මාධය එහෙම පිටින්ම ගිල්ලේය.

කල්හාර දිල්ෂාන් හිටපු කමාන්ඩෝ භටයෙකි. කමාන්ඩෝ බලකාය යනු යුද හමුදාවේ වැඩකාරයින්ගේ බලකායයි. ඉන් ඉවත් වන සොල්දාදුවන්ට යළි සමාජ ජීවිතයට එක්වීමට මඟ පෙන්වීම සහ ජිවිකා වෘත්තීන් සොයා දීම ‘රණවිරු’ දේශපාලනය මත යැපෙන ආණඩුවල යුතුකමය.

ඔහු කුලී ඝාතකයකු ද යන්න අධිකරණයකින් සනාථවීමට පෙර මාධ්‍ය මගින් හංවඩු ගැසිය හැකිද?පොලිසියට ඔහු බොරු හේතු දී ඝාතනය කළ හැකිද?

සිදුවීමෙහි පොලිස් අනුවර්තනය තමන්ගේ වාර්තා ලෙස පළකරන සෑම මාධ්‍යයකම, ඒ වාර්ති ලියවන අය පවා මේ සිදුවීම් පොලිසිය විසින් නිර්මාණය කරන ලද ඝාතන කතා බව දනී.

එක් මාධ්‍යයක් මෙලෙස වාර්තා කළේ තමන් අධිකරණය යැයි සිතා ගෙන විය යුතුය.

‘ එදින රාත්‍රියේ එම ගිනි අවි පෙන්වීම සඳහා සැකකරු පොලිස් කණ්ඩායමක් සමග අදාළ ප්‍රදේශයට ගිය අවස්ථාවේ සඟවා තිබූ ගිනි අවියකින් නිලධාරීන් දෙසට වෙඩි තැබීමට ඔහු උත්සාහ කළ බවත් , එහිදී පොලිසිය වෙඩි තැබීමෙන් සැකකරු මියගිය බවත් පොලිසිය පවසා’ ඇති බව එලෙසම මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

‘අද දෙරණ’ පොලිස් ගැසට් පත්‍රයකි.

ජනමාධ්‍යයේ අයනු ආයනු දන්නා ඕනෑම මාධ්‍යවේදියකු විසින් එම ප්‍රකාශය පල කිරීමට පෙර අඩුම වශයෙන් ඇසිය යුතු ප්‍රශ්ණ කිහිපයක් තිබුණි.

  1. ආයුධ සෙවීමට රාත්‍රියේ ගියේ ඇයි?

  2. සැකකරුට මාංචු දමා තිබුණේද? නැත්නම් ඒ ඇයි?

  3. මාංචු දමා තිබුණේ නම් වෙඩි තැබීමට උත්සාහ කළේ කෙසේද?

  4. වෙඩි කීයක් තබන ලද්දේද? වෙඩි තබන ලද නිලධාරියා කවරෙක්ද?

  5. එම මෙහෙයුම බාරව සිටි පොලිස් නිලධාරියා කවරෙක්ද?

ඒ වෙනුවට දැන්සිදුව ඇත්තේ පොලිස් පරිඝනක ක්‍රියාකරුවන් ජනමාධ්‍යවේදින් බවට පත් වීමයි!

මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කරනලද මාර්ගෝපදේශ මෙසේ සඳහන් කරයි.

‘විමර්ශනයක් සඳහා රැඳවියෙකු පොලිස් ස්ථානයෙන් පිටතට ගෙන ගියහොත්, එම පියවරට බලය දුන් අදාළ උසස් පොලිස් නිලධාරියා රැඳවියාගේ ආරක්ෂාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාර ගත යුතුය.’

‘අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෝ රැඳවියෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් හෝ පරීක්ෂණයක් භාරව සිටින පොලිස් නිලධාරියා එම පරීක්ෂණයට හෝ පරීක්ෂණයට අදාළ සියලු විස්තර ලිඛිතව නිවැරදි වාර්තාවක් තබා ගත යුතුය.’ ( මානව හිමිකම් කොමිසම)

‘භාරකාරත්වයේ දී හෝ  ගැටුම් මරණයක් සම්බන්ධයෙන් කිසියම් ප්‍රකාශයක් කිරීමේදී, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සෑම විටම මියගිය පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කළ යුතුය.

අත්අඩංගුවට ගැනීමට හේතුව, මියගිය පුද්ගලයාගේ අතීත අපරාධ වාර්තාව සහ මියගිය පුද්ගලයාගේ හෝ මියගිය පුද්ගලයාගේ පවුලේ අයගේ වාර්ගිකත්වය, ආගම හෝ පදිංචි ස්ථානය වැනි වෙනත් පුද්ගලික තොරතුරු මාධ්‍ය වෙත නිකුත් නොකළ යුතුය.

මරණයෙන් පසු වහාම මාධ්‍ය වෙත තොරතුරු නිකුත් කිරීමේදී අදාළ පොලිස් නිලධාරීන් මියගිය පුද්ගලයා වරදකරු බව ඔප්පු වන තුරු නිර්දෝෂී යැයි සැලකීමට ඇති අයිතියට ගරු කළ යුතුය.

අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු හෝ චූදිතයෙකු පමණක් වන කල, එවැනි පුද්ගලයෙකු ‘අපරාධකරුවෙකු’ හෝ ‘වරදකරුවෙකු’ ලෙස නිරූපණය නොකළ යුතුය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ රීති කුණූ කූඩයට දමා තිබේ.

ජනමාධ්‍ය ඇසිය යුතු ප්‍රශ්න පදනම් විය යුතුව තිබුණේ එවැනි නීතිමය සහ ආචාර ධර්මීය සන්දර්භයක් තුලය.

එනමුත් නීතිය නිලලත් වධකයකු අත ඇති රටක බලපවත්වන්නේ අධිකරණ නීතිය නොව කැලෑ නීතියයි.

රාජකාරිය අතර තුර කරනු ලබන ඹ්නෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් පවරනු ලබන නඩු සඳහා පොලිස් අරමුදලෙන් අධාර ලබා දෙන බව වධක පොලිස්පතිවරයාගේ මුල්ම පොරොන්දුව විය.

ඉන් අදහස් කරන්නේ පුරවැසියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට පවරනු ලබන නඩු සඳහා ද පුරවැසියන් විසින්ම  එම නිලධාරීන්ට මුදලින් ආධාර කළ යුතු බවයි.

ක්‍රමය සමස්තයක් ලෙසම පෙරලා උඩි යටිකරු කළ යුත්තේ මෙන්න මේ නිසාද වේ.

13.93.24

Archive

Latest news

Related news