Thursday, May 2, 2024

නාරම්මල ඝාතනය වීඩියෝ කල පුරවැසියා සොයා යතුරු පැදිකරුකරුවෙක් එයි; ඝාතකයාගේ පොලිස් යතුරු පැදිය හොර එකක්!

නාරම්මල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් කළ වෙඩි තැබීමෙන් මියගිය වඩු කාර්මික ශිල්පියා මරණයට පත් වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන පළමු වරට සමාජ මාධ්‍ය වෙත මුදා හැරී පුද්ගලයා පිළිබඳ කිසියම් පුද්ගලයෙකු විසින් සොයා බලා ඇතැයි, නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (පෙබරවාරි 2 වැනිදා) අනාවරණය විය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු යම් සංවිධානයකින් යැයි පවසා වඩු කාර්මික ශිල්පියා ඝාතනය වූ ස්ථානයේ පිහිටි එළවළු වෙළඳ සැලෙහි සේවකයින්හට (පෙබරවාරි 01 වැනිදා) පවසා ඇත්තේ මෙම සිද්ධියෙහි වීඩියෝ දර්ශන මුලින්ම සමාජ මාධ්‍ය වෙත මුදා හැරී පුද්ගලයා පිළිබඳ හෙළි කරන්නේ නම් මුදල් ත්‍යාගයක් දෙන බවය.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද දෙවැනි දිනටත් නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සාක්ෂි දෙමින් එළවළු වෙළෙඳසැලේ සේවකයින් අධිකරණය හමුවේ මේ බව කියා සිටියේය.

ඔහු නැවත පැමිණෙන බව ප්‍රකාශ කර පිටව ගිය බව ද සාක්ෂි කරුවෙකු සඳහන් කළේය.

නාරම්මල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් මියගිය වඩු කාර්මික ශිල්පියා මරණයට පත් වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන මුළින්ම සමාජ මාධ්‍ය වෙත මුදා හැරී පුද්ගලයා පිළිබඳ කිසියම් පුද්ගලයෙකු විසින් සොයා බලා ඇතැයි, නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (පෙබරවාරි 2 වැනිදා) අනාවරණය විය.

පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු යෙදූ එකක් බව හෙළිවෙයි

පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු සවි කරගෙන භාවිතා කළ එකක් බව වෙනම බී වාර්ථාවක් මගින් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද (පෙබරවාරි 02වැනිදා) අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

එම යතුරු පැදිය 2007.07.20 දින පෞද්ගලික වෙළදසැලකින් මිල දී ගෙන ඇති බවත් එය මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි කර හෝ ආදයම් බලපත්‍ර, දුම් සහතික හෝ රක්ෂණය කර නොමැති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

එම වරද සම්බන්ධයෙන් අධිකරණය සැකකාර පොලිස් නිලධාරියාට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක්ද නියම කරනු ලැබීය.

කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියා සිටියේ මෙම යතුරු පැදිය වෙනත් සාපරාදී ක්‍රියාවකට යොදා ගෙන තිබේදැයි යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බවය.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ්

සිද්ධියට අදාළ නඩුව (පෙබරවාරි 02වැනිදා) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිව්වැනි දිනට කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පෙබරවාරි 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර පොලිස් නිලධාරියා නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (පෙබරවාරි 02වැනිදා) ඉදිරිපත් කරනු ලැබීය.

අද දිනයේදී සාක්ෂි විමසීම පෙරවරු 10ට පමණ ආරම්භ වූ අතර අධිකරණ කටයුතු ආරම්භ වී පස්වරු 12.30 පමණ වනතුරු පළමු නඩුව ලෙස මෙය විභාගයට ගැනිණි. එහිදී වින්දිත පාර්ශවය නියෝජනය කරමින් තිදෙනක් සාක්ෂි ලබා දුන්හ.

අද දින සාක්ෂි ලබා දුන්නේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ එළවළු වෙළෙඳසැලේ හිමිකරු සහ සේවකයින් දෙදෙනෙකි.

යතුරු පැදියේ පැමිණි අනෙක් පොලිස් නිලධාරියාගේ විදෙස් ගමන් තහනම්

වින්දිත පාර්ශවය වෙනුවෙන් එස්. කොටගොඩහෙට්ටි , ජයතිලක තෙන්නකොන් ඇතුළු නීතිඥවරුන් තිදෙනෙක් අද දින අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම නීතිඥවරුන් විමසා සිටියේ, යතුරු පැදියේ පසු පස ගමන් ගත් දෙවැනි පොලිස් නිලධාරියා සැකකරුවෙකු වශයෙන් තවමත් අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්ද යන්න පිළිබඳවය.

ඔහුත් මෙම මරණයට සම්බන්ධ වූ පුද්ගලයෙකු නිසා ඔහුද සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව නීතිඥවරුන් අවධාරණය කළේය.

අද දින සාක්ෂි වලින් හෙළි වූ කරුණූ අනුව මරණයට පත්වූ පුද්ගලයාට මුලින්ම අසභ්‍ය වචනයෙන් බැන වැදි කමිස කොලරයෙන් අල්ලා අත්තේ මෙම දෙවැනි පොලිස් නිලධාරියා ය.

එහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ඔහු පිළිබඳ වෙනම විමර්ශනයක් සිදුවන බවත් දැනට ඔහුව අත්තඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තරම් සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවත් ය.

වැඩිදුර විමර්ශනය කර මීට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් අත්ඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරිය පොලිසියට දැනුම් දුන්නාය.

දෙවැනි පොලිස් නිලධරියාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීම අනුව ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළේය.

නඩුව ලබන 16 වැනිදා දක්වා කල් තැබූ නාරම්මල මහේස්ත්‍රාත්වරිය සැකකරු එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

මෙය ‘වෙඩි වැදීමකින් සිදුවු මරණයක් බවට’ අද දින මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් කරමින් අධිකරණය නිගමනය කළ බව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. කොටගොඩහෙට්ටි බීබීසී සිංහල වෙත පැවසීය.

බීබීසී සිංහල

Archive

Latest news

Related news