Thursday, May 2, 2024

මහ බැංකුව බදාගෙන කෑම: අවශේෂ වැඩකරන ජනයාට අර්ථසාධක පොලිය 9%; මහබැංකු සේවකයන්ට 29.27යි!

2022 වසරේ සිට නිර්මාණය කරන ලද  සේවක අර්ථ සාධක අරමුදලේ   තැන්පත්කරුවන්ගේ විශේෂ කාණ්ඩයක ඇදහිය නොහැකි තරමේ විශේෂ වරප්‍රසාදයක් ලබා දි තිබෙන බව වාර්තා වේ.

රාජ්‍ය මූල්‍ය කටයුතු පාර්ලිමේන්තුවේ පාලනය යටතේ තිබිය දී වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව මහ බැංකු අර්ථසාධක සාමාජිකයින්ට ලැබෙන වාසිදායක පොලී අනුපාතවල පෙර නොවූ විරූ විෂමතාවයක් ඇති කර තිබීම මගිනි.

2022 වර්ෂයේ දී සියලු ම ඊපීඑෆ් සාමාජික  සාමාජිකාවන්ට 9% ක පොලියක් පමණක් ලබා දී ඇති අතර, මහ බැංකු සේවක සේවිකාවන්ට 29.27% ක විස්මය ජනක පොලී මුදලක් ලබා දී ඇති බව ගොවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ දී මෙම සත්‍යය පිළිගැනීමට මුදල් අමාත්‍යාංශයට බල කිරීමට තමා ගත් උත්සාහයට පාර්ලිමේන්තුව බාධා කළ බවට ද ඔහු චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් 2023 ජුලි 10 වැනි දින සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් තමා අසන ලද ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ නොවැම්බර් 07 වැනි දින පමණක් බව ඔහු පවසයි. මහ බැංකු අර්ථ සාධක අරමුදලට 29.27%ක ගෙවන සහ අන් සියලු දෙනාට 09%ක් ගෙවන සේවක අර්ථ සාධක අරමුදලේ අරමුදල් දෙකම කළමනාකරණය කරනු ලබන්නේ මහ බැංකුව මගිනි.

මෙමගින්, අනෙකුත් සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට වඩා තුන් ගුණයක පොලියක් මහ බැංකු සේවකයන්ට ලැබුණු ආකාරය පැහැදිලි කිරීමට රාජ්‍ය මුදල් අමාත්‍ය සේමසිංහ මහතා අපොහොසත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරතුංග මහතා තව දුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට, 2023 ජූලි 01 වන දින පාර්ලිමේන්තුව විසින් ගෘහස්ථ ණය ප්‍රශස්තකරණ (DDO) සැලැස්ම සම්මත කර, එමඟින් මෙම විශම පොලී ගෙවීමේ ක්‍රමය නීත්‍යනුකූල කරන ලදී. වැඩි ඡන්ද 60 කින් සම්මත වූ එම මතභේදාත්මක යෝජනාවට පාලක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්දය ප්‍රකාශ කළේය.  යෝජනාවට පක්ෂ ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂ ඡන්ද 62ක් ලැබුණි. මන්ත්‍රීවරු හතළිස් එක් දෙනෙක් ඡන්දය මඟ හැරියහ.

මේ වනාහි හැන්ද අතේ ඇති අය තමන්ටම බෙදා ගැනීමක් බවත් බදා ගෙනම කෑමක් බවත් මේ පිළිබඳ අදහස් දක්වන පිරිස් පවසති.

මෙවැනිම තවත් සිදුවීමක් නම් විදුලි බල මණ්ඩලයේ සේවක පිරිස් විසින් ලබා ලෙන ඇති බිලියන 1.2ක ණය සඳහා ගෙවන පොලියෙන් සියයට 2-3 ත් අතර ප්‍රමාණයක් විදුලි බල මණ්ඩලයෙන් ගෙවන බව ඇමති කංචන රත්නායක විසින් හෙළිදරව් කිරීමයි.

පොලිස් නිලධාරියකු විසින් පසුගියදා නාරම්මල දී අහිංසක මිනිසකු වෙඩි තබා මරා දැමීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියනයක් ගෙවිමද පුද්ගලයකුගේ අපරාධයක් වසං කිරීම සඳහා මහජන මුදල් පාවිච්චි කිරීමකි.

මේ වනාහි ලංකාවේ පවතින ඥාති සංග්‍රහ දේශපාලනයේ දිගුවකි. මෙම තුන් ගුණයක පොලියක් ලබා ගැනීම සැලකිය යුත්තේ වංචා දූෂණ ක්‍රියාවක් ලෙස බවත් එම පිරිස් පවසති.

( දි අයිලන්ඩ් හි පළ වූ ලිපියක කරුණු කිහිපයක්  ද ඇසුරු කරන ලදී.)

Archive

Latest news

Related news