Thursday, November 21, 2024

පාස්කු බෝම්බකරුවන් ගැන ආරක්ෂක අංශ පෙර සිට දැන සිටි බව තවදුරටත් තහවුරු වෙයි! ජ්‍යාත්න්තර පරීක්ෂණයක් දෙනු!!

ඡායාරූපය: පාස්කු ප්‍රහාරයේ වින්දිතයිනට යුක්තිය යදින වින්දිත ස්ත්‍රියක් ( බීබීසී සිංහල ඡායාරූපයකි)

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, වර්තමාන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්ෂ තුවාන් සුරේෂ් සලේ සහ සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා යන පිරිස ලබා දුන් සාක්කි සටහන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරී හංස අබේරත්න මහතා විසින් මරදාන සමාජය සහ සාමයික කේන්ද්‍රය  වෙත නිල වශයෙන් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී 2023 සැප්තැම්බර් මස 21 සහ 22 දිනවලදී පාස්කු ඉරුදින ප්‍රහාරය හා චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් පැවැති විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සාක්කි සටහන් සභාගත කර තබිණි.

ඉහත කී සාක්ෂි සටහන් ලබා දී ඇත්තේ එකී සාක්ෂි සටහන්  ඉල්ලා සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම තොරතුරු පනත යටතේ යොමු කළ තොරතුරු ඉල්ලීමකට අනුවය.

එලෙස ලැබුණු තොරතුරු පර්යේෂණ කණ්ඩායමක් විසින් කියවා විශ්ලේෂණය කිරීමෙන් පසු ඒවායේ අන්තර්ගත වන සහ ඒවායෙන් අනාවරණය වන පහත සඳහන් කරුණු සමාජය හා සාමයික කේන්ද්‍රය  විසින් ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කර තිබේ.

ඒ ‍මෙසේය:

1. තුවාන් සුරේස් සලේ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියදී සිට හමුදා බුද්ධි අංශ සතුව සහරාම් හෂීම් සම්බන්ධයෙන් තොරතුරු පැවතිය බව.
නැගනෙහිර බුද්ධි නිලධාරීන් සහරාන් හෂීම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බව තුවාන් සුරේෂ් සලේ මහතා විසින් 2020 ජුනි 25 වැනිදා ජනාධිපති කොමිසමට ලබා දුන් සාක්කියේ දී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සංජීව දිසානායක මහතා කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. එම සාක්කියේ 94 සහ 95 පිටුවල මේ බව සඳහන්ව ඇත. තව්හිත් ජමාත් කණ්ඩායමක් සමග ඔවුන් සම්බන්ධ වූ බවත්, ඔවුන් ආරක්ෂක අමාත්‍යංශයට ගෙන්වා සාකච්ඡා පවත්වා ඇති බවත් ඔහු තම සාක්කියේ 113 පිටුවේදී ප්‍රකාශ කර තිබේ. එම සංවිධානයට තම හමුදා බුද්ධි අංශයේ ඒජන්තවරයකු යොදවා තොරතුරු ගත් බවත් එය සංවේදී ක්‍රියාදාමයක් බවත් ඔහු තම සාක්කියේ දී ප්‍රකාශ කර තිබේ.

2) සහරාන් කණ්ඩායම සමඟ සබඳතා පැවැත් වූ අබු හින්ද් නම් ඉන්දියානු ජාතිකයා පිළිබඳ

සහරාන්ගේ ආරක්ෂාව ගැන වෙහෙසුණු ඉන්දියාවේ සිටින බවට සහරාන් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇති අබුහින්ද් නම් පුද්ගලයා සහරාන් සමග කතා බහ කිරීමට ආරම්භ කර ඇත්තේ 2017 වසරේ අවසානයේ පමණ සිට බව සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා තම සාක්කියේ දී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති කොමිසම වෙත ඇය සාක්කි ලබාදී ඇත්තේ 2020 ඔක්තෝබර 20 වැනි දිනය. 2017 වසරේ අවසානයේ සිට 2019 වන තෙක් අබුහින්ද් නමින් සිටි පුද්ගලයා සහරාන් සමග නිරන්තරයෙන් සන්නිවේදනය කළ බව හාදියාගේ සාක්කියේ 76වැනි පිටුවේ සඳහන් වේ. එසේම අප්‍රේල් තුන්වැනිදා පානදුර හා කටුවාපිටිය නිවාස අතර බඩු හුවමාරුවක් (බෝම්බ ද්‍රව්‍ය) සිදුවීම ගැන හාදියාගේ සාක්ෂියේ 124 සහ 125 පිටුවල සඳහන් වේ.

මහනුවර පැවැති ආයුධ පුහුණුව අතරතුර දී පොලිසිය පැමිණ පරීක්ෂා කරද්දී සහරාන් ඇතුළු පිරිස සතුව ගිනි අවි තිබුණු බවත්, සහරාන්ගේ බෑගය පරීක්ෂා කළ ද පොලිසිය ගිනි අවිය සොයා නොගත් බවට සහරාන් ප්‍රකාශ කළ බවත් හාදියා තම සාක්කියේ 150 වැනි පිටුවේ කියා තිබේ.

සයින්දමරුදු සිදුවීම අවස්ථාවේදී නිවස ගිනි ගනිද්දී නිවසේ එළියේ සිට පැමිණ ජනේලයෙන් සහරාන්ගේ සහෝදරයා වූ සෙයිනි තමාට කතා කළ බවත්, තමා එළියට නොගිය බවත්, ටික වේලාවකට පසු වෙඩි සද්ද ඇසුණු බවත්, වෙඩි සද්වදලින් පසු සාරාගේ වැනි කඩ හඩක් ඇසුණු බවත්, තමා පිටුපසට හැරී බලන විට කාන්තාවක් සිට ගෙන සිටි බවත්, ඇගේ මුහුණේ ලේ තිබුණු බවත්, ඇඳුම පිළිස්සී තිබුණු බවත් සහරාන්ගේ බිරිඳ තම සාක්කියේ 170 සහ 171 වැනි පිටුවල සඳහන් කර තිබේ. එම කාන්තාවගේ හැඩහුරුකම සාරාගේ මෙන් බව ද හාදියා ප්‍රකාශ කර තිබේ.

3) දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයා සහරාන් ගැන දින සිටි බව සහ ප්‍රහාරය පිළිබද  තොරතුරු තිබියදී නිවාඩු ගිය බව

දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ද 2017 සිට සහරාන්ගේ නම අසා ඇති බවත්, 2017 දී නාලක සිල්වා මහතා පැවැත්වූ වැඩසටහනකට ඔහු සම්බන්ධ වූ බවත්, එහිදී ආගමික අන්තවාදය ගැන සඳහන් කරද්දී සහරාන්ගේ නම ද ප්‍රකාශ වූ බවත් දේශබන්දු තෙන්නකෝන් තම සාක්කියේ දී පිළිගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුර පොලිස්පතිවරයා විසින් පහළ නිලධාරීන්ට ලබා දුන් පසු බස්නාහිර පළාත භාරව එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා ඇතුළු නිලධාරීන් පිරිසකට ලිඛිතව ඊට අදාලව කටයුතු කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබා දුන් බවත්, එම උපදෙස් හරි ආකාරව ක්‍රියාත්මක කළා නම් කටුවාපිටි ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබූ බව තමා පිළිගන්නා බවත් දේශබන්දු තෙන්නකෝන් තම සාක්කියේ 78 සහ 79 පිටුවලදී කියා තිබේ. අදාල ලිපි කට්ටල තමා පහළ නිලධාරීන්ට යැවූ බවත්, අප්‍රේල් 18 වැනිදා රාජකාරි කර තමා නිවාඩු ගිය බවත්, බෝම්බ ප්‍රහාරය අවස්ථාවේ තමා සිටියේ මහියංගනය ප්‍රදේශයේ බවත් තෙන්නකෝන් කියා තිබේ.

පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වන බවට සඳහන්ව තිබෙන නිසා කිතුණු පියතුමකුවවත් මේ ගැන දැනුම් නුදුන්නේදැයි දේශබන්දු තෙන්නකෝනගෙන් විනිසුරුවරුන් විමසද්දී ඔහු කියා ඇත්තේ දැනුම් නුදුන් බවයි. නුදුරේදීම පල්ලිවලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී පාස්කු දිනය යනු නුදුරුම දිනයක් බවට සරල වැටහීමක් තිබියදීත් නිවාඩු යාමට පෙර තම ආරක්ෂක සැලැස්ම ගැන වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිට උපදෙස් දුන්නේදැයි කොමිසම ප්‍රශ්න කළ විට දේශබන්දු තෙන්නකෝන් කියා ඇත්තේ එලෙස නුදුන් බවයි.

ඉහත කරුණු සහ සාක්කි සියල්ල සාවධානව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ සරහාන් සම්බන්ධයෙන් පමණක් නොව කොළඹ කේන්ද්‍ර කරගෙන පැවැති ඊබ්‍රහිම් පුතුන්ගේ සංවිධානය වූ ජේඑම්අයි සංවිධානය ගැන පවා බුද්ධි අංශ දීර්ඝ කාලයක සිට දැන ගෙන සිට ඇති බවයි. ලැබී ඇති සාක්කි අනුව ඉතා සුළු පිරිසක් සාමාජිකත්වය දැරූ ජේඑම්අයි සංවිධානයට හමුදා බුද්ධි අංශවල ඒජන්තවරයකු පවා යොදවා සිටියදී බෝම්බ ප්‍රහාරය ගැන තොරතුරු ලබාගෙන ප්‍රහාරය වළක්වා නොගැනීම ඉතාම පුදුම සහගත කරුණකි.

ආරකෂක අමාත්‍යංශයට තවුහිත් ජමාත් නියෝජිතයන් කැඳවා සාකච්ඡා කර ඔවුන්ගේ හැසිරීම ගැන නිරන්තරයෙන් අවධියෙන් සිටි බුද්ධි අංශ බෝම්බ ප්‍රහාරය වළක්වා නොගත්තේ කාගේ බලපෑමක් මතද යන්න සහ මේ පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න ගැන රටට හෙළිදරව් කළ යුතුය.

සහරාන්ගේ බිරිඳගේ සාක්කිය අනුව අප්‍රේල් තුන් වැනිදා පානදුර නිවස සහ කටුවාපිටිය නුවර අතර යම් භාණ්ඩ හුවමාරුවක් සිදුවී තිබේ. ගැලනිගමදී නීති විරෝධී නියෝගයක් අනුව මුදා හැරි බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වූ ලොරි රථය එලෙස මුදා හැරීම සිදුවී ඇත්තේ ද අප්‍රේල් තුන් වැනිදා බව සඳහන් වේ. දේශබන්දු තෙන්නකෝන් ගේ බල ප්‍රදේශයේ තිබූ කටුවාටියේ නිවස සහ ඔහුගේ බල ප්‍රදේශයෙන් පිට තිබූ පානදුර නිවස අතර භාණ්ඩ හුවමාරුවත්, ඔහුගේ බල ප්‍රදේශයෙන් පිට ගැලනිගම පොලිසියට කතා කර ලොරිය සම්බන්ධයෙන් උපදෙස් දීමත්, අප්‍රේල් 19 සිට දින කිහිපයක නිවාඩුවක් සඳහා ඔහු අප්‍රේල් 03 වැනිදා නිවාඩු ඉල්ලුම් පත්‍ර යොමු කිරීමත් අතර අන්තර් සම්බන්ධතාව ගැන මෙතෙක් නිසි විමර්ශනයක් සිදුවී නැත.

ෆාතිමා හාදියාගේ සාක්කිය අනුව සයින්දමරුදු පිපිරීමෙන් පසු සහරාන්ගේ සහෝදරයා වන ‍ සෙයිනි සහ සාරා ජීවතුන් අතර සිට තිබේ. පිපිරීමෙන් පසු සෙයිනි තමාට කතා කළ බව හා ඉන් පසු වෙඩි ශබ්ද ඇසුණු බව එම සාක්කියේ සඳහන් වේ.

සාරා පුලස්තීනි  යනු කටුවාපිටිය දේවස්ථානයේ දී බෝම්බය පුපුරුවා ගත් මොහොම්මදු මොහොම්මදු පස්තූන්ගේ බිරිඳ ය.  ඇය මිය ගිය බව පෙන්වීමට ආණ්ඩුවට  විශාල අවශ්‍යතාවයක් තිබේ. කලින් කරන ලද ඩීඑන්ඒ පරින්ෂණ දෙකෙන්ම සාරාගේ  ඩීඑන්ඒ සොයා ගැනීමට බැරි වූ බැවින්, තෙවැනි ඩීඑන්ඒ පරීක්ෂනයක් මගින්, ගෝඨාභය ජනාධීපති කාලයෙහි සරා සයින්දමරුදු පිපීරිමේදී මිය ගොස් ඇතැයි ප්‍රකාශ කරන ලදී ( ශ්‍රී ලංකා බ්‍රීෆ් සටහනකි)

එම ස්ථානයේ තිබී සෙයිනිගේ මළ සිරුර හමු විය.  එමගින් හාදියාගේ සාක්ෂියේ, සෙයිනි සම්බන්ධ කොටස තහවුරු වෙයි.

හාදියා අත්අඩංගුවට පත්වූයේ ද එතැනදීමය.

එනමුත් සාරා හෝ සාරාගේ සිරුර හමුවූයේ නැත. නිවස තුල පිපිරීම සිදුවීමෙන් පසුව  සෙයිනි සහ බඩේ බෝම්බයක් බැදගෙන සිටි සාරා නිරුපද්‍රිතව සිටීමත්, ඉන් පසු වෙඩි ප්‍රහාර සිදුවීමත්, පණ පිටින් සිටි සාරා අතුරුදන්වීමත් යන සිදුවීම් අනුව තවම පිළිතුරු නැති ප්‍රශ්නය.

මෙවැනි කරුණූ ගැන තවමත් නිසි විමර්ශනයක් සිදුවී නැත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අනිකුත් සාක්කි සහ වෙළුම් ප්‍රසිද්ධ නොකරන්නේ මෙම ප්‍රහාරය පිටුපස ඇති තුමන්ත්‍රණය හෙලිදරව් වන නිසා බව සඳහන් කිරීමට මෙම සාක්කි කිහිපයෙන් අනාවරණය වන තොරතුරුම ප්‍රමාණවත් වේ.

ජාතික ආරක්ෂාව යනු පාලකයන්ගේ ආරක්ෂාව පමණක් නොව මහජනතාවගේ ආරක්ෂාවයි. මහජනතාවගේ ආරක්ෂාවට බරපතල අගතිදයක් සිදුවී තිබියදී තවදුරටත් නිසි පරීක්ෂණයක් නැතිව මෙම තොරතුරු සගවා තබා ගැනීමට උත්සාහ කිරීමෙන් තවදුරටත් පාලකයන් සිදු කරන්නේ රටේ මහජනතාවගේ ආරක්ෂාව දිගින් දිගටම අනතුරට හෙළිමක් බව අපි ප්‍රකාශ කරමු.

එසේ හෙයින් පාස්කු ප්‍රහාරයට අදාලව ඇති සියලු ම තොරතුරු මුදා හරින ලෙසත්, මේ සම්බන්ධයෙන් සාධාරණ ජාත්‍යන්තර පරීක්ෂණයකට අවස්ථාව සලසන ලෙසත් අපි ආණ්ඩුවට බලකර සිටිමු.

(19.01.24/  සමාජය හා සාමයික කේන්ද්‍රය  විසින් නිකුත් කරන ලද නිවේදනයක් ඇසුරුනි ).

Archive

Latest news

Related news