Friday, June 21, 2024

වැඩ පමණක් ඇති, රැකියා නැති බහුතරය මතින් යැපෙන, වැජබෙන සුළුතරය – ජයශ්‍රී ප්‍රියලාල්

අද වැඩට යනවද, අද වැඩද? යන්න අප බොහෝ දෙනෙක් නිරන්තරයේන ඒදිනෙදා හුවමාරු කරගන්නා ප්‍රශ්ණාර්ථයෙකි. ඒහෙත් අප කිසිවෙක් අද රස්සාවට නැත්නම් රැකියාවට යනවාද යැයි විමසන්නේ නැත. නව තාක්ෂණයේ බලපෑම් හේතුකොටගෙන රැකියා අවස්ථාවන් දුලබ වනවිට වැඩ සහ රැකියාව පිලිබඳ නියම අර්ථකතනය කුමක්ද යන්න විමසා බැලීමේ කාලය උදාව ඇත.

රැකියාවක නිරත පුද්ගලයෙකුට සිය ජීවිකාව ගෙනයාමේ ස්ථිරතාවයක් ආරක්ෂාවක් තමා යෙදෙන කාර්යයෙන් අත්කරගනී. ඒපමණක් නොව, ඒම කාර්ය නිසි පරිදි ඉටුකිරීමෙන් තමා සේවය කරන ආයතනයට, ඔහු හෝ ඇය විසින් නඩත්තු කරන පවුලට, ජීවත්වෙන සමාජයට, පොදුවේ රටට යම් ආරක්ෂාවක් හෝ ස්ථිරභාවයක් ලබාදේ. රැකියාවක් නොවන, යම් වැටුපක් සඳහා පමණක් වැඩක නිරතවන පුද්ගලයෙකු ගතකරන අවිනිශ්චිතතාවය  සහ ඒමගින් මතුවෙන කායික සහ මානසික ආතතිය කොපමණක්ද, ඒ්තුලින් තමන්ට අත්විදිය හැකි රැකියා තෘප්තිමත්භාවය සීමාවෙන ආකාරය පිළිබඳ යමෙකුට තේරුම්ගැනීමට අපහසු නොවනු ඇත.

වත්මන් සිව්වන කාර්මික විප්ලව යුගයේදී දිග හැරෙන වෙනස්කම් සහ අභියෝග  වර්තමාන සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍රමය තොරතුරු සන්නිවේදන තාක්ෂණය සමඟ මුසු වීමේදී මතුවන නොගැලපීම් සහ  අන්තර් සම්බන්ධිත ඩිජිටල් ලෝකය ඔස්සේ දිවෙන සමාජ මාධ්‍ය ජාලය අපේක්ෂා කරන 21 සියවසේ ශ්‍රම බලකාය ශ්‍රී ලංකාවේ ගොඩනඟා ගැනීමේ අභියෝග පිලිබඳ සාකච්ඡාවක් සඳහා අදහස් කිහිපයක් සටහන් කිරීමට මෙම ලිපිය පාදක කර ගනිමි.

තොරතුරු තාක්ෂණයේ සහ අන්තර්ජාලයේ ව්‍යාප්තියට සමගාමීව සුහුරු තාක්ෂණික මේවලම් වල පරිණාමය මෙන්ම නිර්මාපිත බුද්ධියේ (Artificial Intelligence) බලපෑම් මත අප සියළු දෙනා දැනට යෙදී සිටින රැකියාවල ස්වරූපය සහ යම් කාර්යයක් නිම කිරීමට ගත කරන කාලය බොහෝවිට කෙටිකරනු ඇත. දිනකට පැය අටක් ගතකිරීමට යම් වෘත්තීයක් ඉතිරිවේද? නොඒසේ නම් සමාන්තර වෘත්තීයයන් කිහිපයක නිරතවීම සම්මතයක් විය හැකිද? ඒහෙයින් කමිකරුවන් සතුවු ශ්‍රම ශක්තිය සහ ශිල්පීය දැනුම වර්තමානයේදී හැසිරෙනුයේ කෙසේද යන්න විමසා බැලීමට අදහස් කරමින් මෙම සටහන ඉදිරිපත් කරමි.

ධනවාදය සහ ශ්‍රම විභේදනයේ අතීත ආවර්ජනය

ඇඩම්ස් ස්මිත් සහ ඩේවිඩ් රිකාඩෝ වැනි ශ්‍රේෂ්ඨ ආර්ථික විද්‍යාඥයන් ධනවාදය වැලඳ ගත්තේ විවිද සමාජ ස්ථරයන්ට වැඩි සමෘද්ධියක් ගෙන ඒමේ ක්‍රමයක් ලෙසය. ධනවාදය මානව විමුක්තිය සඳහා කාර්යක්ෂම ආර්ථික ක්‍රමයක් ලෙස ඉස්මතු වූ අතර, දහඅටවන සියවසේ අග භාගයේදී වැඩවසම්වාදය පරාජය කළේය.  දහඅටවන සියවසේ අග භාගයේ පළමු කාර්මිකකරණයේ පැමිණීමත් සමඟ දේශපාලන මතවාදයන් හි බොහෝ ඉගැන්වීම් සඳහා පන්ති විඥානය මූලික විය. කාල් මාක්ස් ඔහුගේ  ආර්ථික විද්‍යාත්මක දෘෂ්ඨි කෝනය යොදාගනිමින් ධනේශ්වර ක්‍රමය තුළ නිරාවරණය වන අසීමිත බල තුලනය විශ්ලේෂණය කලේය. ඔහුගේ දර්ශනය හා දේශපාලන න්‍යායන් සහ වෙළඳපොළ මූලධර්මවාදයේ අභිලාෂය විවේචනය කරමින් මානව විමුක්තිය උදෙසා ශ්‍රම අතිරික්තය ඒකරාශී කරවීමෙන් ධනවාදයෙන් ඔබ්බට ගොස් සමාජ ප්‍රගතිය සඳහා සුවිශාල කාර්යයක් කලහැකි යැයි වෙනස් මතයක් දැරීය.

ඇඩම්ස් ස්මිත් සහ ඩේවිඩ් රිකාඩෝගේ වෙළඳපොළ හා මිල න්‍යායන්ට එරෙහිව මාක්ස් කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රමයක් ප්‍රචලිත කළේ ශ්‍රම අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය අතර සමතුලිතතාවයක් ගොඩනගාගැනීමේ විකල්පයක් යෝජනා කරමින්ය.  කාල් මාක්ස් විසින් ධනේශ්වර ආර්ථික ක්‍රමයේ අඩුපාඩු ඉස්මතු කරමින් සුප්‍රසිද්ධ “දාස් කැපිටල්” කෘතිය රචනා කරන ලදී.  වැඩවසම්වාදයේ සිට ධනවාදය දක්වා වූ සමාජ පරිණාමය කාල් මාක්ස් විසින් පංති ස්ථරීකරණය කිරීමේ ක්‍රියාවලියක් හරහා විශ්ලේෂණය කරන ලදී. කාල් මාක්ස් කම්කරු පන්තියක් බලගැන්වීමේ අරමුණින් සමාජ විප්ලවය කෙරෙහි සැබෑ විශ්වාසයකින් සිය මතවාදය ඉදිරිපත් කලේය.

 

මාක්ස් අද නැවත ඉපදුනොත්, ඇන්ගෝලාවේ සිට කාම්බෝජය දක්වා විප්ලවයේ නාමයෙන්, කොමියුනිස්ට් දේශපාලන මතවාදයන් පටලවා ගෙන ඒකාධිපතියන් විසින් සිදු කරන ලද වැරදි දේශපාලන ක්‍රියාවලියන් තුලින් මතුවූ මිනිස් දුක් වේදනා ලේ හැලීම් සහ ජීවිත හානි විශ්ලේෂණය කරමින් ඔහු “ඩෑම් කොමියුනියුසම්” යන තේමාව ඔස්සේ පොතක් ලියනු ඇතැයි මම විශ්වාස කරමි.

 කාල් මාක්ස්  සිය පංති ස්ථරීකරණයේදී,  ධනේශ්වරය හැටියට හැඳුන්වුයේ සියළු  නිෂ්පාදන මාධ්‍ය සහ දේපල හිමි මධ්‍යම පංතියේ උරුම කරුවන් වූ අතර කම්කරු පන්තිය ලෙස පොදුවේ හැඳින්වුයේ ශ්‍රමය සැපයීමේ ධාරිතාව පමණක් දරන නිර්ධන සමාජ කොට්ඨාෂයයි. කාල් මාක්ස් සිය තර්කයන් ගොඩනැගුවේ  කර්මාන්තකරුවා සහ ධනපතියා විසින් කම්කරු පන්තිය විසින් බිහිකරන ශ්‍රම අතිරික්තය  තම ලාභය සඳහා උදුරා ගන්නා බව යන මතයේ පිහිටාය. ඒ අනුව සියළු සමාජ ප්‍රජාවන්ට පළමු කාර්මික විප්ලවය මෙහෙයවූ ධනේශ්වර ක්‍රමයෙන් ඔබ්බට කොමියුනිස්ට්වාදය හරහා වැඩි සමෘද්ධියක් අත්විඳිය හැකිය යන මතය කාල් මාක්ස් මතුකලේය.

කොමියුනිස්ට්වාදය සූරාකෑමේ ධනේශ්වර ක්‍රමයට විකල්ප දේශපාලන ක්‍රමයක් ලෙස වර්ධනය වූ අතර, එය දශක කිහිපයකට පෙර අවසන් හුස්ම හෙළුවේය. මෙම කඩාවැටීමට කාල් මාක්ස්ට දොස් පැවරිය යුතු නැත. මාක්ස් අද නැවත ඉපදුනොත්, ඇන්ගෝලාවේ සිට කාම්බෝජය දක්වා විප්ලවයේ නාමයෙන්, කොමියුනිස්ට් දේශපාලන මතවාදයන් පටලවා ගෙන ඒකාධිපතියන් විසින් සිදු කරන ලද වැරදි දේශපාලන ක්‍රියාවලියන් තුලින් මතුවූ මිනිස් දුක් වේදනා ලේ හැලීම් සහ ජීවිත හානි විශ්ලේෂණය කරමින් ඔහු “ඩෑම් කොමියුනියුසම්” යන තේමාව ඔස්සේ පොතක් ලියනු ඇතැයි මම විශ්වාස කරමි.

ලෝකවාසීන්ගේ පොදු සමෘද්ධිය සඳහායැයි මිත්‍යා නව-ලිබරල් ආර්ථික ආකෘතිය ගොඩනැගෙන්නේ ඔය ආකාරයෙනි.

කාර්මික විප්ලව යුගයේ සිට ආරම්භ වූ කාර්මික ධනවාදය ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙමින්, වර්තමානයේ මූල්‍යකරණ වාදයක් (Financialization) ඔස්සේ නව මුහුණුවරකින් ක්‍රියාත්මක  වෙමින් පවතී. මෙම ක්‍රියාදාමය රඳාපවතිනුයේ ණය මත දිවෙන කැසිනෝ සූදූ ධනවාදය බටහිර රටවල් වල ආර්ථිකයන්හි කාරක බලවේගය කරමිනි. මෙම අර්ථක්‍රම හැඩගැසී ඇත්තේ උග්‍ර පාරිබෝජන රටාවන් තුල ජනසමාජය කොටුකරවීමෙනි. මෙකී අර්ථක්‍රමය ගොඩ නැගෙන්නේ සමස්ත සමාජයේ අධි පාරිබෝජනය ඒම සමාජයන්හී, සමාජ ආර්ථිකය ඉබේම ප්‍රවර්ධනය වන මිත්‍යා උපකල්පනයේ පිහිටාය.

 දෙවන ලෝක සංග්‍රාමය අවසන්වී දශක ගණනාවක් තිස්සේ ලෝකවාසීන්ගේ පොදු සමෘද්ධිය සඳහා මිත්‍යා නව-ලිබරල් ආර්ථික ආකෘතිය ගොඩනැගෙන්නේ ඔය ආකාරයෙනි. ආර්ථික වර්ධනයේ නාමයෙන් පරිසරය සූරාකෑම සහ ස්වාභාවික සම්පත් ක්ෂය වීම, කෙටියෙන් කිවහොත්, ආර්ථික වටිනාකම වැඩි කිරීම සඳහා, ණය බරින් පෝශණය වූ අස්ථාවර මූල්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වූ අතර, සියලු සමාජ සාරධර්ම විනාශ කරමින්, අනාගතයේ මළ ග්‍රහ ලෝකයක් සියළුම ජීවීන්ට ඉතිරි කරන විනාශකාරී මාවතක් නිර්මාණය කර ඇත. වෙළඳපලේ ව්‍යාජ ආර්ථික වටිනාකම් සුළු පිරිසකට  ඒක් රැස් කරගැනීමට ඉඩසලසන බහුතරයකට හිමි සියළු සමාජ හර පද්ධතීන් සුණු විසුණු කර දමා ඇත.

දශක ගණනාවක අත්හදා බැලීම් සහ දෝෂ, උත්පාතයන් සහ බිඳවැටීම් වලින් පසුව දැන් පන්ති දෙකක් ඉතිරිව ඇත, ඉන් පළමු වැන්න වැඩ පමණක් කරන සියළු සමාජ ආරක්ෂාවලින් වියුක්ත, තැලෙන මිරිකෙන පංතිය (99%) සහ දෙවැන්න, ඔවුන් මත යැපෙන සහ වැජඹෙන 1% ක් වූ වරප්‍රසාදලත් පංතියයි. මෙම 1% කණ්ඩායම 2019 දී ශ්‍රී ලංකාවේ බහුතර ඡන්ද දායකයින් නොමග යවා බූරුවෙකු වුවත් විරුවෙක් කලහැකි බව කදිමට පෙන්වා දුන්හ.තැලෙන මිරිකෙන පංතියේ ඡන්ද බලය අවභාවිතයෙන් වරප්‍රසාදලාභීන්ට ඉසුරුත් බහුතරයකට වසුරුත් දැන් හිමිව ඇත.

පළමු කාර්මික විප්ලවයේ සිට විකාෂණය වූ ඉතිහාසය වර්තමානය සහ අනාගතය තීරණය කරයි

පළමු කාර්මික විප්ලවයේ සිට, බොහෝ ආර්ථිකයන්  ණය බර පොදිබැදගෙන ව්‍යාජ සංවර්ධන දර්ශකයින්ගෙන්  සැඳුම් ලත් සමෘද්ධියක් අත්පත් කරගෙන සිටී. යල් පැන ගිය දේශපාලන-පරිපාලන ව්‍යුහයන්,  කාර්ය සාධක සහ ඵලදායිතා මිනුම් දර්ශක මගින් ගණනය කරන උපයෝගීතා මත පිහිටා සමාජ ආර්ථිකයේ ව්‍යාජ සමෘද්ධිය (Fake Prosperity)  ප්‍රකාශකර සිටිමු.

මෙම තත්වය කොරෝනා වසංගතය ලෝකවාසීන්ට කදිමට ප්‍රත්‍යක්ෂ කලේය. අසීමිත ලාභ, විශ්මිත ආර්ථික වර්ධනයන් සියල්ලම ආශ්වාසයට අවැසි පිරිසිදු වාතයත් පිපාසය සංසිදවාගැනීමට අවශ්‍ය පිරිසිදු ජලය තරම් නොවටින සොබාදහමේ යතාර්තය අප තේරුම් ගෙන නැති බව මෙම ලියුම්කරුගේ මතයයි.

පළමු කාර්මික විප්ලවයේ කාරක බලවේගය වූ ප්‍රාග්ධණය (Capital) සහ වර්තමානයේ වේගයෙන් හුවමාරුවෙන -බෙලහීන-ණය (Debt) අතර ඇති වෙනස නිවැරදිව තක්සේරු නොගැනීම හේතුවෙන් රටවල් රාශියක් සිය ආර්ථිකයන් වැඩි පිරිසකට යහපතක් සිදුවන වර්ධන තත්වයකට ගෙන ඒමට අපොහොසත්ව සිටී. මෙහි අවසාන ප්‍රථිපලය වී ඇත්තේ, පෞද්ගලික ණය (Private Debt) දරාගත නොහැකි තරමට ප්‍රසාරණය වී, බැංකු පද්ධතිය අස්තාවර කරන පොදු බොල් ණය (Public Debt) බවට පෙරලී අවසානයේ ආර්ථික අවපාතයන් බිහිකරණ ස්වෛරීය ණය(Sovereign Debt) අර්බුද හැටියට ගොණුවී සමස්ත ආර්ථික ක්‍රියාවලියම අඩපණ කරවීමයි.

අවාසනාවකට බොහෝ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල, සියලු දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයින් ඉහත විස්තර කරඇති යතාර්ථය වටහා ගෙන නොමැත. ප්‍රතිපත්ථි සැළසුම් කරන්නන් සහ ආර්ථික විශේෂඥයින් මෙකී අභියෝගයන්ට සරිලන නැවුම් අදහස් වලින් බංකොලොත් වී ඇති තරම කෙසේද යන්න තේරුම් ගත හැක්කේ හුදු ජනප්‍ර්‍ර්‍රියත්වය පෙරටු කරගෙන පාලන බලය ලබාගත්තද, ඒම බලය රැකගනිමින් ජනතා අපේක්ෂාවන් ඉෂ්ඨ කරදීමට අපොහොසත්වීමය. ඔවුන්ගේ ඒකම විස්වාශය තවතවත් ණය වීම හැර මෙම විෂමධාමය බිදහෙලීමට ක්‍රමවේදයන් සොයාගැනීම නොවේ.

 තාක්ෂණික විප්ලවය විසින් මෙහෙයවනු ලබන මෙම යුගය තුල, අතීතයේ සාර්ථකත්වය අනාගතයේ සාර්ථකත්වයන් පුනරාවර්තනය කිරීමට යන්නේ නැත.  ඒ නිසා කම්කරු පන්තිය වේගයෙන් හැකිලෙන අතර තාක්ෂණික නිපුනතාවන් අත් කර ගැනීමට අපොහොසත් බහුතරයක් වැඩකට යොදා ගත නොහැකි පංතියක් බවට පත්වෙන බව, මහාචාර්ය යුවල් නෝවා හරාරි විසින් රචිත 21 වන සියවස සඳහා පාඩම් 21 ( 21 Lessons for the 21 Century – Yuval Noah Harari) යන ග්‍රන්තයේ පැහැදිලිව විස්තර කර ඇත. ඔහුගේ ඇගයීම් වලට අනුව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම වැඩකට නොමැති පංතිය (Useless Class) පැය විසිහතර පුරාම දිවෙන ගෝලීය වෙළඳපල තුල නිරතවන්නේ සියළු නිෂ්පාදන සහ පාරිභෝජනයන් කටයුතු වලට සක්‍රිය ලෙසට දායක වීමට අසමත්වීමත් සමගය. ණය වෙනවා හැර ඵලදායී ආර්ථික වටිනාකමක් උපයාගැනීමට ඔවුනට  ඇති ඉඩ ප්‍රස්තා සීමීතය. ඒබැවින් පළමු කාර්මික විප්ලවයේ සිදුවු කම්කරු පන්තියේ විප්ලවයන් කිසිවෙකුට නැවත ඇවිලවිය නොහැක.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වැඩිවෙන රැකියා විරහිත උපාධිදාරීන් වැඩකට නැති පංතියේ කොටස්කරුවන්ද

ඉහතින් මතුකර ඇති කරුනු සහ තර්කයන් අනුව දශක කිහිපයක් තුල සාර්ථකව ක්‍රියාත්මකවූ, තිස් වසරක් පමණ උගෙනීම, තිස් වසරක් පමණ ඒකම වෘත්තීයක නියැලී තවත් තිස් වසරක් පමණ විශ්‍රාම ගැනීමේ (30:30:30) රූපාන්තරය 21 වැනි සියවසට අදාලවන්නේ නැත. නව තාක්ෂණයේ පරිනාමයත් සමඟ අප සියළු දෙනාටම ජීවිත කාලය පුරාම ඉගෙනීමට සිදුවනවා මෙන්ම ජීවිත කාලය පුරාම විවිධ වෘත්තීන්වල නිරතවීමෙන් ආර්ථික ශක්තිය ස්වේච්ඡාවේන් ස්වොත්සහයෙන් ගොඩනඟා ගැනීමට සිදුවනවා ඇත.

දිවයිනේ රැකියා විරහිත උපාධිධාරීන් ගේ දිනෙන් දින වැඩිවන සංඛ්‍යාව, සිව්වැනි කාර්මික විප්ලවයේ යුගයේ දිගහැරෙන රැකියා අවස්ථාවන් දිනාගැනීමට අපොහොසත් වන හේතූන් ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් අවබෝධ කරගෙන සිටීද?  අවසාන වශයෙන්, ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්‍රමයේ නිපුණතා ගොඩනැගීමේ අඩුපාඩු වැඩකට නැති පන්තියට බලපාන ආකාරය බලධාරීන්ගේ අවධානයට ඉස්මතු කිරීමට අවශ්‍යය.

ශ්‍රී ලංකාවේ වටිනාම සම්පත මානව සම්පත බව මෙම ලියුම් කරුගේ විශ්වාසයයි.

ඔවුන් විවිධ දක්ෂතා වලින් පිරී ඇතිමුත් යුගයට සරිලන එක්ස් සාධක කුසලතා සහ නිපුණතා නොමැති බැවින් රැකියා වෙළඳපොලේ බිහිවෙන රැකියා අවස්ථා සමඟ ගැලපීමකට අපොහොසත් වෙති. නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ ලබාදෙන අධ්‍යාපනය අභිලාෂයන් දෙකක් මත පිහිටා ක්‍රියාත්මක වී ඇත. වර්තමානයේ සිදුවන්නේ නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ශක්තිමත් පෞද්ගලික උපකාරක පංති කර්මාන්තයක් දිවයිනේ ප්‍රචලිත වීමයි. විභාග සමත් කරවීමේ ඉලක්කයන් හඹායන අධ්‍යාපනයෙන් සිසුන්ගේ ජීවිතයන් සාර්ථක කරගැනීමේ නිපුණාතා වර්ධනයන් අඩාලවේ. බදුගෙවන්නන්ගේ දායකත්වයෙන් පවත්වාගෙන යන අධ්‍යාපනය දක්ෂ සහ අදක්ෂ සියළුදෙනාම ජීවිතයට හැඩගැසීම සඳහා සවිබලගැන්වීමේ මූලික ක්‍රමවේදයට යොදාගෙන වෘත්තීමය ශක්‍යතා වර්ධනයන්ට සහ යුගයේ අවශ්‍යතාවන්ට සරිලන නිපුණතා වර්ධනයට පෞද්ගලික අංශය සක්‍රියව දායක කරගත යුතුව ඇත. අප අසල්වැසි ඉන්දියාව සහ චීනය මෙම කටයුත්ත ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කර ඇති තත්වයන් අප පරිශීලනය කලයුතුවේ. ඔවුන් මෙම අභියෝගයන් සාර්ථකව ජයගෙන තිබුණද, වත්මන් ආර්ථික අවපාතයන් යම් අර්බුද මතුකරවීම නිසා ඒම රටවල් වල රැකියා අවස්තාවන් අවශ්‍ය ප්‍රමාණයට බිහිනොවේ.

ලිපිය අවසාන කරවීමට මහාචාර්ය යුවල් නෝවා හරාරි ගේ උපුටනයක් සටහන් කරමි , “විසි එක්වන ශතවර්ෂයේදී, අපට දැවැන්ත නව වැඩ නොකරන පන්තියක් නිර්මාණය වනු දැකිය හැකිය: කිසිදු ආර්ථික, දේශපාලන හෝ කලාත්මක වටිනාකමකින් තොර මිනිසුන්, සමාජයේ සමෘද්ධිය, බලය සහ මහිමය සඳහා කිසිවකට  සක්‍රියව දායක වීමට ඔවුන් අපොහොසත් වෙති.  ඒබැවින් මෙම ‘වැඩකට නැති පන්තිය’ රැකියා විරහිත වන්නේ- ඔවුනට ඵලදායී ලෙස නිරතවීමට සුදුසු රැකියා බිහිනොවන නිසාය.” This Useless Class will not be unemployed – it will be unemployable”

Archive

Latest news

Related news