Friday, May 3, 2024

මාධ්‍යම අධිවේගය සඳහා නැතිවූ දේපල හානි ඉල්ලන සත්‍යග්‍රහයට පොලිසියෙන් බාධා‍; පිරිසක් අත් අඩංඟුවට

මධ්‍යම අධිවේගයෙන් නිවාසවලට හානි වූ පවුල් 650ක සාමාජිකයක් එක්ව  උදේ 8.00 සිට අඛණ්ඩ සත්‍යග්‍රහය කඩා කප්පල්කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව අද දහවල් වාර්තා විය.

කුරුණෑගල ගැට්ටුවාන මධ්‍යම අධිවේගී පිවිසුම අසල පාලම යට මෙම සත්‍යග්‍රහය පනේ ගැනීමට පෙරම  පොලිසියේ විශාල පිරිසක් කැඳවා තිබූ බව වාර්තා වේ.

එම  සාමකාමී සත්‍යග්‍රහයට සහභාගී වී සිටි පස් දෙනෙක් අද සවස කුරුණෑගල මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ස්ථානයේ සිටි වින්දිත කාන්තාවක පොලිසිය සිටින දිසාව වීඩියෝ කරමින් සිටියදී ඇය සහ සෙසු පිරිම අත්අඩංගුවට ගත් බව සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීහු පැවසූහ.

අද උ⁣දෑසන මාර්ගයට හෝ පදිකයන්ට කිසිම බාධවක් නැතිව සත්‍යග්‍රහයට අට්ටාලයක් ගැසීමට යද්දී අදාල දේපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට සහ පොලිස් කොමිසමට අදාල වින්දිත පවුල් එකමුතුව වෙනුවේ කැඳවුම්කරු සංජීව කුලතිලක මහතා පැමිණිලි කළ අතර ඒ අනුව මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂවරයකු ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් තිබිණි.

ඔවුන් පිටවී ගොස් මද වේලාවකින් පොලිසිය පැමිණිලිකරු සංජීය කුලතිලක මහතා ඇතුළු මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.

සංජීව කුලතිලක මහතා යුක්තිය වෙනුවෙන් 2017 සිට දිගින් දිගටම සටන් කරන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකි. පොලිසිය මීට පෙර අවස්ථාවකද ඔහු අත්අඩංගුවට ගෙන මුදා හැර තිබිණි. කුරුණෑගල මූලස්ථාන පොලිසියේ මෙම මධ්‍යම අධිවේගී මාර්ග ගැටලුව ගැන ඇති පැමිණිලි 100කට වැඩි ප්‍රමාණයක් විභාග කිරීම පැහැර හැරීම ගැන සංජීව කුලතිලක මහතා මීට මාස කීපයකට පෙර මානව හිමිකම් කොමිසමට පැමිණිලිද කළේය.

 

මධ්‍යම අධිවේගී මාර්ග ඉදි කරද්දී නිවාස හානි වූ පවුල් 600කට ආසන්න පිරිසක සාමාජිකයන් අද ආරම්භ කිරීමට ගිය සත්‍යග්‍රහයේ අට්⁣ටාලය ඉදි කිරීමට බාධා කළ පොලිසිය අද උදෑසන ඊට යොදා ගැනීමට තිබූ භාණ්ඩ පොලිසිය වෙත රැගෙන ගියේය.

මෙම වින්දිතයන්ගේ පවුල් සාමාජිකයන් අද උදෑසන සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර වන්දි ලබාදීම ඇතුළු සහන ලබා දෙනතුරු අඛණ්ඩව සත්‍යග්‍රහය සිදු කිරීම⁣ට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් අද පෙරවරු අටට පමණ සත්‍යග්‍රහය ආරම්භ කිරීමට නියමිතව තිබුණද ඒ වන විටත් පොලිසියේ විශාල පිරිසක් එම ස්ථානය අවට යොදවා තිබිණි. උදෑසන අට්ටාලය සකස් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය කුඩා ලොරි රථයකින් ගෙනැවිත් තිබුණු අතර කුරුණෑගල ගැට්ටුවාන මධ්‍යම අධිවේගී පිවිසුමට නුදුරින් අැති පාලම යට මාර්ගයට බාධාවක් නොවන ලෙස මෙම අට්ටාලය ඉදිකිරීමට සැලසුම් කළ බව අදාල පවුල් එකතුවේ කැඳවුම්කරු සංජීව කුලතිලක මහතා අද දහවල් පැවසීය.

කෙසේ වෙතත් පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් පැමිණි පොලිසියේ පිරිසක් එම අට්ටාලය ඉදිකිරීමට ඉඩ දිය නොහැකි බව ප්‍රකාශ කළේය. අට්ටාලය ඉදිකරන්නේ මාර්ගයට හෝ පදිකයන්ට හෝ කිසිම බාධාවක් නොවෙන ලෙස බවත්, මෙම වින්දිතයන් මුහුණ දෙන ගැටලුවේ බරපතලකම ගැන සංජීව මහතා පැහැදිලි කළද පොලිසිය එය නොතකා භාණ්ඩ අත්අඩංගුවට ගෙන රැගෙන යනු ලැබීය.

අනතුරුව ප්‍රදේශවාසීහු අට්ටාලය වෙනුවට බිම වාඩිවී සත්‍යග්‍රහය ආරම්භ කළහ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ අවසන් කිලෝමීටර කිහිපයේ ඉදිකිරීම් කරද්දි දෙපස නිවාස 600කට ආසන්න ප්‍රමාණයකට හානි වී ඇතැයි කියමින් ප්‍රදේශවාසීහු ආයතන කිහිපයකට පැමිණිලි කළහ. එයින් කොටසකට වන්දි ලෙස ඉතා සුළු ප්‍රමාණයක් ලැබුණු බවත්, කොටසකට වන්දි ලබා දී නැති බවත් එම පැමිණිලිවල සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් 2019 සහ 2020 වසරවල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති අතර 2018 සිට මේ දක්වා පොලිසියට කර ඇති පැමිණිලි සංඛ්‍යාව සියයකට අධික වේ.

මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා මීට පෙර ප්‍රකාශ කර තිබුනේ මෙම වසර අවසන් වීමට පෙර විසඳුමක් ලබා දෙන බවයි.

තරිඳු ජයවර්ධන වට්ස්ඇප් හරහා බෙදා හරින ලද වාර්තාකිනි.

Archive

Latest news

Related news