Thursday, May 2, 2024

දේශබන්දු ඇතුළු පොලිස් වධකයින්ට එරෙහිව නඩු පවරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නීතිපතිවරයාට කියයි.

ඡායාරූපය: නිරුවත්කර එල්ලන ලද සැකකරුවන්ට  දේශබන්දු ත්‍රීවීල් පටියකින් පහර දුන්නේය.

සේ.පියවර්ධන විසිනි.

නීතිපතිවරයා වෙත ලිපියක් යවන මානව හිමිකම් කොමිෂන් සභාව 1994 වධහිංසා පනත යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වධහිංසා පැමිණ වීමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් වගකිව යුතු බවට තීරණය කරන ලද පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු පවරන ලෙස වහෙන් ඔරෝ බාසාවෙන් ඉල්ලා සිට තිබේ.

මෙම ලිපිය යවා ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති  L.T,B.දෙහිදෙණිය (ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු -විශ්‍රාමික) විසිනි.

එම ලිපියෙහි දේශබන්දු තෙන්නකෝන් අමානුෂික දස දරුණූ වධහිංසා සම්බන්ධයෙන් වරදකරු කරන ලද නඩු තීන්දුව පැහැදිලිවම දක්වා තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික බසකින් ලියා ඇති එම ලිපියෙහි සඳහන් වන්නේ එවැනි පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සලකා බැලීමට, මානව හිමිකම් කොමිසම නීතිපතිවරයා දිරි ගන්වන බවයි!

ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවට එවැනි වධකයින්ට එරෙහිව නඩු පැවරීමට දිරියක් නැති බව එම ලිපිය නොකියා කියන අදහසයි.

තිත්ත වුවත් ඇත්ත එයයි. වධක දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව ඇඟිල්ලක් හෝ ඔසවනු ඇතැයි සිතීම දුෂ්කරය.

එවැනි පොලිස් වධකයින්ට එරෙහිව නඩු පැවරීම වගවීම ප්‍රවර්ධනය කිරීමට, දණ්ඩ මුක්තියේ සංස්කෘතියකට එරෙහිව සටන් කිරීමට සහ අනාගතයේදී වධහිංසා පැමිණවීම වැළැක්වීම සඳහා ඉතා වැදගත් බව මානව හිමිකම් කොමිසම සිය ලිපියෙහි අවධාරණය කර තිබේ.

තවද පසුගිය වසරෙහි පළමු මාස හය තුළදී පමණක්  පොලිස් වධහිංසා පැමිණවීම් ගැන පැමිණිළි 200ක් ලැබුණූ බව ද මානව හිමිකම් කොමිසම එම ලිපියෙහි සඳහන් කර තිබේ.

එමෙන්ම පොලිස් අත්අඩංඟුවේදී  සිදු වූ මරණ හයක් ද අත්අඩංගුවේ සිටිය දී ආයුධ විවිධ හේතු මත බැහැරට ගොස් ගොස් “ගැටුම්” නිසා සිදු වූ මරණ දෙකක් ද තමන්ට වාර්තා වූ බව එය සඳහන් කරයි.

එම මරණ සිදුව ඇත්තේ රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ නොසලකා හැරීම සහ කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හේතුවෙන් බව මානව හිමිකම් කොමිසම සිය ලිපියේ සදහන් කර තිබේ.

විශේෂයෙන් එවැනි පුද්ගලයින්ගේ මරණ වධහිංසා පැමිණවීම් හේතුවෙන් සිදු වූ බවට සාක්ෂි තිබේ නම් දණ්ඩමුක්තියේ සංස්කෘතියකට එරෙහිව සටන් කිරීමට සහ වධහිංසා පැමිණවීම වැළැක්වීම සඳහා එවැනි නඩු පැවරීම ඉතා වැදගත් වන බවත් එම ලිපිය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය වධහිංසාවෙන් නිදහස් වීමේ මූලික අයිතිවාසිකම සහතික කර තිබේ. 1994 අංක 22 දරන කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම් පනතට එරෙහි සම්මුතිය යටතේ වධහිංසා පැමිණවීම පැහැදිලිවම තහනම් කර තිබේ

එසේ තිබියදීත් වධහිංසා පැමිණවීම ශ්‍රී ලංකාවේ පුනරාවර්තන සංසිද්ධියක් ලෙස දිගටම පවතින බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

එය මානව හිමිකම් කොමිසම කීමට තරම් දෙයක් නොවේ. මෙරට පොලිසිය තුල මුල් බැස ගෙන ඇති වධහිංසා පැමිණවීමේ දුරාචාරය නොදන්නා අයෙක් මෙරට නැත. නීතියට පිටින් කැරෙන ඝාතන, පොලිස් අත්අඩංඟවෙදී සිදු කරන මරණ එම වධහිංසා සංස්කෘතියේම කොටසකි.

නීතියක් රීතියක් නැතිව දේශබන්දු- ටිරන් අලස් එක්ව කර ගෙන යන මහා පරිමාණ අත්අඩංඟුවට ගැනීම් ගැන පැමිණිල්ලක් කිරීමට දෙසැම්බර් 27වන දින මානව හිමිකම් කොමිසම හමුවට ගිය නීතිඥ නාමල් රාජපක්ෂට ආපසු හරී යාමට සිදු වූ බවට ඔහු වීඩියෝ ප්‍රකාශයක් මගින් කියා සිටියේය.

ජනාධිපතිවරයාට ද පිටපත් කර ඇති එම ලිපියෙහි  ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිවෙළින් වධහිංසා පැමිණවීම සහ අත්අඩංගුවේ පසුවන මරණය සම්බන්ධයෙන් වැදගත් තීන්දු දෙකක් මෑතකදී ප්‍රකාශයට පත් කර ඇති බව  සටහන් කර තිබේ.

ඉන් එක් නඩුවක් වන්නේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සැකකරුවන් නිරුවත් කොට එපයින් එල්ලා පහර දී අනතුරුව ලිංගේන්ද්‍රයන්හි සිද්ධාලේප ගෑවු බවට තීරණය කල, වෙහෙරගෙදර රංජිත් සුමංගල  විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවය.

අනෙක් නඩු තීන්දුව වන්නේ 2008දී පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඉර්ෆාන් නමැති සැකකරුවෙකු විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේදී වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෂර්මිලා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්  තීන්දුවයි. 2023 පෙබරවාරි 05 වැනි දා එකී තීන්දුව දෙමින් අධිකරණය නිරීක්ෂණය කළේ ‘පොලිසිය යටතේ සිටින සැකකරුවන් මියයන අවස්ථා දුර්ලභ නොවන බවයි.

ඇතැම් පොලිස් නිලධාරීන්ගේ දරුණූ වධහිංසාවලට ගොදුරු වූවකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත් වත්තල ජෙරල්ඩ් පෙරේරා, ඔහුට වධහිංසා පැමිණවූවන්ට එරෙහිව වධහිංසා පනත යටතේ මහාධිකරණයේ නඩු විභාග වෙමින් තිබියදී  2004 නොවැම්බර් මාසයේදී  පොලිසිය විසින්ම ඝාතනය කිරීම ද එම ලිපියේ සඳහන් වේ.

ඔහු මරා දමන ලද්දේ බසයක ගමන් කරමින් සිටියදී පසුපස අසුනේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසිනි.  ඒ වධහිංසා තමාට පැමිණවීම පිළිබද ජෙරල්ඩ් පෙරේරා සාක්ෂි දීම වැලැක්වීමටය. එම පොලිස් නිලධාරීන් දෙදෙනාට මරණ දඩුවම ලබා දෙන ලදී.

එම සිදුවීම සඳහන් කරන මානව හිමිකම් කොමිසම වධහිංසා පනත යටතේ පරීක්ෂණ සුදුසු යැයි සලකන විට, සාක්ෂිකරුවන් බලපෑම් කිරීම සහ වෙනත් ආකාරයකින් සාක්ෂි වැළැක්වීම නතර කිරීම පිනිස සැකකාර  පොලිස් නිලධාරීන්ගේ සැකකරුවන්ගේ වැඩ තහනම් කිරීම ඉතා වැදගත් බව ද එය දක්වයි.

ඒ සම්බන්ධයෙන් අපරාධ සහ සාක්ෂිකරුවන්ට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත යටතේ සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බවටද එම ලිපිය නිර්දේශ කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විසින් දේශබන්දු ඇතුලු එම වධකයිනට එරෙහිව පියවර ගන්නා ලෙස පොලිස් කොමිසමට නිර්දේශ කර තිබේ. දැන පොලිස් කොමිසම කියන්නේ, වැඩ බලන  හෝ පොලිස්පතිවරයකුට එරෙහිව පියවර ගැනීමට තම කොමිසමට බලයක් නැති බවයි. එය බලන්නේ හැකිතරම් කල් ගැනීමටය.

Archive

Latest news

Related news