Thursday, May 2, 2024

ලාභ සඳහා මිනී මැරීම : කටු ඉඹුලේ සිටුවා පස් ගැසිය යුතු කෙහෙළිය ව්‍යාජ ප්‍රතිදේහ ජාවාරම

සුනන්ද දේශප්‍රිය විසිනි.

කෙහෙලිය රඹුක්වැල්ල දැන දැනම  රෝගීන් මරුමුවට යැවූවේද යන ප්‍රශ්ණය දැන් මෙරට අනෙක් දූෂනයන් මෙන්ම රතු පලස යට අතුරුදහන්වන බව පෙනෙන්නට තිබේ.

මෙරට සෞඛ්‍යය සේවය අන්ත පරිහානියට පත් වූයේ කෙහෙළිය රඹූක්වැල්ල යටතේය.සිය ගණනාවක් රෝහල් වැසී ගියේ ද ඔහු යටතේය.  රෝහල් හි ඹෟෂධ හිඟයට කල්පවත්නා විසඳුමක් ඉදිරිපත් කිරීමට ඔහු අසමත් විය.

මෙරට අන්ත දූෂිත දේශපාලන පංතියේ ඉහළම පෙළේ නියෝජිතයකු වන කෙහෛළිය රඹුක්වැල්ල යටතේ, ජනයා ජීවත් කරවීම අරමුණූ කර ගත් සෞඛ්‍යය   අමාත්‍යාංශය විසින් කරන ලද මහ පොළව නූසලනා අපරාධය මානව ප්‍රතිදේහ වංචාවයි . එය ජීවිතය සහ මරණය අතර සටනක යෙදී සිටින, රෝගීන් මරණය කරා ගෙන ගොස් ලාබ උපරිම කර ගැනීම පිනිස කරන ලද කටු ඉඹුලේ සිටුවා පස් ගැසිය යුතු අපරාධයකි.

කෙටියෙන් කෙහෙළියගේ අමාත්‍යාංශය රොගීන්ට දීමට මිලට ගත් (Human Immunoglobulins) මානව ප්‍රතිදේහ එන්නත්වල, ඉමියුනොග්ලොබියුලින්  නොහොත් ප්‍රතිදේහ තිබුණේම නැත.

75කට තරම් පෙර දී කාල් මාක්ස් සහ පෙඩ්රික් එංගලස් කල පුරෝකථනය

මෙරට  නින්දිත ජාවාරම්කරුවන් පිරිසක් සහ කෙහෙළියගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිතයින් එක්ව කරන ලද ඉමියුනොග්ලොබියුලින් වංචාව, ලාභ අපරිම කර ගැනීම පිනිස ධනවාදය මිනී මැරීමට පවා පසුබට නොවන බවට, මෙයට වසර 175කට තරම් පෙර දී කාල් මාක්ස් සහ පෙඩ්රික් එංගලස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනයෙහි කරන ලද පූරෝකථනය යලි සිහි ගන්වයි.

රෝගීන්ට ව්‍යාජ එන්තත් දී ලාභ ගරා ගැනීමට, සෞඛ්‍යය අමාත්‍යංශයේ ඉහළම නිලධාරීන් කළ වංචාව කෙහෙළීය රඹුක්වැල්ල දැන නොසිටියේ යැයි විශ්වාස කළ හැක්කේ කෙසේද?

ඉමියුනොග්ලොබියුලින් යනු මොනවාද? එහි කාරිය කුමක්ද?

ප්‍රතිදේහ අප ශරීරයේ ඕනෑම අවයවයක හෝ පටකයක පාහේ පවතින බව අපි පාසලේදී ඉගෙන ගමු.  ප්‍රෝටීන් අඩංගු පිදුරු පැහැති ද්‍රව්‍යයක් වන ප්ලාස්මා නම් රුධිර කොටසෙහි මෙම ප්‍රතිදේහ ඉහළ සාන්ද්‍රණයකින් දක්නට ලැබේ.

අප ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එක් එක් රෝග ඇති කරන කාරක සඳහා විශේෂිත වූ ප්‍රතිදේහ නිපදවයි. නව වෛරසයකට නිශ්චිත ප්‍රතිදේහ සෑදීමට ශරීරය ඉගෙන ගන්නා අතර ප්‍රතිදේහ දහස් ගණනාවක් ජීවිත කාලයක්   තුල නිපදවිය හැකිය.

අපගේ රුධිරයෙහි ඇති (Immunoglobulins)  ඉමියුනොග්ලොබියුලින්  මුලින් හඳුනා ගන්නා ලද්දේ “නිශ්ක්‍රීයකාරක ද්‍රව්‍යයක්” ලෙසය. මෙම ද්‍රව්‍යය “ගලපටල රෝගය” වැනි ආසාදනවලට ප්‍රතිරෝධය දැක්වීමට ඵලදායී බව සොයා ගන්නා ලද්දේ 1890 තරම් ඈතදී ය. ඒ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයින් දෙදෙනෙකු වූ එමිල් වොන් බෙරිං සහ කිටසාටෝ ෂිබසබුරෝ විසිනි.

ඉංග්‍රිසි බසින් Immunoglobulins (ඉමියුනොග්ලොබියුලින්) යනුවෙන් හැදින්වෙන්නේ ද antibodies නොහොත් ප්‍රතිදේහ යන ද්‍රව්‍යමය. එය රුධිර බී සෛල සහ ප්ලාස්මා සෛල ලෙස හඳුන්වන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ විශේෂිත සෛල මගින් සාදනු ලබන Y-හැඩැති ප්‍රෝටීන වර්ගයකි.

ඉමියුනොග්ලොබියුලින් අපගේ රුධිරයේ ඇති ප්‍රෝටීන් වලින් 20% ක් පමණ වේ. මෙම ග්ලයිකොප්‍රෝටීන ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවත්වා ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත ගලවා ගැනීමට පවා ඒවා සමත් වෙයි.

අප ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එක් එක් රෝග ඇති කරන කාරක සඳහා විශේෂිත වූ ප්‍රතිදේහ නිපදවයි. නව වෛරසයකට නිශ්චිත ප්‍රතිදේහ සෑදීමට ශරීරය ඉගෙන ගන්නා අතර ප්‍රතිදේහ දහස් ගණනාවක් ජීවිත කාලයක්   තුල නිපදවිය හැකිය.

කෙහෙළිය අමාත්‍යාංශයේ නින්දිත ක්‍රියාව

දැන් මෙම කෙ‍ෙහළිය යටතේ සිදු වූ වංචාවට අදාළ වන්නේ අභ්‍යන්තරව ශිරා හරහා එන්නතක් මගින් සිරුරට ලබා දිය හැකි මානව ප්‍රතිදේහ වලින් සෑදූ නිෂ්පාදනයකි.

කෙහෙළියගේ අමාත්‍යාංශය ගෙන්වා රෝගීන්ට එන්නත් කළ එම මානව ඉමියුනොග්ලොබියුලින් හි  ප්‍රතිදේහ තිබුනේම නැති බව රසායානාගාර පරීක්ෂන මගින් සනාථ වි තිබේ. මෙම මානව ඉමියුනොග්ලොබියුලින් නිශ්පාදනය කිරීමට රුධිර පරිත්‍යාගහීලීන්ගෙන් ලබා ගන්නා රුධිර කොටස් විශාල වශයෙන් අවශ්‍ය වේ.‍ෙ

කෙහෙළියගේ අමාත්‍යාංශය සීදූව පදනම් කරගත් Isolez Biotech Pharma AG නම් කුප්‍රකට සමාගමකට ලබා දුන්  කොන්ත්‍රාත්තුව  මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි 22,500 කි. ඒ සඳහා ගෙවන ලද  මුදල  ඇමරිකානු ඩොලර් 2,925,000කි. එනම් රුපියල් මිලියන 960 කට වඩා වැඩි මුදලකි.

සැළැස්ම වැරදුණ තැන

මිනීමරා ගසා කෑමේ කෙහෙළිය අමාත්‍යාංශයේ කූට සැලැස්ම වැරදුණේ  ඊනියා ඖෂධය එන්නත් කළ පසු රෝහල් කිහිපයක රෝගීන් තුළ අසාත්මිකතා ඇතුලු  අහිතකර ප්‍රතික්‍රියා ඇති  වූ නිසාය. මෙම අතුරු ආබාධ මුලින්ම වාර්තා කළේ වසරේ සැප්තැම්බර් 24 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතය.

සන්ඩේ ටයිම්ස් පුවත්පත මෙම වංචාවට අදාළව කරන ලද දිගින් දිගටම කරන ලද වාර්තාකරණයන් නොවන්නට මෙම ජාවාරම කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ තිබුණි.

කෙහෙළියගේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම කුප්‍රකට සමාගම වෙත වෙන වෙනම ඖෂධ හයක් සඳහා කොන්ත්‍රාත්තු ලබා දුන් බවද වාර්තා වේ. එලෙස ඇනවුම් කරන ලද   ඖෂධ හයෙන් හතරක් පිළිකා රෝගීන් සඳහාය.

මෙම ව්‍යාජ ඹෟෂධය නිසා පිළිකා රෝගියකු මිය ගියද එය සාමාන්‍ය මරණයක් ලෙස දක්වා ව්‍යාජ ඹෟෂධ ජාවාරම දිගටම කර ගෙන යාම, සෞඛ්‍යය බලධාරින්ගේ අරමුණ වන්නට ඇත. මන්ද යත් පිළිකා රෝගය මාරාන්තික බැවිනි. මෙම දුෂ්ඨ ජාවාරම සඳහා පිළිකා රෝගීන්ම ඉල්ලක්ක කර ගන්නා ලද්දේ එනිසා විය හැකිය.

බොරු ලේබල් මුද්‍රණය කර ඇලෙව්වේ කව්ද?

ව්‍යාජ මානව ඉමියුනොග්ලොබියුලින් ඇසුරුම්වල සෞඛ්‍යය අමාත්‍යාංශ බලධාරීන් සහ  සහ ජාවාරම්කරුවන් එක්ව  ‘Livealth Bio pharma [sic] (PVT) Ltd’  නම් ඉන්දීය සමාගමක නමක් ඇලවූහ. එසේ වුවත් එම  ඉන්දීය සමාගම එම එන්නත තමන්ගේ නොවන බව පසුගිය ඔක්තෝම්බරය තරම් ඈත දී තහවුරු කර තිබුණි.

සමහර විට එම ඉන්දීය සමාගමේ නම අලවන්නට ඇත්තේ ගෙවීම් සඳහා ඉන්දීය ණය යොදා ගැනීමට විය හැක. සෞඛ්‍යය අමාත්‍යාංශයේ  නිල ලේඛන වල සඳහන් කර තිබුණේ ගෙවීම් කරන ලද්දේ ඉන්දීය ණය මාර්ගය අනුව බවයි. නමුත් එයද වංචාවකි. කෙසේ වෙතත් කොතැනකින් හෝ මෙම ව්‍යාජ ඹෟෂධය සඳහා කෙහෙළියගේ සෙඛ්‍යය අමාත්‍යාංශය මුදල් ගෙවා තිබේ.

මෙම ව්‍යාජ ලේබල් මුද්‍රණය කර එම එන්නත් වල අලවන ලද්දේ කවරකු විසින්ද යන්නට කෙහෙළිය රඹුක්වැල්ල පිළිතුරු දිය යුතුය.

වංචා පිට වංචා – ඇමති බුදිද?

එපමණක් නොවේ. Isolez Biotech Pharma AG (Private) Limited නැමැති දේශීය සැපයුම්කරු රේගු නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කරන ලද්දේ ද ව්‍යාජ ලේඛනයන්ය. තවද එම සමාගම මෙවැනිම ව්‍යාජ ලියවිල්ලක් යොදා ගනිමින් පිළිකා රෝගීන්ට ලබාදෙන Rituximab එන්නත තොගයක් ආනයනය කර ඇති බවද වාර්තා වී තිබේ. ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කර ඇති මුවාවෙන් ව්‍යාජ ලියාපදිංචිය ලේඛනයක් ඉදිරිපත් කර තිබේ.

මේසා විශාල වංචා රැසක් සිදුවන අතරවාරයේ අදාළ ඇමැතිවරයා සිටියේ කොහිද?

මෙම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රජයේ නිලධාරීන් අතර අමාත්‍යාංශයේ එවකට සිටි ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ( ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගිණුම් නිලධාරියා ද වේ), වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර MSD අධ්‍යක්ෂ ශාන්ති සොලමන්, MSD හි ගණකාධිකාරී (සැපයුම්) නිරාන් ධනංජය සහ MSD හි ඖෂධවේදී සුජිත් කුමාර වේ.

මහ මොළකරු නිදැල්ලේ

ඉහළම පෙලේ පිරිසකි. නමුත් අමාත්‍යාංශයේ මහ මොළකරුවන කෙහෙළියගෙන් අඩුම වශයෙන් ප්‍රශ්න කිරීමක්වත් කර නැත. දන්ඩ මුක්තිය මෙරට ඇති මහම වින්නැහිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ මෙන්න මේ නිසාය. දේශපාලන පංතියට සහ ජාවාරම්කාර පංතියට මෙරට ඕනෑම භීෂණයක් දූෂණයක් කර දඩුවම් නොලබා සිටිය හැකිය.

මෙම මිනීමරු වංචාවේ එක් මහ මොළකරුවකු ලෙස සැළකෙන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වූ චන්ද්‍රගුප්ත මහින්ද රාජපක්ෂ අතින් සෞඛ්‍ය ලේකම්වරයා ලෙස 2022 මැයි 24 වැනිදා පත්වීම ලබා තිබුණි. දේශපාලනඥයින් අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස බොහෝ විට පත් කරන්නේ තමන්ගේ හිතවතුන්ය.

කෙහෙළිය ගස් යන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු

මෑත කාලයෙහි මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු දෙකකදීම, දේශපාලනඥයින් ඔවුන් යටතේ සිටින  නිලධාරීන් ගේ කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතු බව අවධාරණය කර තිබේ. එම තීන්දු දෙක නම් සිරිසේන- හේමසිරි ඇතුලු පිරිස පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ද රාජපක්ෂ තුන් බැයන් ඇතුලු පිරිස ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ද වරදකරුවන් කළ  ඉතිහාසගත තීන්දුය.

සැකකරුවන්ට  පහර දී  ලිංගේන්ද්‍රයන්හි සිද්ධාලේප ආලේප කරවූ දේශබන්දු තෙන්නකොන් වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද එම නියමය යළි තහවුරු කළේය.

ඒ අනුව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට මෙම සාහසික අපරාධයෙන් ගැලවීමට කිසිසේත්ම නොහැකිය. දැනටමත් අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ජාවාරම රඹුක්වැල්ල දැන සිටි බවයි.

සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ දූෂිත කටයුතු සම්බන්ධයෙන් වගකීමක් ගත නොහැකි නම් ඒ ඇමැතිවරයා කළ යුත්තේ කවරකු හෝ විසින් තල්ලු කිරීමට පෙර තමන්ම  බෙරේ වැවට පැන නා ගැනීමය!

පසු සටහන: ලංකා ඊ නිව්ස් වාර්තාවකට අනුව කෙහෙළියගේ බාල ඖෂධ ජාවාරම නිසා 7 ක් අකාලයේ මරු දැක, 10 දෙනෙකුගේ දෑස් අන්ධ වී තිබේ.

Archive

Latest news

Related news