Thursday, May 2, 2024

ටිරන් අලස්ගේ දේශබන්දු නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙයි!

දේශබන්දු පොලිස්පතිවීමට විරුද්ධ වන්නේ කුඩු ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් යැයි පොලිස් ඇමැති ටිරන් අලස් කළ ප්‍රකාශය දැන් ඔහුගේ රෙද්ද පල්ලෙන් බේරෙන්නට පටන් ගෙන තිබේ.

ඒ දේශබන්දු වෙනුවෙන් පමණක් නොව  ටිරන් අලස් වෙනුවෙන් ද එවැනි නීතිඥයින් පෙනී ඇති සිටි නිසාය.

ටිරන් අලස් මෙසේ කීවේය: ‘දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති කරන්න මම කියන වෙලාවේ ඒකට විරුද්ධ වෙච්ච නීතිඥවරු තමයි පස්සේ බලනකොට මිලියන බිලියන ගණන්වලින් සල්ලි අරගෙන කුඩු ජාලයේ ඔක්කොම වෙනුවෙන් පෙනී සිටින්නේ. මං මෙතන නම් කියන්න කැමති නෑ. සමාජ මාධ්‍ය ජාලවල ප්‍රෙස් තියන ලොකු ලෝයර්ස්ලා ඉන්නේ. ඒ ලෝයර්ස්ලා තමයි ඇපීල් කෝර්ට් එකේ, කොටුව උසාවියෙ එන්නේ අර කුඩුකාරයො වෙනුවෙන්. එතකොට තේරෙනවා මොකක්ද මේකෙ පිටිපස්සේ තියන කතාව කියලා. අපිව මේකෙන් අයින් කර ගන්න ඕන කුඩුකාරයන්ටයි පාතාලයන්ටයි.‘
කුඩු ජාවාරම නිසා සිර ගතවූ  පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියකු වන නලින් ලද්දුවහෙට්ටි  ටිරන් අලස්ගේ වීරයා බවට පත්ව සිටින දේශබන්දු වෙනුවෙන් 2022 තරම් මෑතදී පෙනී සිට තිබේ.
එසේම මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ සලිඳු මල්ෂික ගුණරත්න නම් සැකකරුගේ ජීවිතය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔහුගේ මව අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුකරයට ද පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වූයේ දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නලීන් ලද්දුවහෙට්ටිය.
ගාලුමුවදොර පැවැති ගෝඨාගෝගමට පසුගිය වසරේ මැයි 09 වැනිදා පහරදීම ගැන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති පැමිණිල්ලට අදාලව දේශබන්දු තෙන්නකොන්  වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ඊට පෙර හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයෙකි.

එපමණක් නොවේ. එවැනි නීතිවේදීන් මේ ටිරන් අලස් වෙනුවෙන් ද පෙනී සිට තිබේ.

එල්ටීටිඊයට මුදල් දීම සම්බන්ධයෙන් ටිරාන් අලස්ට එරෙහි  රාඩා නඩුවේදී ටිරාන් අලස් මහතා වෙනුවෙන් කොළඹ මහාධිකරණයේ පෙනී සිටියේ ද ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටිය.
නීතිවේදීන් සම්බන්ධයෙන් ටිරන් අලස් කළ එම සාහසික ප්‍රකාශය මෙරට නීතිඥ ප්‍රජාවගේ උගු විවෙචනයට ලක්ව තිබේ.
ටිරන් අලස් ගේ මෙම ප්‍රකාශය තව දුරට ගෙන යන්නේ නම් ත්‍රස්තවාදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට ත්‍රස්ත විරෝදී පනතට විරුද්ධ විය නොහැකිය. කවර හෝ මාධ්‍යට සම්බන්ධ චෝදනාවක් යටතේ සිටින ජනමාධ්‍යවේදියකු හෝ ජනමාධ්‍යවෙදිනියක වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකුට මාර්ග ගත ආරක්ෂන පනතට විරුද්ධ විය නොහැකිය!
ටිරන් අලස් ගේ ප්‍රකාශය යුද සමයෙහි දෙමළ ජාතික සැකකරුවන්  වෙනුවෙන් පෙනී සිටි මානව හිමිකම් නීතිඥයිනට එරෙහිය ගෝඨාභය රාජපක්ෂ යටතේ ආරක්ෂක අමාතයාංශය ගෙන ගිය විසකුරු ප්‍රචාරක ව්‍යාපාරය වෙනත් නමකින් කරගෙගන යෑමකි.

එස්. වඩුගේ වසිනි.

(මිඩියා ඩොට් එල්කේ වෙබ් අඩවියේ පලකරන ලද  තොරතුරුද ඇසුරිණි)

 

 

Archive

Latest news

Related news