Thursday, May 2, 2024

අල්ලස් කොමිසමට පැමිණිල්ලක්: ක්‍රිශ් සමාගමේ නඩුව බැලවූ රවි විද්‍යාලංකාර එම සමාගමේම අධ්‍යක්ෂ කෙනෙක් වූ හැටි

ඡායාරූපය: ක්‍රිෂ් සමාගමට අදාල නඩුව තාක්ෂණික හේතුමත යැයි කියා අල්ලස් හෝ විමර්ශන සභාවෙන් ඉල්ලා අස්කර ගත්තේය. නාමල් රාජපක්ෂ නිදහස් විය.

ඉන්දීය ක්‍රිෂ් සමාගමට කොළඹ නගරය තුළ ඉඩම් විකිණීම සඳහා රුපියල් මිලියන 70වක අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ලක් විභාගවන අතරතුර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු ප්‍රධානී රවී විද්‍යාලංකාර කර තිබූ බරපතල වංචාවක් පිළිබඳ තොරතුරු දූෂණ විරෝධී හඬ සංවිධානයෙන් හෙළිකරණ ලද් දේ පසුගිය නොවැම්බර් 19 දාය.

මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ අදාළ තොරතුරු හෙළි කරනු ලැබීය.

දූෂණ විරෝධී හඩ සංවිධානය 2015 දෙසැම්බර් මස 26 වැනිදා දූක්‍රිෂ් සමාගමට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි.  ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසයට කර තිබූ පැමිණිල්ලක් අනුව එය විභාග කරමින් අධිකරණයට බී වාර්තා ඉදිරිපත් කර නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබිණි. විත්තියේ නීතීඥයන් විසින් නාමල් රාජපක්ෂට ඇප ලබාදෙන ලෙස ඉල්ලා තිබුණද මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අංක 07 විමර්ශන ඒකකය ඇප ලබාදීමට විරෝධය පල කළෙය. මේ පිළිබඳව 2016 ජූලි 07 වන දින අංක B196/2016 යටතේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අංක 07 විමර්ශන ඒකකයෙන් කරුණු ඉදිරිපත් කර තිබිණි.

එම අවස්ථාවාහි දී ක්‍රිෂ් සමාගම විසින් එවකට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී වූ රවී විද්‍යාලංකාරගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින් එම සමාගම අදාල අධිකරණ ක්‍රියාමාර්ගයට සම්බන්ධ නැති බවට ප්‍රකාශකයක් ලබා දෙන්නැයි ඉල්ලා ඇත. එදිනම රවී විද්‍යාලංකාරද ක්‍රිෂ් සමාගමට අවශ්‍ය ලිපිය ලබා දී තිබේ.

ඉන් පසුව ආණ්ඩුව පෙරලියෙන් පසුව 2022 දෙසැම්බර් මාසයේදී ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට රවී විද්‍යාලංකාරව ඇතුල් කර ගෙන තිබේ.

මේ අතර  ක්‍රිෂ් සමාගමට අදාල නඩුව තාක්ෂණික හේතුමත යැයි කියා අල්ලස් හෝ විමර්ශන සභාවෙන් ඉල්ලා අස්කර ගත්තේය. නාමල් රාජපක්ෂ නිදහස් විය. අල්ලස් කොමිසම රාජපක්ෂවරුන්ට සහ රාජපක්ෂවාදීන්ට සම්බන්ධ නඩු එලෙස තාක්ෂනික හේතූන් මත යැයි ඉල්ලා අස්කර ගත්තේ දුසිම් ගණනිනි. එහි එක් කොමසාරිස්වරියන් වන්නේ ගෙදර යන ගමන් මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රෙෂඨාධීකරණයට පත් කරන ලද නෝනා කෙනෙකි.

ඉන්දීය ක්‍රිස් සමාගමේ හිමිකරු වන අමිත් කත්‍යාල් දූෂණ චෝදනා මත ඉන්දීය අධිකරණයක් විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් එහෙත් ලංකාවේ ක්‍රීෂ් ගණුදෙනුවේ මූල්‍ය වංචා පිළිබඳව නැවත කිසිදු අධිකරණමය ක්‍රියාමාර්ගයක් නීතිපති දෙපාර්තමේන්තුව මේ දක්වා ගෙන නැති බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පසුගිය 19වන දින කියා සිටියේය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර ක්‍රිෂ් සමාගමෙන් අල්ලස් ලබා ගෙන ඇති බව සඳහන් කරමින්, ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ දෙසැම්බර් 20 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුවය.

ඊට අදාළ ලිපි ලේඛන සහිතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර අල්ලස් පනතේ විධිවිධාන යටතට ගැනෙන විෂමාචාරයන් සිදුකර ඇති බවත් එහි දැක්වේ.

එම විශමාචාරය නම්  ක්‍රිශ් සමාගම පිලිපද අධිකරණ කටයුතු සිදු කරමින් තිබියදී එවකට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියාව කටයුතු කළ රවි වෛද්‍යලංකාර නියෝජ්‍ය පොලිස්පති තම කොට්ඨාසය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් පුද්ගලික සමාගමට අදාළව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය නොකරන බවත් එකී පුද්ගලික සමාගම වරදක් හෝ වංචානික ක්‍රියාවක් සිදුකර ඇති බව හෙළිවී නොමැති බවත් 2016 ජුලි 12 වැනිදා ලිපියක් දන්වා සිටීමය.

අදාළ සමාගම වරදක් කර නොමැති බව ඔහු පවසා ඇත්තේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඒකක 07 ස්ථානාධිපති ක්‍රිස් සමාගමේ පරිගණක යන්ත්‍ර පරීක්ෂණයට භාජන කළ යුතු බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබියදී බවද එම පැමිණිල්ලේ දැක්වේ.

අධිකරණ කටයුතු සිදුවෙමින් පවතින අවස්ථාවක රවී වෛද්‍යලංකාර එම සමාගම චෝදනාවලින් නිදොස් කොට ලිපියක් නිකුත් කරනුයේ අදාළ සමාගමෙන් අල්ලස් ලබා ගැනීම මත බව වසන්ත සමරසිංහ සිය පැමිණිල්ලෙන් සඳහන් කරයි.

එලෙස ලිපි යොමු කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 28 වැනිදා ක්‍රිෂ් සමාගමේ නව අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීම් ලැබ ඇති බවත් එම පත්වීම ඔහු සහ සමාගම අතර පවතින සම්බන්ධතාවන්හි ප්‍රතිඵල බවත් මෙම පැමිණිල්ලෙන් වැඩිදුරටත් දක්වා ඇත.

එබැවින් මෙම වංචනික ක්‍රියාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සිය පැමිණිල්ලෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.

ලංකා ට්රුත් වාර්තා ඇසුරිණි.

Archive

Latest news

Related news