Friday, June 21, 2024

2017 සිට කොමිෂන් පිට කොමිෂන් හරහා යලට මහට එන යන “සත්‍ය කොමිසම”

ශ්‍රී ලංකාවේ සිටින විවිධ ජන කොට්ඨාස අතර, විශේෂයෙන්ම සිංහල, බෞද්ධ හා දෙමළ ජාතීන් අතර සංහිඳියාවට අදාළ ප්‍රධාන සිද්ධි දෙකක් පසුගිය සතියේ වාර්තා විය.

ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරා සංවිධාන අතරින් ප්‍රධාන සංවිධානයක් වන ගෝලීය දෙමළ සංසදය හා මෙරට ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් සංහිඳියාව හා ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් සකස් කරන ලද ලියවිල්ලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාට හා මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන්ට භාරදීම ඉන් එක් සිද්ධියකි.

හිමාලය කඳුවැටිය පාමුල නේපාලයේ දී සාකච්ඡා කොට සකස් කරන ලද හෙයින් ‘හිමාල ප්‍රකාශනය’ යනුවෙන් නම් කරනු ලැබු මෙම ලියවිල්ල එදිනම (දෙසැම්බර් 8 වැනිදා) මහනුවර දී ජනමාධ්‍ය හමුවක දී ප්‍රසිද්ධියට පත් කිරීම ද සිදු විය.

ජනවාර්ගික ගැටුමට අදාළ අතීත සිදුවීම්වල සත්‍ය සෙවීම සඳහා වූ කොමිසමක් පත් කරන්නට රජය කටයුතු කරමින් සිටින බව එදිනම ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කිරීම අප සඳහන් කළ දෙවැනි සිද්ධියයි. ‘‘සංක්‍රාන්ති සාධාරණත්වය හා පශ්චාත් ගැටුම් කාලයේ සංහිඳියාව වෙතට යොමු වූ පියවරක් වශයෙන් සත්‍යය, එක්සත් බව හා සංහිඳියාව සඳහා ස්වාධීන කොමිසමක් පිහිටුවීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කොට ඇතැ’’යි එම නිවේදනයේ සඳහන් වේ.

හිමාල ප්‍රකාශය සහ රනිල්ගේ කොමිසම සම්බන්ධ ද ?

මෙම සිදුවීම් දෙක, එනම් එකම දින දෙමළ ඩයස් පෝරාවේ ප්‍රමුඛව සංවිධානයක්, ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග ‘‘හිමාල  ප්‍රකාශනය’’ ජනාධිපතිවරයාට හා මහානායක හිමිවරුන්ට පිළිගැන්වීම සහ සත්‍ය කොමිසමක් පිළිබඳව ජනාධිපති මාධ්‍ය  ඒකකය නිවේදනය කිරීම අතර පූර්ව සම්බන්ධයක් තිබුණේද? නැද්ද? යන්න පැහැදිලි නැත.

හිමාල ප්‍රකාශනය වැඩකට නැහැ!

ජනාධිපතිවරයා හා ගෝලීය දෙමළ සංසදය අතර හමුව මතුපිටින් විශාල වැදගත් කමක් ඇති සිද්ධියක් සේ පෙනුණද, එම සංසදය හා භික්ෂූන් වහන්සේලා පිරිස ජනාධිපතිවරයාට භාරදුන් හිමාල ප්‍රකාශනයේ සඳහන් සය වැදෑරුම් යෝජනා අතිශයින්ම සාමාන්‍යකරණය කරන ලද වගන්ති වන හෙයින් ද එම හමුවෙන් පසු ගන්නා ඉදිරි පියවර කිසිවක් ගැන කිසිදු සඳහනක් නැති නිසාද එම හමුවීමේ වැදගත්කම හුදු සංකේතාත්මක හා  නොසලකා හැරිය හැකි එකක් බව පෙනේ.

එසේම එම ලියවිල්ල හෝ මෙම හමුව මෙරට හා විදේශගත ශ්‍රී ලාංකික දෙමළ පක්ෂ හා කණ්ඩායම්වල පිළිගැනීමට ලක් වූයේ ද නැත. ගෝලීය දෙමළ සංසදය යන විදේශගත ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව තුළ සිටින ඉතාමත් කුඩා කණ්ඩායමක් බවත් ඔවුනට සමස්ත විදේශගත දෙමළ ප්‍රජාවම නියෝජනය කරන්නට අයිතියක් නැති බවත් විදේශගත දෙමළ කණ්ඩායම් ගණනාවක් පවසා තිබිණි.

මෙරට දෙමළ පක්ෂ හා කණ්ඩායම් හෝ දෙමළ ජනමාධ්‍ය එම හමුව එතරම් වැදගත් කොට සැලකුවේ නැත. ඔවුන් ද මෙරට ප්‍රධාන දෙමළ දේශපාලන කණ්ඩායම් නොසලකා හැරීම ගැන චෝනා කොට තිබිණි. එහෙයින් මෙම හමුව ද තවත් එක් සිද්ධියක් ලෙස සුළු කලෙකින්ම යටපත් වී යාමේ සම්භාවිතාව වැඩිය.

අසුබවාදී දැක්මකින්

කෙසේ වෙතත්. ආණ්ඩුව ජාතික සමගියට අහිතකර අයුරින් බලපෑ අතීත සිද්ධි පිළිබඳ සත්‍යය ගැඹුරු වගකීමේ හැඟීමකින් යුතුව සොයා බැලීමට කැප වන්නේ නම් එය අගය කළ යුතුය. එහෙත් සංහිඳියාව සම්බන්ධයෙන් වූ විවිධ ආණ්ඩුවල අතීත ක්‍රියාමාර්ග හා විශේෂයෙන්ම සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් සඳහා වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම් අනුව පසුගිය සතියේ සිදුවීම් දෙස ද අසුබවාදී ඇසකින් බලන්නට සිදුවී තිබේ.

‘‘ සංහිඳියාව, ප්‍රතිකර්මය හා කල්පවත්නා සාමයට දායක වෙමින්, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ පශ්චාත් ගැටුම් කාල දුක් ගැනවිලි පිළිබඳ සත්‍යය සොයා ගැනීම මෙම ක්‍රියාවලියේ අරමුණයි. අතීත ගැටුම්වල බලපෑමෙන්  සුවපත් වීම සඳහා සෑම පුද්ගලයකුටම හා සෑම ප්‍රජාවකටම වැදගත් වන සත්‍යය සොයා තහවුරු කර ගැනීමට සෑම ශ්‍රී ලාංකිකයකුට ඇති අහිමි කළ නොහැකි අයිතිය යෝජිත කොමිසම පිළි ගනී’’ යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ සඳහන් වේ.

කොමිසම සොයන්නේ ‘‘පශ්චාත් ගැටුම් කාල දුක්ගැනවිලි’’ පිළිබඳව ද?

මෙහිදී මතුවන ප්‍රශ්නය නම් මෙම කොමිසම සොයන්නට යන්නේ නිවේදනයේ සඳහන් පරිදි ‘‘පශ්චාත් ගැටුම් කාල දුක්ගැනවිලි’’ පිළිබඳව ද යන්නයි. එසේම පශ්චාත් ගැටුම් කාල දුක්ගැනවිලි පිළිබඳව සත්‍ය සොයා ‘‘අතීත ගැටුම්වල බලපෑමෙන් සුවපත්’’ වන්නේ කෙසේද යන්නයි. එසේ නොවේ නම් පශ්චාත් ගැටුම් කාල දුක්ගැනවිලි යන්නේ අදහස් කෙරෙන්නේ  ගැටුම් පැවැති කාලයේ සිදුවූ සිදුවීම් නිසා  එම කාලයෙන් පසු නැඟෙන දුක් ගැනවිලිද යන්න මෙහිදී මතුවන තවත් ප්‍රශ්නයකි.

‘‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ඇතුළු  අතීත කොමිෂන් සභාවල නිර්දේශ යළි විමසා  බලන්නටත්, සලකා බලන්නටත් ක්‍රියාත්මක කිරීම පහසු  කිරීමටත් කොමිසම අපේක්ෂා කරයි.’’යනුවෙන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 ජනවාරි මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  එ්.එච්.එම්.ඩී. නවාස් මහතාගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත් කළේද මේ අරමුණෙනි. එම කොමිසමේ  අවසාන වාර්තාවේ නිර්දේශවල සාරාංශයක් මේ වසරේ පෙබරවාරි 6 වැනිදා නවාස්  මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙනු ලැබීය.

නවාස් කොමිසමත් හමස් පෙට්ටියට

මෙය අපූරු තත්ත්වයකි. සංහිඳියාවට අදාළව අතීතයේ දී එකකට පසු එකක් වශයෙන් කොමිෂන්  සභා ගණනාවක්  පත් කෙරිණි. ඒවායේ වාර්තා හමස් පෙට්ටියට වැටිණි. එම කොමිෂන් සභා වාර්තා සලකා බලා සංහිඳියාවට අදාළ නිර්දේශ ඉදිරිපත් කරන්නට නවාස් කොමිසම පත් කෙරිණි. දැන් ඒ කොමිසමේ රාජකාරියම කරන්නට ආණ්ඩුව තවත් කොමිසමක් පත් කරන්නට යයි. ඉන් අදහස් කෙරෙන්නේ නවාස් කොමිසමේ වාර්තාවක් හමස් පෙට්ටියට වැටුණු බවද?

ශ්‍රී ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් සත්‍ය සෙවීමේ කොමිසමක් පත්  කරන්නට ගන්නා පළමු උත්සාහය වත්මන් උත්සාහය නොවේ. මීට කලින් කිහිප වතාවක්ම මේ සඳහා පියවර ගෙන අනෙකුත් බොහෝ කොමිෂන් සභාමෙන් අත්හැර දමනු ලැබ  අමතක කරනු ලැබිණි.

2015 පටන් කතාව දෝලාවෙන්

‘‘යහපාලන’’ ආණ්ඩුව පැවැති  කාලයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ 2015දී මුලින්ම මෙවැනි උත්සාහයක් ගනු ලැබීය. එම වසරේ සැප්තැම්බර් 14 වැනිදා එ.ජා. මානව හිමිකිම් කවුන්සිලයේ රැස්වීමක දී එවක විදේශ ඇමැති වූ මංගල සමරවීර මහතා ප්‍රකාශයක් කරමින් සත්‍යය හා සංහිඳියා කොමිසමක් පත් කරන්නට රජය පියවර ගෙන ඇති බව පැවසීය.

2017පෙබරවාරි 28 වැනිදාද මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි නිත්‍ය සැසිවාරය අමතමින් ඒ මහතා පැවසුවේ ඉදිරි මාස දෙක තුළ සත්‍යය සෙවීමේ කොමිසමක් සඳහා වූ නීතිමය කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවය. එහෙත් මාස දෙකකින්  නොව මාස විස්සකට පමණ පසු 2018 ඔක්තෝබර් 16 වැනිදා සත්‍යය සෙවීමේ කොමිසමක් පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් (නීතිමය කෙටුම්පතක් නොවේ) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. මෙරට  පුරවැසියන්ට අතීත සිවිල් දේශපාලන  හා සන්නද්ධ ගැටුම්වල දී ඇති වූ පීඩා පිළිබඳව යෝජිත කොමිසමට කරුණු  ඉදිරිපත් කරන්නට අධීක්ෂණ කමිටුවක් පත් කරන බව එම සංකල්ප පත්‍රිකාවේ සඳහන් විය.

රනිල්ගේ කොමිසම

එහෙත් ඉන්පසු ද වසර හතරකට වැඩි කාලයක් ඒ පිළිබඳව කිසිවක් සිදු නොවීය. ආණ්ඩුව ප්‍රශ්නය යළි අතට ගත්තේ මේ වසරේ ජනවාරි මාසයේය. ඒ මාසයේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකාරක සභාව විසින් යෝජනා කරන ලද සත්‍යය සහ සංහිඳියාව සඳහා වූ යාන්ත්‍රණයක් පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කෙරිණි. 2018 දී මෙවැනි සංකල්ප පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේ ද වික්‍රමසිංහ මහතා යටතේය.

ඉන්පසු ඉකුත් පෙබරවාරි මාසයේ දී ජනාධිපතිවරයාට භාර දෙන ලද නවාස් කොමිසමේ වාර්තාවේ නිර්දේශවල සාරාංශයේ ද සත්‍යය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමක් ගැන සඳහන් විය.

මෙසේ මේ කාරණය සඳහා කැබිනට් මණ්ඩලය සංකල්ප පත්‍රිකා දෙකක් 2018 දී හා 2023 දී අනුමත කිරිමෙන් පසු ඉකුත් මාර්තු 21-25 දිනවල විදේශ ඇමැති අලි සබ්රි මහතා සහ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සත්‍ය හා සංහිඳියාව සඳහා වූ යාන්ත්‍රයක් පිළිබඳ සංකල්පය අධ්‍යයනය කිරීම සඳහා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වූහ.

දැන් යළිත් සත්‍යය හා සංහිඳියා කොමිසමක් පත් කරන බවට නිවේදනය කොට ඇති ආණ්ඩුව ඒ සඳහා දැනටමත් ‘‘සත්‍යය හා සංහිදියාව, යාන්ත්‍රණය සඳහා වූ අන්තර් කාල ලේකම් කාර්යාලය’’ යන නමින් ආයතනයක්  පිහිටුවා ඇති බව ද නිවේදනය කොට ඇත.

යලට මහට කැරෙන ඇස්බැන්දුම්

මේ කටයුතු දෙස බලන විට ඒවා අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස පෙනෙන්නේ නැත. යලට මහට මුල, මැද, ඇග ගැටෙන ආකාරයට කෙරෙන මෙම කටයුතු දෙස බලන විට ආණ්ඩුව මේ කාරණය දෙස බැරෑරුම් ලෙස බලන්නේ ද යන සැකය ද ඇතිවේ. ඒ නිසාදෝ මෙහිදී විශේෂ උනන්දුවක් දැක්විය යුතු දෙමළ දේශපාලන පක්ෂ හෝ කිසිදු උනන්දුවක් දක්වන බව නොපෙනේ. එසේම සිරිත් පිරිදි  එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ සෑම නිත්‍ය සැසිවාරයකට පෙර  මානව හිමිකම් සම්බන්ධයෙන් තමන් බැරෑරුම් ලෙස සිතන බව පෙන්වන්නට ආණ්ඩුව කරන කටයුතුවලින් එකක් ලෙස තවත් පිරිසක් මෙය දකිති.

සංහිඳියාව සඳහා අතීතයේ දී සංහිඳියාව කඩ වූයේ කෙසේ දැයි සොයා බැලීම වැදගත් බව බැලු බැල්මට පෙනේ. එහෙත් එම සොයා බැලීම් අතීත තුවාල යළි පැරීමක් බවට හෝ අතීත සිදුවීම් සම්බන්ධයෙන් යළි මතභේද ඇවිළවීමක් බවට හෝ පත් නොවී කරන්නේ කෙසේද යන්න ගැටලුවකි.

සත්‍යය සෙවීම පිළිබඳ කාරණය සම්බන්ධයෙන් සිංහල හා දෙමළ ජනතාව අතර එකඟතාවක් නැත. තීරණ ගැනීමේ දී පාලකයන්ට සිංහල ජනමතය දැඩි සේ බලපායි. සත්‍ය සොයා කරන්නට යන්නේ වැරැදිකරුවන්ට දඬුවම් දීමක් ද නැත්නම් අදාළ පාර්ශ්ව එකිනෙකාට කනගාටුව පළ කරමින් ඉදිරියේ දී එවැනි දේ ඇති නොවන ආකාරයට නීති හා තත්ත්වය සකස් කර ගැනීමට උත්සාහ කිරීමක් ද යන්න පැහැදිලි නැත. ඒ පිළිබඳවද රට තුළ එකඟතාවක් නැත.

ඒ සියල්ලට වඩා මෙවැනි ක්‍රියාවලියකට නායකත්වය දෙන්නට මේ රටේ නෙල්සන් මැන්ඩෙලා හා රදගුරු ඩෙස්මන්ඩ් ටුටු වැන්නන් නැති වීම ද විශාල ප්‍රශ්නයකි.

(එම්.එස්.එම්. අයුබ්/ ලංකාදීප)

Archive

Latest news

Related news