Thursday, May 2, 2024

රනිල් රාජපක්ෂ පවුලෙන් පැන්නීම නොහොත්  මරාගේ මර ගී – බදු බර බයිලා! – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: චන්ද ගුංඩු දේශපාලනය

පොහොට්ටුවේ දෙවන සම්මේලනයට දක්කා ගෙන පැමිණි දෙදහස – තුන්දහසක ජහමනයා දැක් වූ උදාසීන බව සහ පොහොට්ටු සම්මේලයේ දී පුන්නක්කු සමඟ තණකොල බුදීමට සිදුවීමෙන් තිගැස්මට පත් මහින්ද රාජපක්ෂ නොහොත් මරා අද (20දා) අධෝවාත ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එම ප්‍රකාශය රනිල් රාජපක්ෂට විරුද්ධව එළඹෙන මැතිවරණයන්හි දී මරා පවුල විසින් දියත් කරනු ඇති දේශපාලන ප්‍රහාරයේ පළමු වෙඩි මුරය ලෙස සැලකිය හැකිය.

තම පක්ෂය ආණ්ඩුවේ සිටිය ද එහි ප්‍රතිපත්ති තම පක්ෂයේ ප්‍රතිපත්ති නොවන බවත් රනිල් රාජපක්ෂගේ ආර්ථික ප්‍රතිපත්තිවලට තමන් සම්බන්ධ නැති බවත් මරා එමගින් කියයි.

මෙයින් පෙනනේනේ රනිල් රාජපක්ෂ සිය පවුලෙන් පන්නා දැමීමට මරා පවුල තීරණය කර ඇති බවයි. ( ලව් ඉලව් වීම මෙන්ම ඉලව් ලව් වීමද  මරාට අහවල් දෙයක් නොවන බවද මතක තබා ගැනීම වැදගත්ය.)

මරා, රනිල් රාජපක්ෂට හොඳ කියන්නේ රටෙහි මර්දනකාරී පාලනයක් ගෙන යෑම සම්බන්ධයෙන් පමණය. ඒ දෙපාර්ශවයම ජනයාට බය නිසාය.

මරාට හදිසියේ “මොළය” පැදී තිබේ! පසසා පැත්තෙනි.

මරා කියන්නේ “ බදු අඩු කළ යුතුය යන ඉල්ලීම ඉතාමත්ම ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පදනම් වූ ඉල්ලීමක් බව ය. බදු බර අඩු වූ විට, පුද්ගලයන්ට මෙන්ම සමාගම් වලට ද වියදම් කිරීමට සහ ආයෝජනය කිරීමට ඇති මුදල් ප්‍රමාණය වැඩි වේ. මේ ක්‍රියාකාරකම් නිසා ආර්ථිකයට ජවසම්පන්න බවක් ලැබේ.” කියාය.

මරා කතා කරන්නේ කුමන මුඛයෙන්ද?

මේ මහින්ද රාජපක්ෂ දැන කතා කරන්නේ කුමන මුඛයෙන්ද කියා ඇසිය යුත්තේ, පසුගිය කාලය පුරාම බදු ඉහළ නැංවීම ඇතුලු රනිල්  රාජපක්ෂගේ සියළුම ආර්ථික පියවරයන්ට උඩ පැන පැන සහාය දුන්නේ මෙම රාජපක්ෂගේම ගෝල බාල හෙංචයියන් හැත්ත නිසාය.

බදු වැඩි කිරීම වැරදි පිළිවෙතක් නම් මරා සිය සගයින් සමඟ එම පියවරයන්ට විරුද්ධ නොවූයේ ඇයි යන්නට උත්තරයක් මේ අධෝවාත ප්‍රකාශයේ නැත.

“ ඉහළ බදු හේතුවෙන් රටේ උගත් වෘත්තිකයන් සහ පුහුණුවලත් වෙනත් ශ්‍රේණිවල වෘත්තිකයන් රට හැර යෑම ගැටලුවක් බවට පත්ව ඇතැයි” දැන්  මරා එම ප්‍රකාශය මගින් හඩා වැළපෙන්නට පටන් ගෙන තිබේ.

බුදු  අම්මෝ ඒක! මරා බදුවලට විරුද්ධලු!!

දැන් එම විරෝධතාවයන්ගේ කර පිටට පැන ගැනීම පිනිස මරා බදු විරෝධී විරෝධතා අගයන්නේ මෙසේය:

“ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ රාජ්‍ය සේවයේ වැදගත්ම අංශ නියෝජනය කරන වෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තීය සමිති 40ක් පමණ මාස ගණනාවක සිට ආදායම් බදු අඩු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ වල නිරතව සිටිති.”

බළලා මල්ලේන් එළියට පනින්නේ ඉන් පසුය. මරා මෙසේ කියයි. “ 2024 අයවැයෙන් වැට් බද්ද වැඩි කිරීම නිසා 2024 වර්ෂයේදී බදු ප්‍රතිපත්තිය රටේ ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත් වීමට නියමිතය.”

මැතිවරණ වසර එළඹෙන විට මරා, ගෝරා, බැරා, නරා පවුලට බදු විරෝධී විරෝධතා ඉණිමඟක් සේ පෙනන්නට පටන් ගෙන තිබේ.

වැට් බද්ද පාරාවල්ලක් වීම

එහෙත් වැට් බදු වැඩි කිරීමට පාර්ලිමෙන්තුවේ ඡන්දය දුන්නේ මරා සහ මරා වල්ලුය.

රට පුරා බුර බුරා පැන නගිමින් ඇති රනිල්- මූල්‍ය අරමුදල- මරා පවුලේ ආණ්ඩු විරෝධයෙන් හමුවේ දැන් මරා පවුල උත්සාහ කරන්නේ සියලු වරද රනිල් රාජපක්ෂගේ පිටින් යැවීමටය.

වන්නාටය. ජනපතිකාරයාත් මෙරට ජනයා සළකන්නේ රාජපක්ෂ කෙනෙකු ලෙස බැවින් දැන් මරා පවුලට නැගී එන ජනතා විරෝධයෙන් ගැලවීමට බැරිය. ගැලවීමට අවශ්‍ය නම් කළ හැකිව  ඇත්තේ ඥාන කතා දෙකක් කටේ රුවාගෙන ගලක් බැඳගෙන මුහුදට පැනීමය. එවිට බඩු බනිස් වනතුරු ඥාණ කතා දෙක ගිලිමින් සැනසිය හැක.

මූල්‍ය අරමුදලත් එපාලු!

රනිල් සහ රාජපක්ෂ පවුලේ මෙම ආණ්ඩුවේ පිට කොන්ද මූල්‍ය අරමුදලය. රාජපක්ෂ හැතිකරය මූල්‍ය අරමුදලෙන් ආධාර ලැබීම මහා ලොකු දෙයක් ලෙස රනිල්රාජපක්ෂ සමඟ එක්ව ජය පැන් බීවෝය. දැන් මරා කියන්නේ  වත්මන් රජය දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනක කොටසක් හැටියට දැඩි කොන්දේසි ක්‍රියාත්මක කරමින් සිටී. මේ ආකාරයට එක දෙයකින් තවත් දෙයකට මඟ පෑදුණු අතර මේ සියල්ලේම අවසන් ප්‍රතිපලය වී ඇත්තේ, විශ්ව විද්‍යාල උපාධි සහ වෘත්තීය සුදුසුකම් ඇති ඉහළ පෙළේ වෘත්තිකයන් බදු අඩු කරන ලෙස ඉල්ලමින් මහ පාරේ උද්ඝෝෂණය කරන තත්ත්වයක් ඇති වීමයි,” කියාය.

රනිල් රාජපක්ෂ නොවී නම් අපට ඉන්නටවත් තැනක් නැතිවන්නට තිබුණැයි ආඩපාලි කී සිය හෙංචයියන්ගේ කතා වෙනුවට දැන් මරා කියන්නේ රට මුහුණ දී ඇති බදු බර රනිල් රාජපක්ෂගේ සහ මූල්‍ය අරමුදලේ දුෂ්ඨ පිළිවෙත නිසා ඇති වූ බවයි.

2020-2022 මෙරට ඇති වූ මහා ආර්ථික පරිහානියට රාජපක්ෂ පවුල සහ එහි ගැති නිලධාරීන් වග කිවයුතු බවට මෙරට ඉහළම අධිකරණය තීරණය කර තිබියදී මරා සිය ප්‍රකාශයෙන් කියන්නේ තම පවුලේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව දියුණු වූ බවත් ආර්ථික පරිහානියට වගකිව යුත්තේ 2015-2019 ආණ්ඩුව බවය. එනම් රනිල් – සිරිසේන හවුල බවය.

කළකදි යහලු කලකදි වහලු වෙනවාලු

එනමුත් මේ මරාම, සිරිසේනගේ නීච ව්‍යවස්ථා කුමන්ත්‍රණයට හවුල් වී අගමැතිකමද ඇමැති තනතුරුද ලබා ගත්තේය.  එකල සිරිසේන, මරාට දෙවියකු විය.

එමෙන්ම 2022 අරගලය කුඩුපට්ටම් කිරීමට අනීතික යුද බලය සහ පොලිස් බලය යෙද වූ රනිල් රාජපක්ෂ ද දෙවියකු විය. එකළ රනිල් රාජපක්ෂ තරම් කෙනෙකු මරා පවුලට සිටියේ නැත.

දැන් මරා මෙසේ කියයි: “අපේ ආර්ථිකයේ කොන්ද කැඩුණේ 2015 සහ 2019 අතර ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 10,000ක නව ස්වෛරීත්ව බැදුම්කර නිසා ය.”

රනිල් රාජපක්ෂගේ අතීතයට සහ වත්මන් බදු පිළිවෙතට පහර දීමෙන් පසු මරා කියන්නේ මෙයයි: “අනාගතයේ දී සෑම ඡන්දදායකයෙකුම තමන් ඡන්දය දෙන පක්ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.”

අවසාන වශයෙන් මරා කියන්නේ තමන් රනිල් රාජපක්ෂට සහාය දෙන්නේ ඉදිරි මැතිවරණය තුරු පමණක් බවයි!

මණ්ඩලේ කචල් ය.

රනිල් – සාගල මොනවා කරනු සිතනු ඇත්ද? අංචි දේශපාලනයේ කප්පිත්තකු වන රනිල්, හිස කස කසා ඊළඟ තුරුම්පුව දෙපරැන්ද අස්සෙන් එළියට ගනු ඇත්ද?

එසේත් නැත්නම් මේ වනාහි ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක ඉව වැටී මරා එවූ විස පෙවූ  කිණිසි පහරක්ද?

 ඒ කෙසේ වෙතත් රනිල් රාජපක්ෂට මරා පවුල දමා ගසන චෝදනාවන්ට පිළිතුරු දීම රජවාසල කවටයා වන වජිර අබේවර්ධනට සහ රජවාසල ගුදම්බාර  සාගල රත්නායකට ඉතිරි කර තබමු.

අපට කීමට ඇත්තේ මෙයයි.

පාර්ලිමේන්තුවෙහි කිසිදු බලයක් නොතිබූ තනි ලැයිස්තු මංත්‍රියකු වූ  රනිල් රාජපක්ෂට මෙරට ජනයා මත ආර්ථික බර පටවමින්, ජාවාරම්කාර පෙලැන්තියට ගජ වාසි දෙමින්, මෙරට ජනයාගේ මූලික අයිතීන් පාගා දැමීමට හැකි වූයේ රාජපක්ෂ පවුලේ සහ එහි වහලුන්ගේ සහාය නිසාය. එම පාපයෙන් මිදීමට මරා ගයන මර ගී වලට බැරිය.

දේශපාලනිකව සහ පොළව දෙබෑ වීමට ආසන්නය.  එය අරගලයේ  ජීවමාන අවතාරයට බිලිවීමට සූදානම් වෙයල්ලා!

ඉරණම කෙටී අවසන්. මක බෑ වෙයව්!

Archive

Latest news

Related news