Saturday, April 27, 2024

ලංකාව ආසියා පැසිෆික් කලාපයේ ඉහලම අසමානතාව ඇති රටවල් පහට අයත් – යූඑන්ඩීපී වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන (යූඑන්ඩීපී) පසුගිය සතියේ නිකුත් කල ‘අපගේ අනාගතය නිර්මානය කිරීම: ආසියා සහ පැසිෆික් කලාපයේ මානව සංවර්ධනය සඳහා නව දිශාවන්,’ (Making Our Future: New Directions for Human Development in Asia and the Pacific), නමැති වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ධනය බෙදී යාමේ අසමානතාව සම්බන්ධයෙන් ආසියා පැසිෆික් කලාපයේ ඉහලින්ම ඇති රටවල් පහෙන් එකක් බව හෙලිකර තිබේ.

වාර්තාවේ මෙසේ සඳහන් වේ’

“දකුනු ආසියාවේ ධනය බෙදීයාමේ අසමානතාව පිලිබඳ ගිනි සංගුනකය 0.71 සිට 0.77 [ගිනි සංගුනකය යනු රටක ජනයාගේ ආදායම හෝ ධනය බෙදී යාම පිලිබඳ මිනුමක් වේ. මෙම සංගුනකය 0 යනු පූර්න සමානතාවයයි. එය 1 නම් පූර්න අසමානතාවය, එනම් එක් පුද්ගලයෙකු අත සියලු ධනය සංකේන්ද්‍රනය වීම සටහන් කරයි—මෙම ලිපියේ කර්තෘගේ සටහනකි] දක්වා ඉහල ගොස් තිබේ. කලාපයේ බොහෝ රටවල පහලම ආදායම් ලබන සියයට 50 හි ධනයේ පංගුව සියයට 6ක්වත් නොඉක්මවීම අවධානයට ලක් විය යුතු බැරෑරුම් කරුනකි. ඉහලම සියයට 10 හි ධනයේ පංගුව මඟින් ධනය බෙදී යාමේ අසමානතාව මනිනු ලබන, ඉහලම ධන අසමානතාවය ප්‍රදර්ශනය කරන රටවල් අතරට තායිලන්තය, චීනය, මියන්මාරය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුලත් වේ.”

සමාජයේ පොහොසත්ම සියයට 10 සමස්ත ආදායමෙන් සියයට 50ට අධික පංගුව නොකඩවා භුක්ති විඳින බව පෙන්වා දෙන යූඑන්ඩීපී වාර්තාව මෙම තත්වය දකුනු ආසියාවේ උග්‍ර වෙමින් පවතින බව පෙන්වා දෙයි. උත්සන්න වී ඇති ලෝක ආර්ථික කඩා වැටීමේ තියුනුම ප්‍රකාශනයක් දකුනු ආසියාව තුල පිහිටි ලංකාවෙන් ප්‍රකට වී තිබේ.

යූඑන්ඩීපී ආයතනයේ දේශීය ආර්ථික විශේෂඥවරිය වන වගීෂා ගුනසේකරට අනුව ලංකාවේ ආර්ථික අර්බුදයේ සන්දර්භය තුල දරිද්‍රතාවය අඩුකිරීම පිලිබඳව ඉහත දී ලබාගත් සියලු අත්කර ගැනීම් නිෂ්ප්‍රභා වී ගොස් තිබේ. 2022දී ආර්ථික අර්බුදය උග්‍ර වීමට පෙරාතුවමත් සුවිසල් අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රය ඇතුලුව අසමානතාවය මුල් බැස පැවතිනි.

ඇයට අනුව විශේෂයෙන්ම කෝවිඩ් වසංගතය හා ආර්ථික කඩා වැටීම රට තුල ධනය හා ආදායම් බෙදී යාමේ අසමානතාවය ඉහල යෑමට තදින්ම බලපා තිබේ.

ඇය මෙසේ පැවසුවාය; “ශ්‍රී ලංකාව සැලකිය යුතු ඉහල ආදායම් විෂමතාවයක් ඇති රටකි; අප සිටින්නේ ලෝකයේ අසමාන රටවලින් ඉහලම තුනෙන් එකේ වන අතර ධන අසමානතාවයද ඉතා ඉහලය. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ ඉහලම සියයට එකට රටේ සමස්ත පුද්ගලික ධනයෙන් සියයට 31ක් හිමි වන අතර, පහල සියයට 50ට හිමි වන්නේ රටේ සමස්ත ධනයෙන් සියයට 4කට අඩු ප්‍රමානයක් පමනි. අපේ රට කෙතරම් අසමාන ද යන්න පිලිබඳ කෙටි ඡායාරූප සටහනක් මෙය අපට සපයයි.”

කෝවිඩ් වසංගතය සමඟ උග්‍රවූ ආර්ථික අර්බුදය තුල මහා ව්‍යාපාරික ලාභ පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අයුරින් රැකියාවන්ගෙන් දොට්ට දැමීම හා වැටුප් කැපීම නීත්‍යානුකූල කෙරිනි. ඒ් අනුව ලක්ෂ පහකට වඩා රැකියා අහිමි කෙරිනි.

 

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි සමන් ගුනදාස විසින් ලිියා පළ කරන ලද ලිපියක සංස්කරණය කරන ලද අනුවදයකි. සම්පූර්ණ ලිපිය මෙහි ඇත.

Archive

Latest news

Related news