Friday, May 3, 2024

දේශබන්දු තෙන්නකෝන් තනතුරෙන් ඉවත් කරනු! – තරුණ ජනමාධ්‍යවේදීහු කොමිසමට කියති

ජාතික පොලිස් කොමිසමේ සියළුම සාමාජිකයන් වෙත ලිපියක් යවන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය  වධකයකු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කර සේවයෙන් පහ කිරීමේ නියෝග නිකුත් කරන්නැයි  ඉල්ලා සිටී.

එම ලිපිය  පහත දැක්වේ.

සභාපති සහ සියලුම සාමාජිකයන්,
ජාතික පොලිස් කොමිෂන් සභාව.

දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත භාර තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කර සේවයෙන් පහ කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටීම

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් පත් කර සිටින දේශබන්දු තෙන්නකෝන් නම් නිලධාරියා පොලිස් අධිකාරීවරයකුව සිටියදී ශ්‍රී ලංකාවේ පුරවැසියකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස රඳවා තබා ගනිමින්, බරපතල ලෙස වධහිංසා පැමිණවීමට වගකිවයුතු බවට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේය.

SC (FR) Application No.107/2011 දරණ මූලික අයිතිවාසිකම් නඩුවට අදාලව 2023 දෙසැම්බර් මස 14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් නම් එම නඩුවේ පස් වැනි වගඋත්තරකරු පුරවැසියාට වද හිංසා කිරීමට සෘජුවම සම්බන්ධ වී ඇති බවයි. එම පෙත්සමේ පෙත්සම්කරු ඇතුළු සැකකරුවන් කිහිප දෙනකුට දැනට මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිව සිටින එවකට මිරිහානේ සේවය කළ භාතිය ජයසිංහ ඇතුළු පොලිසියේ පරිසක් වද  හිංසා පමුණුවමින් සිටි වධකාගාරයට දේශබන්දු තෙන්නකෝන් ද ගොස් ඇති බව එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වේ. දේශබන්දු තෙන්නකෝන් එම වධකාගාරයට ගොස් සැකකරුවන් නිරුවත් කර ඔවුන් පෝලිම් කර ඔවුන්ගේ ශරීරයේ සෑම තැනකටම පහර දී සැකකරුවන්ගේ ලිංගේන්ද්‍රවල සිද්ධාලේප ආලේප කරගන්නා ලෙස අණ කර නැවත පහරදී ඇතැයි එම නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් වේ.

 

වධකාගාරයටම ගොස් බරපතල වධ හිංසා පැමිණවීම ඉතාම බරපතලයි.

 

එවැනි වධකාගාර ඇත්නම් ඒවා ගැන සොයා බලා නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට වාර්තා කළ යුතු කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයකු වධකාගාරයටම ගොස් බරපතල ලෙස වධහිංසා පැමිණවීම ඉතාම බරපතල තත්ත්වයක් වන අතර එවැනි නිලධාරියකු ශ්‍රී ලංකා පොලිසියේ සිටීමම පොලිසිය ගැන මහජන විශ්වාසය බරපතල ලෙස පලුදු කරන්නකි.

දේශබන්දු විකෘති ලිංගික ආශාවන් තියෙන අයෙක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12.1, 13.1 සහ 13.2 යන ව්‍යවස්ථා මගින් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් ඉතා බරපතල ලෙස උල්ලංඝනය කළ බවට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති දේශබන්දු තෙන්නකෝන් නම් පුද්ගලයා මේ වන විට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටින අතර ජනාධිපතිවරයා විසින් ඔහු වැඩබලන පොලිස්පති ලෙස ද පත් කරනු ලැබ තිබේ. සැකකරුවන්ට පහරදීමට එහා ගොස් ලිංගික අතරවයට ලක් කර ඇති බව ද නඩුවේදී කියැවී තිබෙන අතර සැකකරුවන් නිරුවත් කර ඔවුන් දෙස බලා සිටීම, සැකකරුවන්ගේ ලිංගේන්ද්‍රවල සිද්ධාලේප ආලේප කිරීමට අණ කිරීම ඇතුළු ක්‍රියා මගින් දේශබන්දු තෙන්නකෝන් යනු විකෘති ලිංගික ආශාවන් ඇති පුද්ගලයකුද යන්නද බරපතල සැකයක් මහජනතාව තුළ මතුවී තිබේ. එවැනි පුද්ගලයකු පොලිසියේ ප්‍රධාන තනතුරක් දැරීම මගින් ශ්‍රී ලංකා පොලිසිය ගැනත්, ජාතික පොලිස් කොමිෂන් සභාව ගැනත් මහජන විශ්වාසය පළුදු වීමට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවා දැඩි කතා බහක් ඇතිවීමටත් ඉඩ කඩ තිබේ.

විනය පරීක්ෂන නොව විනය ක්‍රියාමාර්ග ගන්න.

තමන් විසින් මෙම මූලික අයිතාවිසිකම් කඩ කිරීමට වගඋත්තරකරුවන් යැයි සොයාගෙන ඇති පිරිසට සුදුසු විනය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයේ දැක්වෙන්නේ විනය පරීක්ෂණ පවන්වන ලෙස නොව සුදුසු විනය පියවර ගන්නා ලෙසයි. දේශබන්දු තෙන්නකෝන් නම් නිලධාරියා ඇතුළු සෙසු නිලධාරීන් පුරවැසියන් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රඳවා තබා ගනිමින්, කෘර සහ අමානුෂික ලෙස වද හිංසා කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය සනාථ කර ඇති හෙයින් නැවත විනය පරීක්ෂණයක් අවශ්‍ය නොවන අතර පොලිස් කොමිසම කළ යුතුව ඇත්තේ සුදුසු විනය පියවරක් ගැනීමය.

මෙවැනි නිලධාරීන් තවදුරටත් පොලිස් සේවයේ තබා ගැනීම මගින් පොලිස් සේවය බරපතල ලෙස කඩාවැටීමකට ලක්විය හැකිය.

ඉල්ලීම් හතරක්..

එසේ හෙයින් ජාතික පොලිස් කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව පහත ක්‍රියාමාර්ග ගන්නා ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු. අදාල නඩු තීන්දුව මෙහි කියවන්න.

1)      මූලික අයිතිවාසිකම් නඩුවේ පස් වැනි වගඋත්තරකරු වූ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගත හැකි සුදුසු විනය ක්‍රියාමාර්ගය වන පොලිස් සේවයෙන් පහ කරීමට අදාල විනය නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමු.

 

2)      එලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා තෙක් වහාම ඔහු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කරන ලෙස ඉල්ලා සිටිමු.

 

3)      මුලික අයිතිවාසිකම් පෙත්සමේ දෙවැනි වගත්තරකාර භාතිය ජයසිංහ නම් නිලධාරියා දැනට දරණ මාලිගාවත් පොලිස් ස්ථානාධිපති තනතුරෙන් වහාම ඉවත් කර වැඩ තහනම් කරන ලෙසත්, සුදුසු විනය ක්‍රියාමාර්ගය වන පොලිස් සේවයයෙන් පහ කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිමු.

4)      මූලික අයිතිවාසිකම් පෙත්සමේ පළමු වගඋත්තරකරු වන බණ්ඩාර නම් නිලධාරියා දැනට දරණ තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කරන ලෙසත්, කඩිනමින් විනය ක්‍රියාමාර්ගය වන සේවයෙන් පහ කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිමු.

සභාපති – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Archive

Latest news

Related news