Monday, December 9, 2024

‘දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ යුතුයි’ – නීතිඥ සාමූහිකය

පුද්ගලයෙකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන අයුතු ලෙස රඳවා තබා කෲර වධ හිංසනයට භාජනය කිරීමේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරු වී සිටින වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අයට එරෙහිව “කෲර වද හිංසා වැළැක්වීමේ පනත” යටතේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා වහා කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සාමූහිකය පැවසීය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීම සඳහා (දෙසැම්බර් 17 වැනිදා) පැවැත් වූ මාධ්‍ය හමුවකදී එම සාමුහිකයේ නීතිඥවරු විසින් මේබව අවධාරණය කරනු ලැබූහ.

මෙවැනි බරපතළ චෝදනා සහිත නඩුකරයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතිද්දී එහි වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කළේ කෙසේදැයි එම සාමූහිකය මෙහිදී ප්‍රශ්න සිටියේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආණ්ඩුක්‍රම නීතිය පිළිබඳ විශාරද දැනුමක් සහිත නීතිඥවරුන්ගෙන් සමන්විත “නීතිඥ සාමූහිකයේ” ක්‍රියාකාරිකයකු වන ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කරුණු දක්වමින් පැවසුවේ,”මේ නඩු තීන්දුව තුළින් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බරපතළ වරදක් ලෙස සඳහන් කර තිබෙන කෲර වධ හිංසාව නමැති මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙන බව සඳහන් කර තිබෙනවා. මේ නඩු තීන්දුවෙන් වැරැදිකාරයෝ වී සිටින නිලධාරීන් අතර සිටින එක් පුද්ගලයෙක් තමයි වැඩ බලන පොලිස්පති වශයෙන් කටයුතු කරන තෙන්නකෝන් නමැති නිලධාරියා. ඔහුට වැඩ බලන පොලිස්පති ධූරය දෙන විටත් මේ නඩුව විභාග වෙමින් පැවතුණා. මේ වගේ දරුණු මූලික අයිතිවාසිකම් නඩුවක් විභාග වෙමින් පවතිද්දී ඒ ගැන කරුණු සලකලා බලලාද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ පුද්ගලයාට වැඩ බලන පොලිස්පති තනතුරකට පත් කළේ කියන ප්‍රශ්නය මතු වෙනවා.” යැයි සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ “මේ තනතුර දෙනකොට ඔහුට මේ නඩුව විතරක් නෙවෙයි තවත් නඩු ගණනාවක් තිබුණා. ජනාධිපති මන්දිරයෙන් හොයාගත් රුපියල් මිලියන 17 ක මුදලක් සම්බන්ධ නඩුව, ගාලු ගාලුමුවදොර අරගලයට පහර දීමේ සිද්ධියට සහාය වීමේ නඩුව ඒ අතර සඳහන් කරන්න පුළුවන්. මේ නඩු එම නිලධාරියා ඇපල් අධිකරණයට ගිහින් නවත්ත ගත්තත් නීතිපතිවරයා විසින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. පුද්ගලික අයෙක් නෙවෙයි නීතිපතිවරයා විසින් තමයි මේ නඩු ඉදිරිපත් කරලා තිබෙන්නේ. පොලිසියේ කොස්තාපල්වරයෙකු වෙන්න පුළුවන්, සාජන්වරයෙක් වෙන්න පුළුවන්, උප පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් වෙන්න පුළුවන්. ඔවුන්ට එරෙහිව බලපාන රීතියක් තිබෙනවා. ඒ තමයි ඔවුන්ට එරෙහිව කිසියම් අපරාධ චෝදනාවත් තිබෙනවා නම් ඊළඟ උසස්වීම සඳහා සලාකා බැලීමක් නොකරන බව. මෙතනදී ඒක වුණේ නැහැ. එසේ තිබියදී මේ වගේ බරපතළ චෝදනා එල්ල වෙච්ච පුද්ගලයෙකු වැඩ බලන තනතුරකට හෝ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කළේ කොහොමද කියන ප්‍රශ්නය මතු වෙනවා.”යනුවෙන් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය “මේ වෙනකොට ඇතිවෙලා තිබෙන තත්ත්වය තමයි අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කර තිබෙනවා. ඒ නියෝගයට අනුව එම නිලධාරියා සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් විනය පියවර ගත යුතුය. ඒවගේම ඔහු කළ මේ වරද සම්බන්ධයෙන් පොලිසිය විසින් විභාගයක් පැවතිය යුතුයි. මේ අවස්ථාවේදී නීතිපතිවරයාගේ වගකීම කුමක්ද? මීට පෙර මෙවැනි වධ හිංසා චෝදනා ඔප්පු වී තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් කෲර වධ හිංසා වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ දේශබන්දු තෙන්නකෝන් නමැති නිලධාරියා සම්බන්ධයෙන් නීතිපතිවරයා මාසයක් ඇතුළත කෘර වධහිංසා වැලැක්වීමේ පනත යටතේ අධි චෝදනා ඉදිරිපත් කරයි කියලා.” යනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සඳහන් කළේය.

‘විනය ක්‍රියාමාර්ග ගත යුතුයි’

නීතිඥ සාමූහිකයේ ක්‍රියාකාරිනියක වන මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර ද මෙහිදී අදහස් පළ කළාය. “මේ නඩුකරයට පාදකවන පුද්ගලයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ කිසිදු විමර්ශනයකින් තොරවයි. ඔහු අත්අඩංගුවට ගත්තේ කුමන පදනමකින්දැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැහැදිලි කිරීමට පොලිසිය අසමත් වී තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථාවේ 11 වන වගන්තියේ සඳහන් වධ හිංසාවලින් මිදී සිටීමට ඇති මූලික අයිතිය, 13 වන වගන්තියේ සඳහන් නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සහ 12 වන වගන්තියේ සඳහන් නීතියට පරිබාහිරව අත් අඩංගුවට ගැනීම වැනි මූලික අයිතිවාසිකම් පොලිසිය විසින් උල්ලංඝනය කළ බව තීන්දු කරලා තියෙන්නේ. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒවගේම ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබෙන ICCPR වැනි ජාත්‍යන්තර ප්‍රඥප්තින් උල්ලංඝනය කිරීමක්.” යනුවෙන් ඇය සඳහන් කළාය.

වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්යවරිය පැවසුවේ “මේ නඩු තීන්දුව තුළින් පොලිසිය නමැති ආයතනය තුළ සිදුවී ඇති කඩා වැටීම මනාව පැහැදිලි වෙනවා. අපගේ නීතිය යටතේ සැකකරුවකුගෙන් ලබා ගන්නා කට උත්තරයක් මත ඔහුට එරෙහිව නඩුවක් මෙහෙයවන්න බෑ.එහෙත් මෙම නඩුකරයට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ගැනීමට උත්සාහ කර තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.”

“මේ නඩු තීන්දුව තුළින් නිලතල දරන පුද්ගලයින් ඔවුන්ගේ වගකීම් නිසි පරිදි ඉටුකර නොමැති බව පැහැදිලි කර තිබෙනවා. මේක බැරෑරුම් තත්ත්වයක් ලෙස රජය විසින් පිළිගෙන ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතුයි. ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒවගේම අපගේ නීතිය යටතේ කෲර වධ හිංසා වැළැක්වීම සඳහා වධ හිංසා වැළැක්වීමේ පනත තිබෙනවා. ඒ පනත යටතේ මේ නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩුකරයක් ඉදිරිපත් කළ යුතුයි.”යනුවෙන් ප්‍රකාශ කළ මහාචාර්ය ගුණසේකර මෙම කරුණු මහජනතාව විසින් දැනගත යුතු බවත් සඳහන් කර සිටියාය.

ඇය පැවසුවේ “මේ නඩු තීන්දුව තුළින් අපට විශාල ප්‍රශ්නයක් මතු වෙනවා. මේ වගේ බරපතළ චෝදනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතිද්දී වග උත්තරකාර නිලධාරියකු වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිතුමා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කළේ කොහොමද කියලා. මොන වගකීමක් ඇතිවද? ඔය පත් කිරීම කලේ. මේක බරපතල ප්‍රශ්නයක්. නඩු තීන්දුවක් තියෙනකොට මේක නිකං සුළු දෙයක් විදියට සඳහන් කරන්න බැහැනේ. ඒ නිසා යම් පියවරක් ගත යුතුයි. ඉතින් මොකක්ද ගන්න පියවර.” යනුවෙන් ප්‍රශ්න කළ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර නඩු තීන්දුව යටපත් වීමට ඉඩ නොදිය යුතු බවත් අවධාරණය කර සිටියාය.

පුද්ගලයෙකු වදහිංසාවලට ලක් කළ බවට දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට වන්දි ගෙවන ලෙස නියෝග

2010 වසරේ දී, හිටපු හමුදා සෙබළෙකු නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා වදහිංසාවලට ලක් කිරීම තුළින්, වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සිව්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැ යි ශ්‍රේෂ්ඨාධිකරණය (දෙසැම්බර් 14 වැනිදා) තීන්දු කළේ ය.

අදාළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් එවක නුගේගොඩ ප්‍රදේශයේ භාරව සිටි පොලිස් අධිකාරීවරයා වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ හිටපු ස්ථානාධිපති භාතිය ජයසිංහ, පොලිස් නිලධාරී බණ්ඩාර සහ සිවිල් පුද්ගලයකු වන අජිත් වනසුන්දර යන අය ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහ බැගින් පෙත්සම්කරුට වන්දි ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් විය.

එම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවට, කුමුදුනී වික්‍රමසිංහ, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෛරාජා විසින් නියෝග කෙරිණි.

එමෙන්ම, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසම සහ නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස ද නියෝගයේ සඳහන් විය.

මිල්ලව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. රංජිත් සුමංගල නමැති හිටපු හමුදා සෙබලෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

2010 වසරේ දෙසැම්බර් මස 18 වනදා ත්‍රීරෝද රථයකින් පැමිණි අජිත් වනසුන්දර නමැති සිවිල් පුද්ගලයා සමග ආ මිරිහාන පොලිසියේ සේවය කළ බණ්ඩාර සහ භාතිය ජයසිංහ යන නිලධාරීන් දෙදෙනා ඔහු අත්අඩංගුවට ගෙන දඹර ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියකට රැගෙන ගිය බව, පෙත්සම්කරු කියා සිටියි.

එම සුසාන භූමිය තුළ දී වගඋත්තරකාර පොලිස් නිලධාරින් ඔහුට අමානුෂික ලෙස පහරදුන් බවත්, එසේ පහර දෙමින් ප්‍රදේශයේ සිදුවන මංකොල්ලකෑම් හා යුද හමුදාවේ සිටිය දී භාවිත කළ ගිනි අවිය පිළිබඳව ප්‍රශ්න කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.

ඉන් අනතුරුව මිරිස් කුඩු තැවරූ ප්ලාස්ටික් මලු දෙකක් ඔහුගේ හිසට බහා හුස්ම ගන්නා ලෙස වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඔහුට බලකළ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.

ඉන්පසු ඔහුගේ කටින් ලේ ගැලීමට පටන්ගත් බවත්, අවසානයේ දී භීතියට පත් ඔහු වගඋත්තරකාර පොලිස් නිලධාරීන් එල්ල කළ චෝදනාවලට වරද පිළිගත් බවත් ඔහු පැවසීය.

නඩුවේ දී ඉදිරිපත් වූ සියලු කරුණු පිරික්සීමේ දී වගඋත්තරකාර පොලිස් නිලධාරින් ඉදිරිපත් කරන කරුණු එකිනෙකට පරස්පර බවත්, ඒ අනුව ඒවා ප්‍රතික්ෂේප කරන බවත්, තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෛරාජා ප්‍රකාශ කළේ ය.

“මෙම සිද්ධියේ දී නීතියේ ආධිපත්‍යය අවම මට්ටමින් හෝ පවත්වාගෙන යාමට වගඋත්තරකාර පොලිස් නිලධාරින් අසමත් වී තිබෙනවා. නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවස්ථාව ගණනාවක දීම විවිධ මාර්ගෝපදේශ නිකුත් කළා. ඒවා පිළිපදින බවක් පෙනී යන්නේ නෑ. බිහිරන්ට වීණා වාදනය කළා මෙන් ඒවා සම්බන්ධයෙන් කිසිදු තැකීමක් දක්වන්නේ නෑ. මෙය හුදකලා සිද්ධියක් වශයෙන් සලකන්න බෑ. මෙය කාලාන්තරයක් තිස්සේ සිදුවෙමින් පවතින ආයතනික කඩාවැටීමක දිගුවක් බව සඳහන් කළ යුතු යි,” යනුවෙන් විනිසුරු තුරෛරාජා ඔහුගේ තීන්දුවේ සඳහන් කර සිටියේ ය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ හිටපු ස්ථානාධිපති භාතිය ජයසිංහ සහ පොලිස් නිලධාරී බණ්ඩාර යන නිලධාරීන් පෙත්සම්කරු වධහිංසනයට ලක්කර තිබෙන ආකාරය මනාව තහවුරු වන බව විනිසුරුවරයා පැවසීය.

එම සිද්ධිය වූ අවස්ථාවේ දී ප්‍රදේශය භාරව කටයුතු කළ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ද තුරෛරාජා විනිසුරුවරයා ඔහුගේ තීන්දුවේ කරුණු පහදා තිබේ.

“මෙම පෙත්සම්කරු රඳවා සිටි ස්ථානයට වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පැමිණ තිබෙන බව නඩු විභාගයේ දී කරුණු අනාවරණය වුණා. ඔහු ත්‍රිරෝද රථ රබර් පටියකින් පෙත්සම්කරුට පහර දී තිබෙනවා. පසුව පෙත්සම්කරුව නිරුවත් කරන ලෙස අණකර තිබෙනවා. පෙත්සම්කරුගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයට සිද්ධාලේප ආලේප කරන ලෙස ඔහු අණකළ බවත් නඩු විභාගයේ දී කරුණු ඉදිරිපත් වුණා. පොලිසියේ පහළ නිලධාරීන් තමන්ට ලැබී තිබෙන බලය අවභාවිතා කිරීම වැළැක්වීමට ඉහළ නිලධාරීන් වග බලාගත යුතු යි. තමන් යටතේ සිටින නිලධාරීන්ගේ හැසිරීම සුපරීක්ෂණයට ලක් කළ යුතු යි. පොලිස් නිලධාරීන්ට ලැබී තිබෙන තරු, බලය පෙන්වන ආභරණ නොවේ. ඒවා හුදු වගකීමේ සංකේත බව සිහි තබාගත යුතු යි.”

මෙම ක්‍රියාව තුළින් ම එවක ප්‍රදේශය භාරව සිටි පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් ද පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැ යි විනිසුරු තුරෛරාජා ඔහුගේ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා පෙනී සිටියේ ය.

BBC Sinhala

Archive

Latest news

Related news