Saturday, April 27, 2024

සිරිසේන – රාජපක්ෂ පාස්කු කුමන්ත්‍රණයේ තවත් බෝම්බයක් අතේ පත්තු වෙයි: ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී නාලක සිල්වාත් නිදහස්

ඡායාරූපය: නියෝජ්‍ය ‌පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංඟුවට ගන්නා ලද්දේ සිරිසේනගේ වැටුප් ලැයිස්තුවේ සිටි ජාතිවාදී උම්මන්තකයකු වූ නාමල් කුමාරගේ ප්‍රකාශයක් අනුවය.

ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බවට 2018 සැප්තැම්බර් මාසයේ නාමල් කුමාර නම් සිරිසෙනගේ වැටුප් ලැයිස්තුවේ සිටි උම්මන්තකයකු විසින් ප්‍රකාශයක් කරන ලදී. එම ප්‍රකාශය මත පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියාව වූ නියෝජ්‍ය ‌පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංඟුවට ගන්නා ලදී. සිරිසේනගේ හෙංචා නාමල් කුමාර කියා සිටියේ  එම චෝදනාව සකාථ කිරීමට තමා සතුව හඩපටි ද තිබෙන බවයි.

දූෂණ විරෝධි බලකායේ යැයි කියූ සංවිධානයක නමින් නාමල් කුමාර විසින්  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. එම පැමිණිල්ල මගින් ප්‍රකාශ කර සිටියේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ  හඬ ඇතුළත් වාර්තාවන් තමා සතුව ඇති බවයි.

නාලක සිල්වා අත්අඩංඟුවට ගන්නා ලද්දේ එම පැමිණිල්ල මතය.

නාමල් කුමාර යනු එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ කුප්‍රකට නියෝජ්‍ය ‌පොලිස්පති නිලන්ත ජයවර්ධන සමඟ සබඳතා පැවැත් වූ පොලිස් ඔත්තුකරුවකු බව ද පසුව අනාවරණය විය. ඔත්තු සැපයීම මගින් ඔහු ලක්ෂ ගණනින් මුදල් ද ලබා ගත් බව අනාවරණය විය.

මෙම කුම්ණත්‍රණ කතාව පසුබිමෙහි සිරිසේන ඝාතන සැළැස්මකට සම්බන්ධ යැයි මානසික දුබලතාවයකින් පෙලුන ඉන්දියානුවකු ද අත්අඩංඟුවට ගන්නා ලදුව මහත් ප්‍රචාරයක් ලබා දුන්නේය. පසුව එම ඉන්දියානුවාද නිදොස් කොට නිදහස් කරන ලදී. එම ඉන්දියානුවා පිලිබඳ කතාන්තරය ද නාමල් කුමාරගේ ප්‍රබන්ධයක් විය.

නාලක සිල්වා වහාම අත්අඩංඟුවට ගන්නා ලෙස මහින්දාන්නද අමරවීර, උදය ගම්මන්පිල, මෛත්‍රී ගුණරත්න යනාදී රාජපක්ෂවාදී දේශපාලනඥයෝ බල කළහ. උදය ගම්මන්පිල කියා සිටියේ මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ තවත් පිරිස් අත්අඩංඟුවට ගත යුතු බවයි. ඔවුන්ගේ ප්‍රකාශ පෙන්නුම් කලේ ගෝටා ඝාතන ඇත්ත සැලසුමක් තිබී ඇති බවයි.

මේ සියලු චෝදනා පදනම් වූයේ උම්මන්තක නාමල් කුමාර මතය.

මෙම ප්‍රබන්ධයට  අදාළව සිදුකෙරුණු විමර්ශන වලදී ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා තහවුරු කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් නාලක සිල්වා ඇප ලැබුණි. අනතුරුව පොලිස් කොමිසම නිර්දේශ මත ඔහු නැවත සේවයේ පිහිට වන ලදී. ඔහුට ලබා දෙන ලද්දේ වැටුපෙන් අඩක් පමණකි.  බස්නාහිර පළාතෙන් පිටත සුදුසු රාජකාරියක යෙදවීම සහ ඔහුට චෝදනා එල්ල වූ නඩුවේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකිරීම ආදී වශයෙන් කොන්දේසි කිහිපයක් පැනවන ලදී. ඒ අනුව 2023 මාර්තු මාසයේ දී පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කරන ලදී.

එලෙස ව්‍යාජ චෝදනා මත අත්අඩංඟුවට ගන්නා ලද   නියෝජ්‍ය ‌පොලිස්පති නාලක ද සිල්වා ද වසර 5කට පසුව අධිකරණය විසින් එනම් දෙසැම්බර් 06 දා නිදොස් කොට නිදහස් කරන ලදී.

 නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

දැන් මතුවන ප්‍රශ්ණය නම් ප්‍රමාණවත සාක්ෂී නොමැතිව ඔහු අත්අඩංඟුවට ගන්නා ලද්දේ කවර දේශපාලනඥයකුගේ හෝ  නිලධාරියකුගේ උපදෙස් මතද යන්නයි.

ඊටත් වඩා වැදගත් වන්නේ සිරිසේනගේ මෙම හෙංචා විසින් කරන ලද එම චෝදනාවද පාදක කර ගනිමින් නාලක සිල්වා අත්අඩංඟුවට ගත් දිනම සවස 07ට පමණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණයක් දියත් කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කරනු ලැබීමයි.

 මෛත්‍රිපාල සිරිසේනගේ එම ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණය සිදු කරන අවස්ථාවෙහි  පාස්කු බොම්බ කල්ලියේ ත්‍රස්ත නායකයා වූ සහරාන්  පිීළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටියේ නාලක ද සිල්වා  යටතේ වූ ත්‍රස්ත විමර්ශන ඒකකයයි. සහරාන් අත්අඩංඟවට  ගැනීම සඳහා ඒ වන විටත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨසයෙන් අධිකරණ වරෙන්තුවක් ලබා ගෙන තිබිණි.

නාමල් කුමාර සහ සිරිසේනගේ කූඨ චෝදනාවන් යටතේ  නාලක ද සිල්වා අත්අඩංඟුවට ගැනීමෙන් පසුව සහරාන් පිළිබඳ කරමින් තිබුණු විමර්ශන කටයුතු සියල්ල අඩපණ විය.

සහරාන් අත්අඩංඟුවට ගැනීමේ වරෙන්තුව ද අක්‍රිය තත්වයට පත් විය.

සහරාන් හෂීම් සම්බන්ධයෙන් තමා සතුව තිබූ රහසිගත උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ නම් , ප්‍රහාර අවම කරගැනීමට අනිවාර්යෙන්ම හැකියාව තිබූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා  පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවට සාක්ෂි ලබාදෙමින් 2019 ජූනි 04වන දින පැවසීය.

සිරිසේන – රාජපක්ෂ කල්ලියේ ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණය ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාර්ලිමේන්තු වැඩ බලය මගින් වාෂ්ප කරන ලද නමුත් මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් සිරිසේනට විරුද්ධව පියවර ගැනීම රනිල් වික්‍රමසිංහ විසින් වළක්වන ලදී. ඒ වන විටත් රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන්ගේ ගජයකු බවට පත්ව තිබුණි.

වරින්වර ජාතිවාදී කෝලාහලකරුවන් සමඟ ඉස්මතු වූ නාමල් කුමාර නම් සිරිසේන හෙංචා සහ පොලිස් ඔත්තුකරුවාද දේශපාලන තිරයෙන් ධූරීබූත විය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහරාන් පිළිබඳ විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට හේතුවූ නාලක ද සිල්වා අත්තඩංගුවට ගැනීමට  වගකිය යුත්තේ සිරිසේන සහ නාමල් කුමාරය.

නාලක සිල්වාට  ව්‍යාජ චෝදනා එල්ල කිරීම, ත්‍රසත විමර්ශන අංශයේ සහරාන් පිලිබඳ පරීක්ෂණය අඩපන කිරීම පාස්කු ප්‍රහාරයට ඉඩ සැලසීමේ කතාවේ තවත් පුරුකකි.

මෙම නාමල් කුමාර නාටකය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ආරම්භක ජවනිකාව විය හැකි යැයි දක්වමින් ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති 2022 මැයි මුලදී ගෝඨාභය රාජපක්ෂ වෙත විවෘත ලිපියක් ප්‍රසිද්ධ කරන ලදී. එමගින් ඔහු ඉල්ලා සිටියේ නාමල් කුමාරගේ එම කුමන්ත්‍රණ කතාව පිලිබඳව පහත සඳහන් ප්‍රශ්ණ වලට පුවත්පත් සාකච්ජාවක් මගින් පිලිතුරු දෙන ලෙසයි.

බැවින් රාජ්‍ය ආරක්ෂාව භාරව සිටින ප්‍රධානම සිවිල් නිලධාරියා ලෙස මෙම සිද්ධීන් මාලාව හා බැඳුණු පහත සඳහන් ප්‍රශ්නවලට ඔබගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි.

  1. නාමල් කුමාර විසින් හෙළි කරන ලද ඝාතන කුමන්ත්‍රණ සිද්ධීන්වල වර්තමාන විමර්ශන තත්ත්වය ඔබ විසින් අප්‍රමාදව රටට හෙළි කරන්නේ ද?

    2.මෙම සාපරාධි ක්‍රියා දාමය සිදුවී වසර තුනකට වැඩි කාලයක් ගත වී ඇතත් ඒ සම්බන්ධව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හෝ එයට සම්බන්ධ යැයි සඳහන් කිසිදු සැකකරුවකුට වේ මේ වන තුරුත් අධිකරණය ඉදිරියේ නඩු පවරා නැත්තේ ඇයි?

  2. නාමල් කුමාර විසින් හෙළිකරන ලද එම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධ සියලු‍ කරුණු නිවැරදි බවට විමර්ශකයන් විසින් තහවුරු කර ඇද්ද? එසේ නම් මෙම සිද්ධියට සම්බන්ධව අනෙක් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරන්නේ ඇයි? අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ට මෙතෙක් අධිකරණය ඉදිරියේ නඩු පැවරීම ප්‍රමාද වීමට හේතු වූ කරුණු මොනවාද ?

    4.නාමල් කුමාර විසින් හෙළි කරන ලද කරුණු සත්‍යයෙන් බැහැර ඒවා බව විමර්ශකයන් අවබෝධ කරගෙන සිටී ද? එසේ නම් මේ වනතුරු ඔහුට අසත්‍ය පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් නඩු නොපැවරීම ට හේතු මොනවාද ?

  3. ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන ඉලක්ක බවට පත්ව සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනට මෙරට විධායක ජනාධිපතිවරයා වන අතර අනෙක් පුද්ගලයා හිටපු ජනාධිපතිවරයකු මෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වෙයි. එබැවින් එම ජනාධිපතිවරයාගේ නායකත්වය දරන රජයක් යටතේ වසර තුනක් ගත වී හෝ මෙම විමර්ශනවල සත්‍යතාව හෙළිකරගෙන අපරාධකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට ක්‍රියාත්මක නොවීමට ප්‍රධාන වූ හේතු කවරේද ?

    මෙම ප්‍රශ්නවලට සහ මෙම කුමන්ත්‍රණය සිදුවීම සම්බන්ධව හෙළිවී ඇති වෙනත් කරුණු වේ නම් ඒවා මහජනතාව වෙත දැනුම්දීම රාජ්‍ය නිලධාරියකු ලෙස ඔබගේ යුතුකමකි. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මෙම නාමල් කුමාර නාටකයට සම්බන්ධ සියලු‍ම කරුණු ඔබ ඉතා නුදුරේදීම මහජනතාව වෙත හෙළිකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. නැතහොත් නාමල් කුමාර ජවනිකාව පාස්කු නාටකයේ සමාරම්භක ජවනිකාව ලෙස මේ වන විටත් මහජනතාව තුළ ඇතිව ඇති සැකය පහ නොවනු ඇති බව වැඩිදුරටත් අවධාරණය කරමි. ( 2022 මැයි 03දා අනිද්දා පුවත්පත් පතෙනි)

පුරුදු ලෙසම ගෝටා කට ඇරියේ නැත. සමහර විට ඔහු ඇත්ත දැන සිටින්නට ඇත.

සේ. පියවර්ධන විසිනි.. 07.12.23

Archive

Latest news

Related news