Sunday, April 28, 2024

රදළ සමය සිහි ගන්වන ජීවිත කාලයටම හිටපු ජනපති බුරුත්ත ලබන දීමනා මෙන්න!

ජනතාව මත පැටවෙන හිටපු ජනපති නඩත්තුව

 රජවරු මැරෙනතුරු රජකම් කළෝය. ඇතැම් රජවරු රජකම් කරන අතරේදී මරා දමනු ලැබූහ. කලක රජුන්ගේ යුගය නිමා විය. ඉනික්බිති උදා වූයේ මහජන පරමාධිපත්‍යය රජයන යුගයයි. එහෙත් මහජන පරමාධිපත්‍යය ලද්දෝ ද, රජුන් මෙන් හැසිරුණහ. වරක් රජකම මහජන පරමාධිපත්‍යය අනුහසින් රජකම් කළ පමණින්, ඔවුහු මහජන දුක සැප අනුභව කොට මියයන තුරු සිටින්නෝය.

ඉකුත් දා අපට දැනගැනීමට ලැබුණේ ජීවත්ව සිටින මෙරට හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනා සහ ඝාතනය කෙරුණු හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිය නඩත්තුව වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 1100 ක් මෙදා අයවැයෙන් වෙන්කර ඇති බවකි. මෙම වැය ශීර්ෂය අධ්‍යයනය කළ ඇත්තන් කීවේ ඉකුත් වසරට සාපේක්ෂව සියයට හතළිස් පහක පමණ වැඩිවීමක් මෙහි නිරීක්ෂණ වන බවකි.

කෙසේ වෙතත් මහජනයා ආර්ථික පීඩාවෙන් මුදවා, නඩත්තු කිරීම සඳහා ආණ්ඩුව ඉකුත් වසරට සාපේක්ෂව කවර ප්‍රතිශතයකින් ප්‍රතිපාදන වැඩි කොට ඇතිදැයි අපට පැහැදිලි නැත. මහජනයා මත බදු පිට බදු පැනවීම සහ ජලය, විදුලිය ඇතුළු ගාස්තු ඉහළ දැමීම පමණක් ඉකුත් සමයේ සිදුවූ බව අපට මතකය.

මෙවර විසර්ජන පනත් කෙටුම්පතට අනුව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 292 බැගින් වෙන්කොට ඇතැයි දැනගැනීමට ලැබේ. චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 157 කි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ භාර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 68ක්ද වෙන් කර ඇතැයි කියැවේ.

මාධ්‍ය වාර්තා උපුටා දක්වා ඇති පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් PS/RTI/01/2023/205 යන නිල ලේඛනය හෙළිකර ඇත්තේ මෙම පිරිස වෙනුවෙන් ලේකම් දීමනා, ඉන්ධන දීමනා සහ විශ්‍රාම ප්‍රතිලාභ වශයෙන් මාසිකව රුපියල් 3,715,350 ක් රජය වැය කරනු ඇති බවය. මෙහිදී ආරක්ෂක වියදම් ගණන් බලා නැතැයි කියැවේ.

කෙසේ වෙතත් හෙළිදරව් වන මෙම තොරතුරුවලට අනුව රණසිංහ ප්‍රේමදාස බිරිඳට රුපියල් 25,000ක ලේකම් දීමනාවක්, රුපියල් 100,000ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 65,000ක විශ්‍රාම දීමනාවක් ලැබීමට නියමිතය.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාසිකව රුපියල් 100,000ක ලේකම් දීමනාවක් ද රුපියල් 679,950ක ඉන්ධන දීමනාවක් ද රුපියල් 97,500ක විශ්‍රාම ප්‍රතිලාභයක් ද හිමිය. එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රුපියල් 50,000ක ලේකම් දීමනාවක්, රුපියල් 679,950ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500ක විශ්‍රාම දීමනාවක් හිමි වේ.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට හිමිව ඇත්තේ  රුපියල් 100,000ක ලේකම් දීමනාවක්, රුපියල් 679,950ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500ක විශ්‍රාම දීමනාවකි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ද රුපියල් 100,000ක ලේකම් දීමනාවක්, රුපියල් ලක්ෂ 05ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500ක විශ්‍රාම ප්‍රතිලාභයක් ලැබේ.

මෙහිදී අවධාරණය කොට සඳහන් කළ යුත්තේ රාජ්‍යයට නායකත්වය ලබාදුන් නායකයන් නොසලකා හැරීම අප ද අනුමත නොකරන බවකි. ගැටලුව ඇත්තේ පවතින ආර්ථික අර්බුදය සහ වර්තමානයේ ජනතාව ගත කරනු ලබන ජීවිතය පිළිබඳවයි. හිටපු රාජ්‍ය නායකයන් මේ රට සුඛිත මුදිත කළේ නම් මෙවන් විපතක් රටට සිදු නොවන්නට ඉඩ තිබුණි.

මෙම වරදාන වරප්‍රසාද හිටපු ජනාධිපතිවරුන්ට සහ බිරින්දෑවරුන්ට හිමිව ඇත්තේ 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුවය. ඊට අනුව සෑම හිටපු ජනාධිපතිවරයකුට සහ හිටපු ජනාධිපතිවරයකුගේ බිරිඳට හෝ සැමියාට, ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ මෙකී විශ්‍රාම වැටුපක්, ඉන්ධන දීමනාවක් සහ ලේකම් දීමනාවක් හිමිවිය යුතුමය.

මීට අමතරව තවත් වරප්‍රසාද රාශියක් මෙම පිරිස වෙත පවරා දීමට ද කලින් කලට පැවති ආණ්ඩු කටයුතු කොට තිබේ. ඔවුන්ගේ ජීවිත කාලය තුළ ජීවත් වීමට සුදුසු නිවෙසක් කිසිදු කුලී අයකිරීමක් නොමැතිව ලබාදීම, ආරක්ෂාව වෙනුවෙන් දීමනා ලබාදීම ආදිය ඊට ඇතුළත් වේ. තවද අවස්ථානුකූලව මෙම ආණ්ඩුවට දක්වන පක්ෂපාතිත්වය මත මෙම පිරිස් සම්බන්ධ මහජන මුදල් වැය කිරීමට ආණ්ඩු මැලි නොවන බව අපි දනිමු.

හිටපු රාජ්‍ය නායකයකු ගෞරවාන්විත චරිතයක් ලෙස රාජ්‍ය විසින් සැලකිය යුතු බව සැබෑය. එහෙත් තම නඩත්තුව ජනතාව මත පැවරීමට තරම් රාජ්‍ය නායකයන්ට හිත හදාගත හැකිදැයි  යන්න ගැටලුවකි. සාමාන්‍යයෙන් මහජනතාව දන්නා පරිද්දෙන් මෙරට මෙම ප්‍රතිලාභ භුක්ති විදින රාජ්‍ය නායකයන් සහ හිටපු ජනපති බිරිඳ ධනවත් ප්‍රභූ පවුල් නියෝජනය කරන්නෝ වෙති.

ඔවුන්ගේ දූ පුතුන් ද වත්මන් දේශපාලන කරළියේ ඉදිරි පෙළ භූමිකා රඟ දක්වති. ජීවිත කාලයේදී තම දෙමාපියන් රටට බරක් නොවන පරිදි රුකබලා ගැනීමේ වගකීම තිබූ දූ දරුවන් ඔවුන් බාර නොගන්නේ ඇයි? මහජනතාව ප්‍රශ්න කර සිටින්නේ මේ පිළිබඳවය.

මෙවර අයවැයෙන් සිදු කළ මෙම දීමනාව වැඩි කිරීම අප වැඩිදුරටත් විග්‍රහ කරගත යුතුව තිබේ. හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනාට සහ  ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියට 2022 වර්ෂයේ අයවැයෙන් පොදුවේ වෙන් කෙරුණේ රුපියල් ලක්ෂ 757 ක මුදලකි. තොරතුරු වාර්තා අනුව 2023  වර්ෂයේදී එම මුදල ලක්ෂ 844 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. දැන් 2024 වර්ෂය වෙනුවෙන් මුදල ලක්ෂ 1100 ක් දක්වා ප්‍රතිපාදන ඉහළ දැමීමට අයවැය යෝජනා කර තිබේ.

අප පෙර කී දීමනා හා වරප්‍රසාද මහජනතාව වෙනුවෙන් අරමුදල් වෙත බැර කරන බව කලින් කල හිටපු ජනපතිවරුන් කී බවද සිහිපත් කළ යුතුය. එහෙත් තතු දත්තන් පවසන පරිදි තවමත් මෙම දීමනා ඔවුන්ගේ පෞද්ගලික ගිණුම් වෙත මිස අරමුදල් වෙත බැර නොවේ.

අවසානයේ සඳහන් කළ යුත්තේ මෙරට සාමාන්‍ය ජනතාවගේ වැටුප් සහ වරප්‍රසාද පිළිබඳ තත්ත්වය නම් ශෝචනීය බවයි. සහන ඉල්ලා කළ සියලු අරගල සඳහා බලධාරීන්ගේ ප්‍රතිචාරය රජයේ බංකොළොත්භාවයේ පරිමාව පැහැදිලි කිරීමකි. එබැවින් යථාර්ථය නීරසය. නඩුත් බඩුත් හාමුදුරුවන්ගේය.

– චමිඳු නිසල් ද සිල්වා (දේශය – 2023 දෙසැම්බර් 03)

පසු සටහන:

ලබන වසර වෙනුවෙන් රුපියල් ලක්ෂ 1,100ක මුදලක් හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනෙකුට සහ රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ හේමා ප්‍රේමදාස වෙනුවෙන් වෙන් කර තිබේ. එය රජයේ වැය ශීර්ෂයෙන් ඉවත් කළ යුතු බව අනුර දිසානායක මන්ත්‍රීවරයා යෝජනා කළ අතර එම යෝජනාවට පක්ෂව ලැබුණේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනාගේ ඡන්දය පමණි. ( ලංකා ට්රුත්)

Archive

Latest news

Related news