Sunday, April 28, 2024

‘සර් කියූ ලෝ’ හෙවත් ‘සර්කියූලර්’ (Circular) සහ නුවරඑළියේ තැපැල් කන්තෝරුව! -ශාන්ත ජයරත්න

(ලංකා ඊ නිව්ස් -2023.නොවැ.07) “ගම සමග පිළිසඳරක්” නැමැති වැඩසටහන ආරම්භ වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුවයි. පළමු පිළිසඳර පවත්වන්නේ 2020.09.25 දින හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දීය. ඉන් පසු ප්‍රදේශ කිහිපයක පිළිසඳර පැවැත්වීමෙන් පසුව ඒවායේදී ගත් තීරණ සහ ආරම්භ කළ ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් ආරම්භ වෙන්නේ 2021 අප්‍රේල් මස 26 වන දිනයි.

මං තමයි නීතිය – කියන දේ  කරපන්

පළමු ප්‍රගති සමාලෝචනය 2021 අප්‍රේල් 26 වන දින හපුතලේ වෙලන්විට ග්‍රාමයේ දී පැවැත්වෙනවා. එහි දී පැමිණ සිටි ගැමියෙක් ජනාධිපතිට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. “සර් ඔබ තුමා ගිය සැරේ නිලධාරීන්ට නියෝග කළාට තාම හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් තුමා අපේ ඉඩම් වලට බලපත්‍ර දෙන්නෑ. කැලේ සුද්ද කරන්ඩ ගිය ගමන් වන ජීවී මහත්තුරු අපි අල්ලලා නඩු දානව.” ගැමියා ජනාධිපති ඉදිරියේ බොහෝ උජාරුවට රාජ්‍ය නිලධාරීන් පිළිබඳ විවේචනයක් ඉදිරිපත් කළේය.

ජනාධිපති ගෝඨාභය, ප්‍රාදේශීය ලේකම් ගෙන් මෙසේ විමසයි. “ඇයි මේ මිනිස්සුන්ගේ ඉඩම් වලට බලපත්‍ර නොදෙන්නේ?”

“සර්, ඒ සඳහා ඉහළින් ප්‍රතිපත්ති තීරණයක් ගෙන සර්කියුලර් එකක් (චක්‍රලේඛයක්) මගින් එවනවා නම්, මට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්.” යැයි ප්‍රාදේශීය ලේකම් නිවැරැදි ක්‍රමය පැහැදිලි කරයි.

ජනාධිපති ගෝඨාභයට තමන් රටේ විධායක  ජනාධිපති බව අමතක වෙයි. ඔහු ක්ෂණිකව යුධහමුදා කර්නල් ගෝඨාභය බවට පත්වෙයි. තමාගේ අණ පිළිනොපදින සොල්දාදු ප්‍රාලේට “ඩිප්ස්” 20 ක් ගස්සන්නට හිතෙන්නට ඇත. ඔහු මෙසේ කියයි.

“මේ කියන්නේ රටේ ජනාධිපති. ආයි මොන සර්කියුලර්ද ඉල්ලන්නේ ? ලියා ගන්නවා. ඒක තමයි සර්කියුලර් එක. රටේ නීතිය වෙන්නේ ජනාධිපති කියන ඒකයි.”

එම රැස්වීමේ බදුල්ල මහා දිසාපතිද වාඩි ගෙන සිටින බව දුටිමි. මට විශාල ලැජ්ජාවක්ද ඇති විය. දිසාපති වත් ප්‍රාදේශීය ලේකම් වරයා වෙනුවෙන් ඉදිරිපත් නොවීය.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් වැඩි දවසක් එම පුටුවේ නොසිට ස්ථාන මාරුවක් ලබා ගෙන ගිය බව පසුව ආරංචි විය. “සර් කියූ ලෝ” “සර්කියුලර්” වන්නේ එලෙසයි.

රනිලුත් ගෝටා ගිය පාරේ.

රාජ්‍ය පරිපාලන නිලධාරීන් පුහුණු කරන ආයතනයේ (SLIDA) අවුරුදු 30කට වැඩි කාලයක් ගුරුහරු කම් දුන් අයෙක් හැටියට ඉඩම් නීති , පරිපාලන නීති , මුදල් නීති, අපරාධ හා සිවිල් නීති, භාෂා ඇතුළු විවිධ විෂය කරුණු වලට අමතරව ක්ෂේත්‍ර පුහුණු ලබා දී  අවුරුද්දක් පුරා උගන්වා, ඉන් පසු වසර කිහිපයකට වරක් ධාරිතා සංවර්ධන පුහුණු (Capacity Building ) ලබා ක්ෂේත්‍රයේ සේවය සඳහා යන පරිපාලන හා සමාන්තර සේවයේ නිලධාරීන්ට තාවකාලිකව බලයට එන දේශපාලකයන් කරන බලපෑම් කෙතරම් අනීතිකද? ඒවා ප්‍රතික්ෂේප කිරීමට ඔබට සෑම අයිතියක්ම ඇත.

රනිල්ගේ නුවරඑළියේ නාටකය

රාජ්‍ය පරිපාලනය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති දේශපාලකයන්ට අවසානයේ අත් වූ ඉරණම අමුතුවෙන් කිව යුතු නැත. පන බේරා ගත්තේ හමුදා ආරක්ෂාව යටතේ රහස් දොරටුවකින් පලා ගොසින්ය. ඉන් පසු එම රහස් දොරටුවෙන්ම ඇතුලට පැමිණි රනිල් වික්‍රමසිංහ තමන් රටේ ජනාධිපති බව අමතක කරමින් ගෝඨාභය රාජපක්ෂ මෙන් දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට නුවරඑළියේදී එවැනි තර්ජනයක් කරනවා දුටිමි.

මෙම සිදුවීම වන්නේ පසුගිය දා නුවර එළියේ සංචාරක නගර සංවර්ධනය ගැන පැවති සාකච්ඡාවකදී ය. ඊට පෙර පැවති රැස්වීමකදී ගත් තීරණයක් පිළිබඳ පොහොට්ටු මන්ත්‍රී S.B. දිසානායක මතක් කළේය. නුවර එළියේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් බවට පත්කිරීම සඳහා භාර දෙන ලෙස මීට පෙර රනිල් වික්‍රමසිංහ තැපැල්පතිට නියෝග කොට තිබී ඇත. එහෙත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.

“සර් තැපැල් කාර්යාල ගොඩනැගිල්ල තාම භාර දී නැහැ.” එස් බී

“ජනාධිපති දෙන නියෝග පිළිපදින්න බැයි නම් වෙනත් තැනකට යන්න  වෙයි.” රනිල් වික්‍රමසිංහ ජනාධිපති තැපැල්පති ට කියයි.

“සර්, පිටිපස්සේ ඉඩම දෙන්නම්.” තැපැල් පති.

“පිටිපස්සේ ඉඩම මොකටද ? මමයි කිව්වේ. මම ජනාධිපති. හ්ම්… දැන් යන්න කලින් ඒක භාර දෙන්න.” ජනාධිපති නියෝග කරයි.

මාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් දෙයි. ජනාධිපතිගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙයි.

මේවා පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි

නුවර එළියේ මෙම ගොඩනැගිල්ල පමණක් නොව ජනාධිපති මන්දිරය ඇතුළුව තවත් විශාල දේපළ සංඛ්‍යාවක් යටත් විජිත යුගයේ ගොඩ නැගූ ඒවාය. ඒවා බොහෝමයක්  පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි වන අතර ඒවා සඳහා බලපැවත්වෙන නීති අනුව ජනාධිපති නොව වෙනත් කිසිවෙකුට වුවත් සිතැඟි සේ පරිහරණය කල නොහැක. එසේ අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධන කොට රාජ්‍ය නිළධාරීන්ට බලය පැවරිය යුතුය. එසේ නොමැතිව , කටට ආ පලියට ජනයා සහ මාධ්‍ය ඉදිරියේ නිලධාරීන්ට බලපෑම් කිරීමට යෑම තුල ලාභ ප්‍රසිද්ධිය (Cheap Popularity ) ලැබුණද යමක් කමක් තේරෙන ජනයා ඉදිරියේ පාලකයන් තව තවත් පිරිහීමට ලක් වනු ඇත.

අනීතික නීති ක්‍රියාත්මක කළොත් සිදුවන්නේ හිරගෙදර තැපීමට යි. පෝය 10 ක් ඉවසන්න…

මෙවැනි දේශපාලකයන්ගේ අනීතික වාචික උපදෙස් රාජ්‍ය නිළධාරීන් පිළිගත යුතු නැත. පසුගිය කාලයේ  එවැනි නියෝග පිලිපැද කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට අවසානයේ සිදු වූයේ වැලිකඩ හිරගෙදර තැපීමටය. අවසානයේ ඔවුන්ට නඩු කියා ගැනීමට මුදල් සම්මාදන් කිරීමට සිදුවිය.

ඡන්දයෙන් බලයට නොපැමිණි, රනිල් වික්‍රමසිංහ හෙට අනිද්දා මහජනයා පන්නා දමනු ඇත. මේ වන විට රටේ බහුතර ජනයා ප්‍රගතිශීලි, අදූෂිත රජයක් පිහිටුවා ගැනීමට සූදානමින් සිටී.

ඉදිරි පෝය 10 ඉවසා සිටින්න

අවශ්‍යතාවය මැතිවරණයක් පමණි. එතෙක් රාජ්‍ය නිළධාරීන් තම කෂේරුකාව කෙලින් තබා ගෙන දූෂිත දේශපාලකයින් දෙනු ලබන අනීතික නියෝග ක්‍රියාත්මක නොකොට සිටින්න. ඔබ ගන්නා වූ නිවැරැදි, නීති ගරුක තීරණ හේතුවෙන්  ස්ථාන මාරු කරන්නේ නම්, හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් හෝ ඒ සඳහා මැදිහත් වන ඉහළ නිලධාරීන් දෙවරක් කල්පනා කිරීම වැදගත් වනු ඇත. ඔබලා එවැනි නියෝග ප්‍රතික්ෂේප කරන්න. ඉදිරි පෝය 10 ඉවසා සිටින්න. ඔබට යුක්තිය හා සාධාරණත්වය ඉටුකිරීමට අප බැඳී සිටිමු. ඒ සඳහා ඔබ කල බල විය යුතු නැත.

රාජ්‍ය සේවයේ අවංක , නීති ගරුක, දක්ෂ, රට ගැන හැඟීමක් ඇති  අපෙන් ඉගෙන ගත් පරිපාලන සේවයේ, සැලසුම් සේවයේ, ගණකාධිකාරි සේවයේ, ඉංජිනේරු, කෘෂි, තාක්ෂණික , රේගු වැනි සේවාවන්වල මාණ්ඩලික නිළධාරීන්, අධිකාරි ලත් පොලිස් සේවයේ නිළධාරීන් හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ඉවසීමෙන් සිට මෙම දූෂිත පාලකයන් පලවා හැර රට ගොඩ නැගීමට දායක වන්න. අපිට මේ රට ගොඩනැගිය හැකියි. ඒ සඳහා භූමිය සූදානම් කරමු. අපි සියළු දෙනා පෙරමුණ ගනිමු. මේ අපේ වාරයයි.

-ශාන්ත ජයරත්න

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

( උපුටා ගැනුනේ  ලංකා ඊ නිව්ස් වෙතිනි)

Archive

Latest news

Related news