Wednesday, November 29, 2023

ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කළ අපරාධ සහ දණ්ඩමුක්තිය නැති කිරීම ඉදිරියේ ඇති අභියෝග – රුකී ප්‍රනාන්දු

මාධ්‍යවේදීන්ට එරෙහි සිදු කෙරෙන අපරාධ අරභයා පවතින දණ්ඩමුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය ටෙනාවැම්බර් 03දිනට යෙදුනි.

වගවීමේ ඌනතාවය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා 2023 සැප්තැම්බර් මාසයේ සිය වාර්තාවේ ලංකාව ගැන සඳහන් කර ඇති පරිදි, “ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මානව හිමිකම් ප්‍රශ්නය වන්නේ, සෑම මට්ටමකම දකින්ට ඇති වගවීමේ ඌනතාවයි.” මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකොට ඇති බරපතල අපරාධවලටත් ඔහු කියන ඒ කතාව අදාළයි. මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ මාධ්‍ය නිදහස පිළිබඳ විශේෂ අවධාරණයක් කර නැතත්, කුප්‍රකට අතීත සිදුවීම් පිළිබඳ සටහන් එහි දක්නට ලැබේ. මාධ්‍යකරුවන් ඝාතනය වීම සහ අතුරුදහන් වීමත්, එකී අපරාධකරුවන්ට දඬුවම් නොලැබීමත් (දණ්ඩමුක්තිය) පිළිබඳ එවැනි සිදුවීම්, මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ අතීත වාර්තාවල සඳහන් වෙයි.

වැඩිම අපරාධ කළ පාලකයන්

ලංකාවේ බොහෝ මාධ්‍යවේදීන් ඝාතනය වී තිබේ. අතුරුදහන් වී තිබේ. ඒ සම්බන්ධයෙන් ඉතාම නරක වකවානු වන්නේ, 1977-1994 ජේ.ආර්-ප්‍රේමදාස ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයත්, 2006-2014 මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයත් ය. තවත් බොහෝ මාධ්‍යකරුවන්, වෙනත් විවිධ ආණ්ඩු යටතේ අත්අඩංගුවට පත්ව ඇත. රඳවා තබාගෙන ඇත. එසේම, පහරදීම්, තර්ජනය කිරීම්, බියවැද්දීම් සහ විවිධ තාඩනපීඩනයන්ට ලක්ව ඇත. ඒවාට අමතරව, මාධ්‍ය ආයතනවලට ගිනි තබා ඇත. මාධ්‍ය ආයතන නඩුවලට පටලවා ඇත.

ඒ සම්බන්ධයෙන් වඩාත් පීඩාවට පත්වුණේ, ‘සන්ඩේ ලීඩර්’ සති අන්ත ඉංග්‍රීසි පුවත්පතත්, යුද්ධයෙන් විනාශයට පත් උතුරේ වඩාත් ජනප්‍රිය දෙමළ පුවත්පත වන ‘උදයන්’ පුවත්පතත් ය ඒ දෙකම, නිර්දය ආණ්ඩු විවේචකයන් විය. ගිය වසරේ යෝධ ජනතා නැඟිටීම් වාර්තා කළ මාධ්‍යවේදීන්ටත් විවිධ ගැහැටවලට මුහුණදීමට සිදු විය. හිටපු ජනාධිපතිවරයාගේ නිවස අසල සිදු වූ ප්‍රචණඩකාරී තත්වය පිළිබඳ සජීවී විකාශනයක් ගෙන ඒම වරදක් වශයෙන් දකිමින්, ‘එම්.ටී.වී’ නමැති ජනප්‍රිය රූපවාහිනී මාධ්‍ය ආයතනයට එරෙහිව පරීක්ෂණද නියම කෙරුණි. පසුගිය ජුලි 9 වැනිදා, හිටපු අගමැතිවරයාගේ නිවස අසළ පැවති ප්‍රධාන විරෝධතාවක් වාර්තා කරමින් සිටි එම ආයතනයේම මාධ්‍යවේදීන්ට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පහරදෙන ලදි.

ප්‍රගීත් වෙනුවෙන් පැවැති සිහිකිරීමක්

එකම එක නඩුවයි!

මා දන්නා තරමට, ඝාතනයන් සහ බලහත්කාර අතුරුදහන් කරවීම් වැනි බරපතල අපරාධවලට සම්බන්ධ කිසිවෙකු මේ දක්වා උසාවියක් ඉදිරියට පමුණුවා වැරදිකරු කර නැත. ඒ අතරින් සිදුවීම් දෙකක් පමණක් නඩු මාර්ගයට යොමුකොට ඇත. එයින් එක සිද්ධියකට සම්බන්ධ සැකකරුවන්ට එරෙහි නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන ලෙසට නීතිපතිවරයා 2021 දී අධිකරණයට දැනුම් දී ඇතැයි මාධ්‍ය වාර්තා කෙළේය. තවමත් පවත්වාගෙන යන එකම නඩුව වන්නේ, 2010 දී අතුරුදහන් වූ මාධ්‍යවේදී සහ කාටුන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩගේ සිද්ධිය පමණි.

ඒ සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනුණි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසාන භාගයේදී සැකකරුවන් 9 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කෙරුණි. 2019 නොවැම්බර් මාසයේ රාජපක්ෂ පවුල නැවත බලයට පැමිණ, ‘රණ විරුවන්ට’ එරෙහිව නඩු නොපැවරීමට ඔවුන් ප්‍රතිඥා දීමත් සමග, මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට එරෙහි අලුත් බාධක මතු විය.

දින 5000 ක විරෝධතා ව්‍යාපාරය

එක්නැලිගොඩ සිද්ධිය තවමත් ඉදිරියට යන්නේ, ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ දින 5000 කටත් අධික කාලයක් තිස්සේ නොසැලී ගෙන යන සටන නිසාවෙනි. ඈ උසාවි ගානේ ගියාය. පාරවල් ගානේ ගියාය. මාධ්‍ය හරහා සහ ජාත්‍යන්තර වේදිකා හරහා සිය පැමිණිල්ල අඛණ්ඩව පවත්වාගෙන ගියාය. ‘වධ බන්ධනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවට’ ගිය ලංකා ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මොහාන් පීරිස්, එක්නැලිගොඩ පිටරටක වෙසෙන බව කී අවස්ථාවේ, ඒ ගැන සොයා බලන්නැයි ඉල්ලමින් ‘වධ බන්ධනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවට’ සන්ධ්‍යා ලීවාය. එසේම, ලංකාවේ අධිකරණය ඉදිරියට මොහාන් පීරිස් ගෙන්වා ඒ ගැන විමසන්නැයි ඉල්ලා සිටියාය.

පැහැර ගත් සිය සැමියා වන ප්‍රගීත් සොයා අනවරත අරගලයක නිරත දිරිය ගැහැණිය – සන්ධ්‍යා

සන්ධ්‍යා මුහුණ දුන් අභියෝග

සත්‍යය සහ යුක්තිය සොයා යන ඇගේ නිර්භය ගමනේදී, ඈටත් ඇගේ දරුවන්ටත් මරණ තර්ජන එල්ල විය. බිය වැද්දීම් සහ අපහාසයන්ට මුහුණදීමට සිදු විය. ඈට එරෙහි අපවාදාත්මක පෝස්ටර් පවා ප්‍රසිද්ධ ස්ථානවල අලවා තිබුණු අතර ඇය අපහාසයට පත්කෙරන සටහන් අන්තර්ජාලයේ පළ විය. 2012 දී, නීතිපති දෙපාර්තමේන්තුවේ එක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයෙක්, ඇයව උසාවියේදී නිර්දය ප්‍රශ්න කිරීම්වලට ලක්කෙළේය. තමාගේ අතුරුදහන් වූ සැමියා පිළිබඳ සත්‍යය සහ යුක්තිය ඉල්ලා මෙසේ ඈ හඬාවැටීම, රටක් වශයෙන් ලංකාව අපකීර්තියට පත්කිරීමකියි මේ නීතිවේදියා කියා සිටියේය.

ගලගොඩඅත්තේ ඥානසාර කළ තර්ජනය

උසාවි පරිශ්‍රයන්හිදී මෙන්ම, පාරතොටේදීත් විවිධ පුද්ගලයන්ගේ එදිරිවාදීකම්වලට මුහුණදුන් ඇය, හමුදා බුද්ධි අංශ සහ ඒවායේ ආධාරකරුවන්ගේ චෝදනාවන්ටත් මුහුණදුන්නාය. ‘බොදුබල සේනා’ සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර උසාවියේදීම ඈට තර්ජනය කළ අවස්ථාවේ, ඒ ගැන පොලීසියට පැමිණිලි කළ ඈ, පසුව එම සිද්ධිය සමථයකට පත්කරගැනීමට වෙනත් පාර්ශ්වයන් ගත් උත්සාහයන්ද ව්‍යර්ථ කළාය. උසාවිය තුළ එදා මේ භික්ෂුවගේ හැසිරීම ගැන මහේස්ත්‍රාත්වරයාද පැමිණිලි කිරීමෙන් අනතුරුව, සන්ධ්‍යාට තර්ජනය කිරීමත්, උසාවියට අපහාස කිරීමත් යන චෝදනා දෙකටම වැරදිකරු වී එම භික්ෂුව හිරේට නියම කෙරුණි. හිටපු ජනාධිපතිවරයා පසුව ඔහුට සමාව දුන්නේය. එහෙත් සන්ධ්‍යා ඒ ජනාධිපති සමාව අධිකරණය ඉදිරියේ දැන් අභියෝගයට ලක්කොට තිබේ.

මෑත කාලීන සිදුවීම්

අන්තර්-ආගමික සමගිය සහ වාර්ගික-ආගමික සුළුතර ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින වටරැක විජිත හිමියන් වරක් පවත්වමින් සිටි මාධ්‍ය සාකච්ඡාවකට කඩාවැදී බාධා කිරීමේ වරදට, ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට 2023 මාර්තු මාසයේදී අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීමට සිදු විය. එහෙත් මේ විත්තිකරුවාට වින්දිතයා වෙනුවෙන් ඒ සඳහා ගෙවන්නට සිදුවුණේ රුපියල් 300,000 ක් පමණි. අදාළ සිද්ධිය වූ දා පටන් වසර 9 කටත් වැඩි කාලයක් තිස්සේ යුක්තිය සොයා වටරැක හිමියන් වෙහෙස වී තිබුණි. ඒ කාලය තුළ, රොතලවෙල සිය පන්සලේ සිට පැය හතක් තිස්සේ බස් කිහිපයකින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීමට උන්වහන්සේට සිදුව තිබීමෙන්, එකී ආයාසයේ තරම සිතාගත හැකිය.

මාධ්‍යවේදීන් තුන් දෙනෙකුට මඩකළපුවේදී හදි කිරීම

බෞද්ධ භික්ෂුවක් විසින් නායකත්වය සපයන ලද 50 ක් පමණ වන සිංහල පිරිසක් දෙමළ මාධ්‍යවේදීන් තුන් දෙනෙකුගේ වාහනය වටකොට, ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ද ඉදිරියේ, පැය පහක පමණ කාලයක් තිස්සේ ඒ මාධ්‍යවේදීන් අඩස්සිගත කරගෙන සිටීම පිළිබඳ සිද්ධියත් යටගහන තත්වයක් දැන් සිටම පෙනෙන්ට තිබේ. පසුගිය අගෝස්තු මාසයේ නැගෙනහිර පළාතේ ඇති වූ මේ සිද්ධියට සම්බන්ධ කලහකාරී පිරිසේ සමහරුන් අත කඩු කිණිසිත් තිබී ඇත. සිද්ධියට හේතුව, මයිලතමඩු ප්‍රදේශයේ දෙමළ ජාතිකයන්ගේ ගව පාලන ඉඩම් වගයක්, රාජ්‍ය අනුග්‍රහය යටතේ යම් පිරිසක් විසින් බලෙන් අල්ලාගැනීමට තැත් කරතැයි කියන සිදුවීමක්, මේ මාධ්‍යවේදීන් විසින් එම සිද්ධිය වාර්තා කිරීමට යාමත් ය. ඔවුන් සමග එහි ගිය සිවිල් ක්‍රියාකාරිකයන් සහ පූජ්‍ය පක්ෂයේ කිහිප දෙනෙකුද ඉහත කී කලහකාරී පිරිස විසින් බලහත්කාර අඩස්සියේ තබාගෙන ඇත.

මාධ්‍ය ආයතනයක ජැකට්ටුවක් හැඳ සිටි එක් මාධ්‍යකරුවෙකුගේ කැමරාවේ ඡායාරූප සහ කිරි ගොවීන්ගේ සාක්ෂි ඇතුළත් වීඩියෝ පටද, අදාළ ඉඩමට කලහකාරීන් විසින් ගිනි තැබීමේ දර්ශනද ඇතුළත් සියල්ල එම මැර පිරිස විසින් බලහත්කාරයෙන් මකා දමා ඇත. එපමණක් නොව, මේ සිද්ධිය ගැන කිසිවක් වාර්තා නොකරන බවට පොරොන්දුවක්, සිංහලෙන් සහ දෙමළෙන් අත්සන්කොට දීමටත්, මේ මාධ්‍යවේදියාට බල කෙරී ඇත. අනිත් දෙන්නා සිය මාධ්‍ය අනන්‍යතාව රහසක් වශයෙන් තබාගෙන, සිද්ධියෙන් පැය පහකට පමණ පසු එතැනට පැමිණි පොලීසියට තමන් මාධ්‍යවේදීන් බව දන්වා සිටීමෙන් අනතුරුව කලහකාරී ජනතාව ඔවුන්ගේ ඡායාරූපත් මකා දමන ලෙස පොලීසියෙන් ඉල්ලා ඇත.

පොලිස් සහ හමුදා භ්‍රෂ්ටයන්ට ඉහළ තනතුරු පිරිනැමීම දණ්ඩමුක්තිය සඳහා ලබාදෙන ලයිසමකි

විමර්ශනාත්මක මාධ්‍යවේදියෙකු වන තරිඳු ජයවර්ධන විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ වාර්තාවක් පළ කිරීම ගැන කෝපයට පත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා 2021 ජුලි මාසයේදී තරිඳු ජයවර්ධනට මුහුණුපොත හරහා මරණ තර්ජන එල්ල කෙළේය. මේ ගැන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කළත්, දේශබන්දු තෙන්නකෝන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට එහා කිසිවක් බලධාරීන් කෙළේ නැත. ඒ ප්‍රකාශය පවා ඔහුගෙන් සටහන් කරගත්තේ, පැමිණිල්ලෙන් වසරකටත් වැඩි කාලයක් ගතවීමෙන් පසුවයි.

දේශබන්දුගේ මුක්තිය

තෙන්නකෝන් මහතාට එරෙහිව නඩුවක් ගෙන යාමට තරම් පදනමක් නැතැයි නීතිපතිවරයා විසින් පොලීසියට උපදෙස් දී ඇති බව පොලීසිය විසින් පසුව තරිඳු ජයවර්ධනට දන්වා තිබේ. මරණ තර්ජනයක් පිළිබඳ එතරම් පැහැදිලි සාක්ෂියක් තිබියදීත් මේ පොලිස් නිලධාරීයා කිසි දවසක නීතිය ඉදිරියේ වගනොවන බව එයින් පෙනේ. මේ සිද්ධියත්, 2019 පාස්කු ප්‍රහාරය ඇතුළු තවත් බොහෝ සිද්ධිවලට අදාළවත් මොහුට විරුද්ධව නැඟී ඇති අපමණ චෝදනා තිබියදීත් ඔහු තවමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් සේවයේ යෙදී සිටී. ඊටත් වඩා ඇඟ කිලිපොවන කාරණය වන්නේ, ඊළඟ පොලිස්පති තනතුරට ඔහුව පත්කිරීමේ සූදානමක් ඇති බවට ආරංචි ලැබෙමින් පැවතීමයි.

බැණවැදීමට දඩුවම උසස්වීමකි!

මීට වසර හතකට පමණ කලින්, 2016 දෙසැම්බර් 10 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී, සිවිල් ඇඳුමින් සැරසී සිටි එවක නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, හම්බන්තොට වරායේ විරෝධතා අවස්ථාවක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදියෙකුට පහර දී බැණවැදුනි. ඒ ක්‍රියාව ගැන ඔහුට විරුද්ධ පියවර ගන්නවා වෙනුවට, ‘ආරක්ෂක කාර්ය ප්‍රධානී’ තනතුරට පසුව ඔහුව උසස් කරන ලදි.

ඉන්පසු, 2018 නොවැම්බර් 28 වැනිදා, ආරක්ෂක අංශයේ උසස්ම නිලය වන මේ තනතුරේ සිටියදීම ඔහුව අත්අඩංගුවට ගැනුණි. ඒ, 2009 දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණ සැපයීමේ චෝදනාව යටතේ ය. එදා අත්අඩංගුවට පත් දවසේ ඔහුව උසාවි පරිශ්‍රයෙන් ඉවතට ගෙන යන අවස්ථාවේ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් විසින් එක් මාධ්‍යකරුවෙකුට පහරදෙන ලදි. විජේගුණරත්න මහතා හෝ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් හෝ මේ කිසි ක්‍රියාවකට වැරදිකරුවන් වුණේ නැත. ඒ වෙනුවට, 2023 ඔක්තෝබරයේදී ඔහුව පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුරට පත්කිරීමට, ‘උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව’ විසින් නිර්දේශ කරන ලදි.

දණ්ඩමුක්තිය අභියෝගයට ලක්කිරීම ඉදිරියේ ඇති අභියෝග

මාධ්‍යවේදීන්ට එරෙහිව අපරාධ කිරීමටත්, එවැනි අපරාධකරුවන් බලගැන්වීමටත් දායක වී ඇති සාධකය වන්නේ, කිසි දඬුවමක් නොවිඳ අපරාධවල නියැළීමට ඇති අවසරය හෙවත් දණ්ඩමුක්තියයි. මේ හේතුව නිසා, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට ස්වයං-වාරණයක් පනවාගැනීමට බල කෙරී ඇත. හැංගී සිටීමට ඔවුන්ට සිදුව ඇත. රටින් පැනයාමට සිදුව ඇත. අපරාධකරුවන්ට තව තවත් වරදාන සැපයෙන තත්වයක් තුළ තව තවත් මාධ්‍යවේදීන්ට අත්වනු ඇත්තේද ඒ ඉරණමමයි.

ශ්‍රී ලංකාවේ පවතින අපරාධ යුක්ති විනිශ්චය ක්‍රමවේදය තුළ පවතින දුර්වලතාවන් නිසා, දණ්ඩමුක්තියට එරෙහිව ඒ පස්සේ පන්නා යාම, මාධ්‍යවේදීන් ඇතුළු ඕනෑම කෙනෙකුට අනවශ්‍ය කාලයක් ගත කිරීමට සිදුවන, වෙහෙසකර කාර්යයක් වී ඇත. එය, විශාල වියදම්කාරී වන සහ මානසික ආතතිය ඇති කරවන ආයාසයක් වී ඇත. එපමණක් නොව, දණ්ඩමුක්තිය අභියෝගයට ලක්කිරීම, භයානක කාර්යයක්ද වී ඇත. ඒ නිසා බොහෝ දෙනා, මේ දණ්ඩමුක්තිය ප්‍රශ්න කිරීමට බිය වෙති.

රනිල් රාජපක්ෂගේ දෙබිඩි පිළිවෙත

දේශපාලනික අධිෂ්ඨානය සහ කැපවීම නැතිකම, දණ්ඩමුක්තිය එකදිගට විරාජමාන කරවන ප්‍රධාන සාධකයයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ සිටියදී, මාධ්‍ය නිදහස වෙනුවෙන් සහ දණ්ඩමුක්තියට එරෙහිව, එක්නැලිගොඩ අතුරුදහන් වීමේ සිද්ධියට අදාළව බොහෝ සෙයින් කතා කෙළේය. 2015 සිට 2019 දක්වා ඔහු අගමැති වශයෙන් සිටියදී, ඒ සිද්ධියට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය ගැන කරුණු තමාට වාර්තා කරන්නැයි ඉල්ලා සිටියේය. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූ දාට පසුව දාම සන්ධ්‍යාට කතා කළ ඔහු, සත්‍යය සහ යුක්තිය සෙවීමට ඈට උපකාර වන බවට පොරොන්දු වූවේය. එහෙත් දැන් ඔහු ජනාධිපති වී සිටින තත්වයක් යටතේ, මේ සිද්ධියට ආදළ ප්‍රධාන නඩු දෙකක කටයුතු, දීර්ඝ පමාවන් යටතේ දුර්වල වෙමින් තිබෙන බවට පෙරනිමිති තිබේ.

සන්ධ්‍යා එක්නැලිගොඩ සහ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංගත්, යුක්තිය වෙනුවෙන් කැප වුණු නිර්භීත තවත් බොහෝ මාධ්‍යවේදියෝ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝත්, අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවන මෙන් එක දිගටම ඉල්ලා සිටිත්. ඒ අරභයා, ඉඳහිට ඔවුන් ලබන සාර්ථකත්වයන් යම් තරමක සතුටක් ගෙන දෙයි. ඒ නිසා ඔවුන්ගේ අප්‍රතිහත ආයාසයන් කවදත් අගය කළ යුතුව තිබේ. දිරිමත් කළ යුතුව තිබේ. ඒවාට උදව් කළ යුතුව තිබේ.

මේ ගමනේදී, මාධ්‍ය නිදහස සහ මානව අයිතීන් පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර කණ්ඩායම්වලින් ලැබෙන සහායත් ඉතා වැදගත් ය. එහෙත් වින්දිතයන් වෙනුවෙන් කෙරෙන එවැනි ප්‍රයත්නයන් සඳහා වන දීර්ඝකාලීන, සර්වව්‍යාපී, සාකල්‍ය සහ සුනම්‍ය සහයෝගයන්හි අඩුවක් දක්නට තිබේ. වීදි විරෝධතා, සංස්කෘතික ක්‍රියාකාරකම්, නීතිමය ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර මැදිහත්වීම් ආදී බහු-විධ ප්‍රවේශයන්හි වැදගත්කම එහිදී අතිමහත් ය. අපරාධකරුවන් නීතිය ඉදිරියේ වගවීමට බැඳගැනීම යන ඉලක්කය සාධනය කරගැනීමට නම්, තනි පුද්ගල සිද්ධි පිළිබඳ ඒකල නඩු කටයුතු සමග, සමස්ත අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ ඇති කෙරෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ දේශපාලනික නායකත්වයේ අධිෂ්ඨානය සහ කැපවීම එකට ගමන් කළ යුතුය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ආස්ථානය වන, “ශ්‍රී ලංකාව මුහුණදෙන වගවීම් විරහිත භාවයේ දැවැන්ත ප්‍රශ්නය වහා විසඳා නොගත්තොත්, රට තවත් ප්‍රපාතයට ඇද වැටෙනු ඇතැ” යි යන්න, මාධ්‍යවේදීන් අරභයා, මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශනය සහ අදහස් දැරීමේ නිදහස අරභයා සීයට සීයක්ම සත්‍යයකි.

 

2023 නොවැම්බර් 2 දින Ground Views පුවත්පතෙහි “Challenges in  addressing impunity for crimes against journalists in Sri Lanka” මැයින් පල වූ රුකී ප්‍රනාන්දු විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය governancelanka වෙතිනි.

Archive

Latest news

Related news