Friday, May 3, 2024

“ප්‍රචණඩත්වයේ දශක පහක් මැදින් ගැහැණියක් ” – යනූෂා ලක්මාලි

‘මැණික්’ යන ආදර නාමයෙන් මුළු මහත් සමාජයම දන්නා දශක පහක ක්‍රියාකාරී සාමාජික දේශපාලන ජීවිතයකට උරුමකම් කියන බණ්ඩාර මැණිකේ මහත්මිය විසින් රචනා කරන ලද ‘ප්‍රචණ්ඩත්වයේ දශක පහක් මැදින් ගැහැනියක්’ කෘතිය ජනගත කිරීම 2023 ඔක්තෝබර් මස 22 වන ඉරිදා දින කුරුණෑගල ඉබ්බාගමුව දේවසරණ මධ්‍යස්ථානයේ දී සිදුකෙරිණි. එම උත්සවයේ දී ලේඛිකා යනූෂා ලක්මාලි විසින් පවත්වන ලද දේශනයේ සංස්කරණය කළ පිටපත මෙසේ පළ කරමු.

මෙම කෘතියේ ‘ප්‍රචණ්ඩත්වයේ දශක පහක් මැදින්’ කියන වචන හතරට වඩා විශාල අකුරෙන් ‘ගැහැනියක්’ කියන වචනය මුද්‍රණය කර තියෙනවා. මට මේ කෘතිය තුළින් හමුවුණ ගැහැනියත් ආත්ම ශක්තිය, ධෛර්යය සහ පෞරුෂය අතින් විශාල ගැහැනියක්. මම විශ්වාස කරන ආකාරයට ‘ගැහැනියක්’ කියන්නෙම ‘දරාගැනීමට’ කියන තවත් නමක්. දරුවකු කුස තුළ දැරීමේ පටන් මුළු ජීවිත කාලය පුරාම ඇය කරන්නේ දරා ගැනීමයි.

යනූෂා ලක්මාලි කෘතිය ජනගත කිරීම දා

ඇය දුන් පිලිතුර 

මේ කෘතිය පිළිබඳව මාගේ අදහස දක්වන්න කියලා මැණික් අක්කා මට ආරාධනා කරපු වෙලාවෙ මම ටිකක් තැති ගත්තා. මොකද ඇය වගේ විශාල චරිතයක් පිළිබඳව මම වගේ පුංචි කෙනෙක් මොනවා කියන්නද කියලයි මට හිතුණෙ. මම ඇයට එවෙලේ සඳහන් කළා ‘මම කවදාවත් මෙවැනි දෙයක් කරලා නෑ’ කියලා. එවෙලෙ ඇය මට දුන්නා හරි අපූරු උත්තරයක්. ඒ තමයි ‘අපි කවදාවත් කරල නැති දේවල් තමයි කරන්න ඕනේ’ කියන එක.

ඒ කතාවේ මොනතරම් ඇත්තක් තියනවද කියලා මම කල්පනා කළා. මගේ ජීවිතෙන්ම ඒකට හොඳම උදාහරණයක් ගන්න මම කැමැතියි. 2019 වර්ෂයේ අප්‍රේල් 01 වෙනිදා මගේ සැමියා ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගන්නවා. ඒ භික්ෂූන් වහන්සේලා පිරිසක් කරපු පැමිණිල්ලකට අනුව. ඔහුට එරෙහිව තිබූ චෝදනාව තමයි මුහුණු පොතේ පළ කරපු ‘අර්ධ’ කියන කෙටිකතාව මඟින් බුදු දහමට සහ ලාංකීය භික්ෂූන් වහන්සේට අපහාසයක් සිදුවීම කියන එක. අත්අඩංගුවට ගන්න මොහොත වන විට ඔහු පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනමින් හිටියෙ. මම වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරමින් හිටියෙ. ඒ මොහොත වෙද්දි මගේ දරුවෝ දෙන්නම පොඩියි. පුතාට අවුරුදු 04 යි. දුවට අවුරුදු 01 ½ යි. මවක් විදිහට, බිරිඳක් විදිහට සහ රාජ්‍ය සේවයේ රැකියාවක් කරපු නිලධාරිනියක් විදිහට මම ඒ වෙලාවේ පුදුම අපහසුතාවයකට පත්වුණා.

ශක්තික අත්අඩංඟුවට ගත්තයින් පසසේ

ඒ කාලයෙදි දරුවො දෙන්නයි, අපි දෙන්නයි විතරයි ගෙදර හිටියෙ. අපි වැඩට ගියහම දරුවො බලාගන්න නැන්දා කෙනෙක් ආවා. හවස අපි නැවත ගෙදර ආවහම ඇය දරුවෝ අපට භාර දීල ගෙදර යනවා. මේ විදිහට තමයි කාලය ගෙවුණේ. නමුත්, ශක්තික සිරගත කිරීමත් එක්ක මම සෑහෙන අපහසුතාවන්ට මුහුණ දුන්නා. ඔහුට මාස 04 ක් කෑගල්ලෙ රක්ෂිත බන්ධනාගාරයෙ ඉන්න සිද්ධ වුණා. දවස්වලින් ගත්තොත් 130 ක්. ඒ දින 130 මගේ ජීවිතේ වෙනස්ම අත්දැකීමක්. ඒ ගැන කතා කළොත් වෙනම පොතක් ලියන්න තරම් අත්දැකීම් ප්‍රමාණයක් ඒ කාලය තුළ තිබුණා.

එවෙලෙ මට සමාජය ගැන පුදුම කළකිරීමක් දැනුණා. සාහිත්‍ය නිර්මාණයක් හඳුනා ගන්න බැරි, සාහිත්‍ය නිර්මාණයක් රස විඳින්න දන්නෙ නැති, ආකල්පවලින් නොදියුණු මිනිස්සු ඉන්න සමාජයක ජීවත් වීමට සිදු වීම ගැන මම එදා ඇත්තටම කනගාටු වුණා. පසුතැවුණා. කෝටි ගණන් මුදල් වංචා කරල රට මේ තත්වෙට ඇද දාපු මිනිමැරුම්, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ කරපු මිනිස්සුන්ට එරෙහිව හඬක් නගන්නෙවත් නැති අය නිර්මාණකරුවො සිරගත කරලා බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියන ගැටලුව මට තියෙනවා. ලංකාව කියන්නෙ පිළිගත යුතු දේ බැහැර කරලා බැහැර කළ යුතු දේ පිළිගන්න මිනිස්සු ඉන්න රටක්. ශක්තිකට ඇප දෙන්න එපා කියලා ලංකාවෙ සිල්වත් යැයි කියාගන්නා භික්ෂූන් වහන්සේලා උසාවි ඉදිරිපිට උද්ඝෝෂණත් කළා.

ජනගත කල දා

ජීවිතේ කියන්නෙම අනපේක්ෂිත සිදුවීම් රැසක එකතුවක්

ඉතින් මට කියන්න අවශ්‍ය වුණේ අපි ජීවිතය ගැන සැලසුම් කරනවා කිව්වට, මම හිතන විදිහට අපි කාටවත් ජීවිතේ ගැන නියම සැලසුමක් කරගන්න බැහැ. මොකද ජීවිතේ කියන්නෙම අනපේක්ෂිත සිදුවීම් රැසක එකතුවක්. මැණික් අක්කා කිව්ව වගේම මට ඒ වෙලාවේ මුහුණ දෙන්න සිදුවුණේ මම කවදාවත් මුහුණ දෙන්න වෙයි කියලා හිතපු දේකට නෙමේ. නමුත් මට ඒ දේ කරන්න සිදුවුණා.

‘ගැහැනියක්’ කෘතිය ස්වයං ලිඛිත චරිතාපදානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අපි දන්නවා එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’, කේ. ජයතිලකයන්ගේ ‘පුංචි පැළේ ගස වෙනා’, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘උපන් දා සිට’, සුමන ආලෝක බණ්ඩාරයන්ගේ ‘සුමන මතක හා පැටිකිරිය’, නිව්ටන් ගුණසේකරයන්ගේ ‘ගලන ගඟ මනරම්’ වගේ චරිතාපදාන අප එසේ හොඳින් රසවිඳපු කෘති විදියට හඳුන්වන්න පුලුවන්. සමුද්‍රිකා ද සිල්වාගේ ‘එක තරුණ ගුරුවරියක්’ කියන කෘතියත් අර්ධ චරිත කතාවක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්.

පරිපූර්ණ ජීවිතයක් කියවා ගත හැකි වීම

මෙවන් ආත්ම චරිත කථාවකින් ලබා ගන්න පුළුවන් වටිනාම දේ තමයි පරිපූර්ණ ජීවිතයක් කියවා ගත හැකි වීම. හේතුව, එහිදී ලේඛකයා තමන්ගේ ජීවිත කතාවම පාඨකයා සමග බොහොම නිර්ව්‍යාජව බෙදා ගන්නවා. බණ්ඩාර මැණික්ගෙ මේ කෘතියත් එවැනිම රස පිරුණු කෘතියක් ලෙස හඳුන්වන්න පුළුවන්.

කතාවක් තියනවනේ “කෙනෙක් වෙත්නම් බත් එක්ක කඳුළුත් අනන් කාපු… කතා දෙකක් නෑ අනේ ඒ ගෑනු…” කියලා. ඉතින්, මේ කෘතිය පුරාම මට හමුවුණේ එවැනි දුක් විඳපු කාන්තාවන් වෙනුවෙන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කරපු උදාර කාන්තාවක්. 

මේකේ මුල් කොටසෙදි ඇගේ පාසල් කාලය, ඇය පේරාදෙණිය සරසවියේ ගෙවපු ජීවිතය, ඊළඟට දේවසරණට එකතු  වීම ඇය ඇගේ දෙවැනි සරසවිය කියලා හඳුන්වනවා. එමෙන්ම, එයට සම්බන්ධ වීමෙන් අනතුරුව ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ පිහිටුවීම, ලක්බිම වෙනුවෙන් මව්වරු සහ දියණියෝ වැනි සංවිධාන පිහිටුවීම, කාන්තා මඟ, අත්වැල ආදී සඟරා පළ කිරීම ආදිය ගැන සඳහන් වෙනවා. ඒ ඔස්සේ විවිධාකාරයෙන් සමාජය තුළ පීඩාවට ලක්වූ ගැහැනුන්ට දිරියක් වූ අයුරු අපට දැක ගන්නට පුළුවන්. එපමණක් නෙවෙයි පෙර පාසල් පිහිටුවීම, මාතෘ උපදේශනයේ පටන්ම කාන්තාවන්ට ශක්තිමත්ව ජීවිතයට මුහුණ දිය හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමට ඇය මූලිකත්වය ගෙන තිබෙනවා.

කතාවක් තියනවනේ “කෙනෙක් වෙත්නම් බත් එක්ක කඳුළුත් අනන් කාපු… කතා දෙකක් නෑ අනේ ඒ ගෑනු…” කියලා. ඉතින්, මේ කෘතිය පුරාම මට හමුවුණේ එවැනි දුක් විඳපු කාන්තාවන් වෙනුවෙන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කරපු උදාර කාන්තාවක්.

මෙම ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ පිහිටුවීමට යාමේදී ඇය ප්‍රමුඛ පිරිස බොහෝ ගැටලුවලට මුහුණ දෙනව. මේක පිරිමින්ට විරුද්ධ සංවිධානයක් කියන අදහස පැතිරෙනවා. නමුත් මේක පුරුෂයන්ට විරුද්ධව කළ අරගලයක් නෙමේ, ස්ත්‍රිය පහත් කොට සලකන පුරුෂ මූලික මතවාදයට විරුද්ධව කළ අරගලයක් බව මැණික් අක්කා අපට සාක්ෂි ඇතුවම පෙන්වා දෙනවා.

ආදරය ගැන කියන දේ

මේකෙ රසවත්ම කොටස ආදරය විදිහට මට හඳුන්වන්න පුළුවන්. මේකෙ එක තැනක මැණික් අක්කා සදහන් කරනවා සුනන්ද අයියා ඇයට ආදරය ප්‍රකාශ කරපු හැටි. ඒ වෙනකොටත් ඔවුන් දෙදෙනා මිතුරන් වශයෙන් එක්ව වැඩ කටයුතු රාශියක් කරගෙන යමින් හිටියෙ. දේවසරණෙදී ඔහු දවසක් ඇගෙන් අහනවා… “මැණික්.. මාත් එක්ක යාළු වෙනවද?” කියලා. එවිට ඇය කියනවා… “තව මොනවා යාළු වෙන්න ද?” කියලා.

කොහොම නමුත්, සුනන්ද අයියගෙන් බේරෙන්නම බැරි තැන ඇය “මට මාස හයක් කල් දෙන්න….” කියලා ඔහුගෙන් ඉල්ලනවා. එවෙලෙ සුනන්ද දේශප්‍රිය කියන මෙම තරුණයා ප්‍රකාශ කරනවා… “අවුරුදු හතක් හිරේ හිටපු මට මේ මාස හය මොකක්ද?” කියලා. හැබැයි සුනන්ද අයියට එදා තේරෙන්න නැතුව ඇති බරපතළ වැඩ ඇතිව හිරේ යන්න වෙන්නෙ විවාහයෙන් පස්සේ කියන කාරණාව. 

අපි හැමෝම ආදරය විඳපු අය වගේම අඩු වැඩි වශයෙන් ආදරේ නිසා විඳවපු අය. කොහොම වුණත් ප්‍රේමය, විවාහය, විවාහයෙන් අනතුරුව කාර්යබහුල වෙන ජීවිතය ගැන කතා කරනකොට මට මතක් වෙනවා අපූරු කවියක්. අවුරුද්දක දින ගත්තහම ඒවා එකට එකක් කාරණා සඳහා වෙන් කරලා තියෙනවනෙ. ඒ දින අතරෙ පෙම්වතුන්ටත් වෙනම දිනයක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දේ එක දවසක් (පෙබරවාරි 14) ආදරය කරන්න, ඉතුරු දවස් 364 ම රණ්ඩු කරන්න තමයි අවස්ථාව දීලා තියෙන්නෙ. මේ කවියෙදී අපිට හමු වෙන්නේ වැලන්ටයින් දවසෙත් රණ්ඩු වෙච්ච ආදරවන්තයෝ දෙන්නෙක්.

මේ කවිය ලියන්නෙ සුහර්ෂිණී ධර්මරත්න කියන කිවිඳිය. ඇයගෙ ‘සුදු වත හැඳි කෙකණිය’ කියන කාව්‍ය සංග්‍රහයෙ තමයි මේ කවිය අන්තර්ගත වෙන්නෙ. කවියෙ මාතෘකාව ‘වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුණා..’

පොඩි චූටිට වයිරස් උණ

රෑ තිස්සෙම ඇඟ තෙම තෙම 

හිටියේ ෆිට් එකට බයේ 

ලොකු චූටිට විභාගෙ අද 

මං හිටියේ බත් බැඳ බැඳ

ඒ වෙලාවෙ චූටි ඇඬුවේ ඇඳුම තෙමන්

චූටිගෙ තෙත මාරු කරල 

ලොකුගේ සුදු ගවුම මැදලා 

ඉවර කරලා උණ බැලුවම 

දන්නෙම නෑ එකසිය ගානකට නැගලා 

චූටි ඇඬුවෙ වෙව්ව වෙව්ල

දැන් මේ කවිය ආරම්භයේ ඉඳන්ම කියවෙන්නේ මේ කාන්තාව, මේ අම්මා ගෙදරක කරන මෙහෙය මොනතරම් ද කියන කාරණය. දරුවට උණ හින්ද ඒ අම්මා එළිවෙනකල් ඇඟ තෙම තෙම ඇහැරිලා ඉඳලා තියෙන්නෙ. අපිත් අම්මල විදියට ඒ අත්දැකීම විඳපු අය. එහෙම නිදිමැරුව කියල ඇයට එළිවෙනකල් නිදාගන්න නෑ හැබැයි. උදේටත් වැඩ රාජකාරි අපමණයි ගෙදරක. මේ තරම් දේවල් ඇය තනියම කරද්දි මේ ගෙදර මිනිහා කෝ කියන සිතුවිල්ලක් සහෘද අපට එනවා. ඒ ගැන ඊළඟට කිවිඳිය විස්තර කරනවා.

එයා හිටියෙ රැවුල බබා

උරුහම් බානවත් ඇහුණා

බබා බලන්නට කීවම

එයාට අද යකා වැහුණා

ඒත් අම්මෙ මං ඉවසුවා 

‘එයාගෙ අම්මා හිටියේ බණ අහ අහ 

ටීවී එකටත් වැඳගෙන’

අපේ රටේ අය එහෙමනෙ. ශ්‍රද්ධාව වැඩි වුණාම ටීවී එකටත් වඳිනවා. රේඩියෝ එකටත් වඳිනවා. හැබැයි හිතේ ශ්‍රද්ධාව නෑ.

‘ළමයි බමයි නිදිකරලා 

අපි නං කුඹරටත් ගියා’ 

එයා කිව්වේ මට ඇදේට 

ඒත් අම්මෙ මං ඉවසුවා

කිවිඳිය තමන්ගේ අම්මාට කියන දෘෂ්ටිකෝණයෙන් තමයි කවිය ලියන්නෙ. මොකද ගැහැනියෙක් විඳින දුක වඩා හොඳින් අඳුනන්නේ තවත් ගැහැනියක්නෙ. තමන්ට සමීපතම ගැහැනිය තමයි ‘අම්මා’ කියන්නෙ.

‘මේ සේරම කරන්න මට 

තියෙන්නේ අත් දෙකයි’ කියලා 

කීවෙත් මම බොහොම හෙමින් 

මගෙ කරුමෙට ඒක ඇහිලා 

මෙතෙන්දි යමක් සඳහන් කළ යුතුයි. මැණික් අක්කා මීට පෙර රචනා කරපු ‘ගෑනු කතා විසිපහක්’ කෘතියෙදි ගෑනු චරිත 25 ක් ගැන කතා කරනවා. එතෙන්දි, අපට හමුවන කාන්තා චරිත සියල්ලම පාහේ මෙවැනි තැන්පත්, නිවුණු සහ සැමියාට තිබෙන බය නිසා බොහෝ දේ ඉවසපු ගෑනු.

‘ගෑනු දෙතුන් දෙනෙක් ගන්න

කියලද දැන් මට කියන්නෙ’ 

එයා ඇහුවෙ සද්දෙ දමලා 

‘මගේ මොකද’ මාත් කිව්වා..

‘තමුසෙ කියනකල් හිටියේ 

මටත් ඕක හිතුණා’ කියලා 

එයා කිව්වේ ඔලුවේ ජෙල් ගාන ගමන් 

අම්මේ මට යකා වැහුණ

වතුර ජෝගුවත් පෙරළුණා 

එයා ගියේ කේන්තියෙන් 

ලොකූ ගියේ බඩගින්නෙම 

නැන්දම්මත් බුම්මාගෙන

කෑවෙත් අද එහාගෙයින්…

ඔෆිස් එකට කෝල් කරල 

බබාට උණ බව කීවම 

‘වැලන්ටයින් සමරනවද

සර්රුත් ඔච්චමට ඇහුවා….’

කවියේ හොඳම අවස්ථාව තමයි අන්තිමටම එන්නෙ.

“ඊයෙ ෂෝර්ට් ලීව් දමලා 

ගත්ත කමිසෙ බෑග් එකේ 

දෙන්න හිතෙන්නෙත් නෑ දැන් 

අම්මේ මට බනින්නෙපා 

වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුණා…”

සැමියාගෙන් පුංචිම හෝ සහනයක් නැතිව ජීවිතේ සියල්ල දරාගත්තත් ඇය මේ දිනය අමතක කළේ නෑ. කලින් දවසේ නිවාඩු දාලා ගිහින් හරි ඔහුට දෙන්න තෑග්ගකුත් ඇය අරගෙන. මේ සැමියට හැබැයි ඒවා මතක නෑ. හුඟක් මහත්තුරුන්ට එහෙමනෙ. උපන්දිනේවත් හරියට මතක නෑ. ඉතින් අනිත් දවස් මතක තියෙයියෑ. විවාහයේ දී සැමියා හා බිරිඳ එකිනෙකාට කෙතරම් උදව් කරගන්නවාද, කෙතරම් අවබෝධයක් දෙදෙනා අතර තියෙනවද කියන කාරණාව තමා වඩා වැදගත් වෙන්නෙ.

මේ කවියෙදි අපට හමුවූණ යටහත් පහත් ගැහැනිය හැම නිවසකම නැහැ. මං එහෙම කියන්නෙ මේ වෙනස පෙන්වන්න මම තවත් කවියක් තෝරගන්නවා. කවිය ලියන්නෙ නන්දසිරි කීඹියහෙට්ටි කියන කවියා. ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. වර්තමාන සමාජ ප්‍රශ්න ඉතා අපූරුවට කවියට නගන දක්ෂයෙක් ලෙස මම ඔහු හඳුන්වන්න කැමැතියි.

ගෙදර ඉන්නා දවසෙ නිදාගෙන හරියයිද 

මට කියා මේ සුමේ හැමදාම පුළුවන්ද 

ලොක්කිගේ පන්තියට දෙන්න සීයක් නැද්ද 

මං පාන් ගේන්නම් හදනවා කිරිහොද්ද 

මං හිතන්නේ පිරිමි ගැන අනුකම්පාවෙන් ලියවුණු එකම කවිය මේකද මන්දා. මේ කවියෙ හමුවෙන බිරිඳ අර කලින් බිරිඳ වගේ නිහඬව ඉන්නෙ නෑ. රැකියාවක් කරන්නෙත් නෑ. එතකොට ගෙදර ඉන්න දවසෙවත් සැමියා මේ වැඩ ටික තමන්ට කරල දෙයි කියලා ඇය හිතනවා. නැත්නම් ඒ ටිකත් ඇයටමනෙ කරන්න වෙන්නෙ.

සින්ක් එකේ බටේ දැලි කුණු ඉඳුල් බ්ලොක් වෙලා 

කුස්සියේ ලිප ගාව බල්බ් එක පිච්චිලා

කෙහෙල් කැන ඉදිරිලා පියස්සට හැප්පිලා

වතුර ටැංකිය ලීක් බිත්තියත් තෙත්වෙලා

දැන් අපට චිත්ත රූප මැවෙනවා මේ වදන් ඇහෙද්දි. සැමියා අවදි වුණාට තවමත් ඇඳේ ඇති, ඇය ඔහුට ඇහෙන්න තමයි මේවා කියන්නෙ.

බාප්පයි පුංචි අම්මයිත් එනවලු මෙහේ

පොඩ්ඩගේ බර කිරන් එන්න යනවද ඔහේ 

ගෙවල් කුලියත් දෙන්න බැරි වුණා මේ මහේ

හාල් පොල් ගෙනාවට කෝ ඕයි තුනපහේ 

‘කෝ ඕයි’ කියලා තමයි ඇය සැමියගෙන් ප්‍රශ්න කරන්නෙ. ‘ගෑනු කතා 25’ කෘතියෙ හමුවුණු සැමියෙකුගෙන් එහෙම ඔය විදියට ඇහුවා නම් ඇයට රෝහලක තමයි ඉන්න වෙන්න කියලා මට එවෙලෙ හිතුණා. ඊට පස්සේ කවියේ දී කියවෙන්නෙ බැඳපු අලුත ඇය ඔහුට කතා කරපු ප්‍රේමණීය විලාසය.

මහන්සිත් ඇතිනේ හොඳටෝම අද නම් රණේ 

තව ටිකක් තුරුළු වී නිදාගන්නකො පණේ 

එදා කී පෙම්වදන් හීනෙනුත් නෑසුණේ 

එළිවෙන්න හිතාගෙන මොනවටද රෑ වුණේ

රතු පාට ගාන්නේ දින කැලැන්ඩර් මැද

බරපතළ වැඩ ඇතිව හිරේ යන දවසද 

අනේ බොස් ගේට්ටුවෙ ඉබියතුරු දැම්මද 

ඔෆිස් ඇවිදින් ටිකක් ඉඳලා හරි යන්නද 

මෙතෙන්දි මේ පුරුෂයා කල්පනා කරන්නේ බිරිඳගෙ කියවිල්ලෙන් ගැලවිලා යන හැටි මිසක්, ඇය ඇයි මේ තරම් කියවන්නෙ කියන කාරණය ගැන නෙමෙයි. ගෙදර-දොර දරුවන්ගේ වැඩ එක්ක ලොකු පීඩනයක, වෙහෙසක ඉන්න ඇය බලාපොරොත්තු වෙන්නේ මේ වැඩවලට සහාය දෙන කෙනෙක් මිසක් එයින් පැනලා යන කෙනෙක් නෙමේ. විවාහ වුණු අලුත හිටිය වගේ සැහැල්ලුවෙන් දරුවො ලැබුණට පස්සේ ඉන්න බෑ. ජීවිතේ සංකීර්ණයි. ඉතින්, එතැනදි ගැහැනියෙකුට පිරිමියාගෙ සහය, ආදරය අවශ්‍යම වෙනවා. මේ කාරණය හුඟක් මහත්තුරු තේරුම් ගන්නෙ නෑ.

‘ගැහැනු’ ගැන හොඳම අර්ථකථනය වචන පහකට කැටිකරල ලියපු කවියෙක් තමයි ලක්ශාන්ත අතුකෝරල කියන්නෙ. ඔහුගෙ ‘සුසුමකින් සුළිසුළඟ’ කාව්‍ය සංග්‍රහයෙ තමයි ඒ කවිය අන්තර්ගත වෙන්නෙ.

‘වැඩ ඇරී වැඩට යන ගැහැනු…’

ස්ත්‍රිය හා පුරුෂයා ලෝකෙට උපදින්නේ සමානව. නමුත් ටික කාලයක් යද්දි සමාජය විසින්ම මේ දෙදෙනාට වෙනස් විදියට සැලකීම ආරම්භ කරනවා. බොහෝ විට මේ දේ මුලින්ම පටන් ගන්නෙ පවුල් තුළින්මයි. උදාහරණයක් විදිහට දුවලට ගෙනත් දෙනවා බෝනික්කෝ, මල්, වළං වගේ දේවල්. පුතාලට ඒව ගෙනත් දෙන්නෙ නෑ. එයාලට වාහන, ආයුධ වගේ ඒවා දෙනවා. ස්පයිඩර් මෑන්, සුපර් මෑන් වගේ වීර චරිත එයාලට හඳුන්වලා දෙනවා. දුවලට පුංචිකාලෙ ඉඳන්ම බෝනික්කො දීල හුරු කරනවා ළමයි නළවන්න. වළං දීල හුරු කරනවා  ආහාර පිසීම ඇතුළු මුළුතැන්ගෙයි කටයුතු.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සමාජ පිළිගැනීම ගැන පැහැදිලි කරන ‘එස්ටල් රමේ’ කියන විද්වතා පැහැදිලි කරනවා මෙන්ම මෙහෙම දෙයක්. ගෙදර ඉන්න දුවෙක් පිරිමියෙක් වගේ වැඩ කරනවා දැක්කහම ගෙදරට එන අය වුණත් කියනවලු ‘ෂා.. ඔයාගේ දුව හරියට කොල්ලෙක් වගේනෙ වැඩ කරන්නෙ… නියමයි” කියලා. එතකොට ඒ දෙමාපියන්ට ලොකු ආඩම්බරයක් දැනෙනවලු. හැබැයි ගෙදර ඉන්න පුතා පුංචි දේටත් ඇඬුවොත් “අපෝ.. මෙයා අඬන්නෙ හරියට කෙල්ලෙක් වගේනෙ. ලැජ්ජාවෙ බෑ..” කියලා කියනවලු. දුව පුතෙක් වගේ කිව්වම දැනෙන ආඩම්බරය, පුතා දුවෙක් වගේ කිව්වම දෙමව්පියන්ට දැනෙන්නෙ නෑ.

කතුවරිය මේ කෘතියෙදි සඳහන් කරනවා කාන්තා හිංසනයට විරුද්ධව කාන්තාවන් නගාසිටුවීමට ඇති ප්‍රධානම බාධකය ඒ කාන්තාවන්ගෙ ආකල්ප බව. ‘මිනිහෙක්ගෙන් ගුටි කන එක සාමාන්‍යයි’ කියන හැඟීම කාන්තාවන් තුළ තිබීම, ‘මිනිහෙක්ගෙන් ගුටි කාපු නැති ගෑනු ඉන්නෙ කොහෙද?’ වගේ ආකල්පයක් තමයි බොහෝ ගැහැනු තුළ තියෙන්නෙ. ඉතින්, මේ තත්ත්වය හරිම ඛේදවාචකයක්.

ස්ත්‍රී පුරුෂ සමානත්වය සැබෑ ජීවිතයේදී විශ්වාස කරන හා එය අනුගමනය කරන පුරුෂයෙක් හමු විය හැක්කේ කලාතුරකිනි. දේශපාලනයේ යෙදෙන පිරිමින් පවා කාන්තා නිදහස ගැන තර්ක ඉවසා සිටියත්, ඒවා තම වහල යට ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නැත. ජීවිත කාලයම විවාහ නොවී සිටියත් මට එවැනි මිනිසුන් නම් එපා යන මතයේ කලාතුරකින් සිටින ස්ත්‍රී ක්‍රියාකාරිනියන් කෙනෙකු දෙදෙනෙකු හැර අනෙකුත් සියලු ක්‍රියාකාරිනියෝ සමාජය පිරිමින් හා එක්ව අටවා ඇති මෙම උගුලට කැමැත්තෙන්ම ගමන් කරති.’

– 312 පිටුව –

– ගැහැනියක් කෘතිය –

ශ්‍රී ලංකාවේ වසරකදී සිදුවන ස්ත්‍රී ඝාතනවලින් වැඩි කොටසක් සිදුවන්නේ තම පෙම්වතා හෝ සැමියා අතින් කියන කාරණය සමීක්ෂණවලින් පවා තහවුරු වී තිබෙනවා. කුමක්ද මේකට හේතුව? ස්ත්‍රිය තමාගේ පෞද්ගලික සුඛ විහරණයයට නිර්මාණය කළ භාණ්ඩයක් ලෙස ඇතැම් පිරිමි හිතාගෙන ඉන්නවා. ඇය තමන්ට අයිති නොවෙනවා නම් වෙන කෙනෙකුට අයිති වෙන්නත් බෑ කියන අදහසේ තමයි ඔවුන් ඉන්නෙ. ඒ නිසාම තමයි ඇතැම් පෙම්කතා පිහි ඇනුම්වලින් කෙළවර වෙන්නෙ.

නමුත්, ජීවිතය පිළිබඳ පුළුල්ව දැකිය හැකි පුද්ගලයන් අතින් මෙවැනි විනාශ වෙන්නේ නෑ. කලාව හා සාහිත්‍යය ජීවිතයට ළං කර ගැනීමේ වටිනාකම නම් මෙවැනි සංවේදී මිනිසුන් බිහි කිරීමයි. උදාහරණයක් විදියට පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන හරි අපූරු ගීතයක් දක්වන්න පුළුවන්.

විකසිත පෙම් පොකුරු පියුම් 

ඔබේ පයට පොඩි වී ගියාදෙන් 

පතිකුලයට අද මට පිටුපා යන 

මගේ සොඳුරු ළඳුනේ 

මගේ සොඳුරු ළඳුනේ

මේ පෙම්වතා තමන්ගේ පෙම්වතියට කෙතරම් ආදරේද බලන්න. ‘මට පිටුපාලා පතිකුලයට ගියත් ඔබ තාමත් මගේ සොඳුරු ළඳ’ කියන ආකල්පයෙන් තමයි ඇය දෙස බලන්නෙ. එතන මොනතරම් හෘදයාංගම බවක් ද තියෙන්නෙ. එච්.ආර්. ජෝතිපාල මහත්තයා ගායනා කරන ‘උන්මාදිනියේ වෙන් වී යන පිටුපාලා’ ගීතයත් එවැනි තවත් ගීතයක්.

මීළඟට මම කැමැතියි නන්දසිරි කීඹියහෙට්ටි කවියාගේ තවත් අපූරු නිර්මාණයක් හඳුන්වා දෙන්න. මෙහි මාතෘකාව ‘සේපාලිකාගෙ බොඩිය’.

ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාළු 

ලස්සන මළකඳක් ගඟ ළඟ තිබුණාලු 

උස්සලා බැලුව මුත් ඇඳි රෙදි කඩමාලූ 

විස්තර කිසිත් හඳුනන කිසිවෙක් නෑලු

මෙතෙන්දි ලස්සන ගැහැනියකගේ මළකඳක් ගඟ ළඟ තියෙන බවත්, ඒ මුළු සිරුරම මාළුන් හප කළ බවත් කියවෙනවා. නමුත් මේ මාළු යන්නෙන් ව්‍යංගාර්ථයෙන් සමාජයේ පිරිමි පක්ෂය ගැන කියවෙනවා. සමාජයේ සිදුවන ඇතැම් කාරණා සම්බන්ධයෙන් හැමවිටම පිරිමියා නිදොස්වී ස්ත්‍රිය වරදකරු වෙනවා. ‘ගණිකාවක්’ ලෙස ස්ත්‍රිය හංවඩු ගැහෙන නමුත් ඇය සමග පිරිමියෙකුත් සිටිය බව සමාජය අමතක කරනවා.

තන්තිරිමලේ වෙහෙරේ කොතටත් වැඩිය 

පින්වත් අය දැකපු සේපාලිගෙ බොඩිය 

දන්නා කෙනෙක් නැති තැන ඉවුරට වැඩිය 

නන්නාදුනන ලෙස දැම්මා සුදු කොඩිය 

ඊළඟට කවියෙන් කියවෙන්නෙ ඇය ජීවිතය ගැට ගසා ගැනීම සඳහා මොනතරම් දුෂ්කර කාර්යයවල යෙදුණද කියන එක. ඇගේ ජීවන අරගලයේ දුක්මුසු බව වැටහෙදිදි සහෘදයාට ඈ ගැන අනුකම්පා හිතෙනවා.

දුන්කොළ කපා වේලා දහවල අව්වේ 

පන්දම අරන් රෑ පන්සලටත් දිවුවේ

මන්තිරිතුමා ඉඳහිට පණිවිඩ එව්වේ

පන්සිල් අරන් හිටියත් නෑ බැහැ කිව්වේ 

අවසාන කවිය තමයි සහෘදයන් වශයෙන් අපිව වැඩි ලෙසම කම්පා කරවන්නෙ. මම මුලින් සඳහන් කළ විදියටම මෙහි සඳහන් කථකයා පවා මේ සේපාලිකා කියන කාන්තාව ඉතා සමීපව ඇසුරු කරපු කෙනෙක්. නමුත්, ඔහු පවා කියන්නේ ඇය තමා හඳුනන්නේ නැති බවයි. එතැනදී පිරිමියා සමාජය ඉදිරියේ නිර්දෝෂී වෙනවා. නමුත් අර කාන්තාව නරක චරිතයක් ලෙස මිය ගිහිල්ලත් දොස් අහනවා. ඒක තමයි සමාජ යථාර්ථය.

හංගාගෙන වගේ පියයුරුවල සිරිය

තිබුණා උපන් ලපයක් හරියට හරිය

දෑඟිලිවලට හුරු සේපාලිගෙ බුරිය

කීවෙමි මමත් අඳුනාගන්නට බැරිය 

මැණික් අක්කාගේ ගුරු භූමිකාව ගැනත් කතා නොකරම බැහැ. ගුරුවරියක් වශයෙන් ඇය සිදුකළ සේවය විශිෂ්ටයි. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුණත් ඇය සිය රාජකාරිය හොඳින් සිදු කරනවා. ඇය සේවය කළ ඇතැම් පාසල්වල පුස්තකාල පිහිටුවීම සඳහා ඇය මූලිකත්වය ගෙන කටයුතු කරනවා. සාහිත්‍ය පොත-පත ඇසුරු කිරීම නිසා ඇය සිය ශිෂ්‍යයන්ට ජීවිතය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දෙනවා. ඇගෙන් උගත් දරුවන් අද යහපත් මට්ටමක ඇතැයි මම විශ්වාස කරනවා.

මේ කෘතිය පාඨක අපට සමීප වීමට තවත් වැදගත් හේතුවක් වන්නේ එහි අන්තර්ගත නිර්මාණාත්මක භාෂාවයි. මේකෙ රස ගොඩක් අන්තර්ගතයි. ඇතැම් තැන් කියවල හිත සතුටු වෙනවා, තවත් තැනකදී දුක හිතෙනවා, බය හිතෙනවා, හිතට ශක්තියක් එනව. ඇයට මේ තරම් ශක්තියක් ලැබුණේ කොහෙන්ද කියලා හිතනවා. ඇය දුක් කියන දේ අභියෝග ලෙස ගෙන කටයුතු කළ ගැහැනියක්. භීෂණ පිට භීෂණවලට මුහුණ දීමෙන්ම ඇගේ බිය නැති වෙලා කියලා මට හිතෙනවා. ඇය සඳහන් කරනවා ඇගේ දියණිවරුන් ද ඒ වගේම දිරිය දියණියන් කියලා. කුඩා කාලයේ පටන්ම තම මව සමග විවිධ අභියෝගවලට මුහුණදීම නිසාම ඒ දියණියන්ටත් මවගේ ආභාසය ලැබී තිබෙන බව පැහැදිලියි.

මේ කෘතියේ පසු පිටේ මෙහෙම සඳහනක් තිබෙනවා.

‘ඇය සොයුරියකි, ගුරුවරියකි, නායිකාවකි, බිරිඳකි, මවකි, අත්තම්මා කෙනෙකි. ඒ සියල්ල අතරින් නැගී එන්නේ බිඳවැටීම් සහ නැගිටීම් මැදින් ගලා යන අපේ පරම්පරාවේ ජීවන සුවඳය. ඇගේ කතව කියවිය යුතු එකක් නොව සිතිය යුතු එකකි.

– ගැහැනියක් (පසු වදන)

ආදර්ශයට ගතයුතු චරිතයක්

මට හිතෙනවා එය සිතිය යුතු එකකටත් වඩා ආදර්ශයට ගත යුතු එකක් කියලා. මොකද ඒ තරමටම ඒ ගැහැනිය ජීවිතයේ අභියෝගවලට මුහුණ දීලා ඉන් පන්නරය ලබාගත් කෙනෙක්. ගැහැනියකට මුණගැසිය යුත්තේ ඇය ගැන මනා අවබෝධයක් ඇති පිරිමියෙකි. ගැහැනියකගේ ජීවිතය හැඩ කිරීම හෝ හැඩි කිරීම තීරණය වන්නේ ඇය තෝරා ගන්නා පිරිමියා මතයි.

ඊගඵගභග සඳූ බස්නායක කිවිඳියගේ කවි නිර්මාණයකින් මෙය අවසන් කරමි. ස්ත්‍රිය හෝ පුරුෂයා වශයෙන් නොව අප සෑම දෙනාම මනුෂ්‍යයන් ලෙස සිතා කටයුතු කරන්නේ නම් එයයි විය යුත්තේ.

යලිත් හමු වූණා මට 

දික්කසාද කරපු 

මගේ පළවෙනි බිරිඳ 

එකම ඇඳුම

දැළි කුණු පෙරන් හිටපු 

ඇයව මට එපා වුණේම 

එදා ඒ නිසා

දරුවන්ගෙ වැඩ කිය කිය 

මාව මග හැරෙන කොට 

ඇත්තමයි මං නැවතුණා 

තවත් හිතක ආදරය ළඟ 

ළමයි දෙන්නම බෑ කියපු නිසා 

ඇයට වන්දි මුදලක් දී 

මගේ ආදරය ළඟ නැවතිලා 

අවුරුදු විස්සක් වෙනවා 

අහම්බෙන් හමුවුණා 

ඇස් ගැස්සුණේ 

ඒ රුව දුටු නිසා

කැන්ඩියන් එක ඇඳලා 

ගාම්භීර පෙනුම එක්ක 

ආය ඇස් පිහදාලා බැලුවෙ 

ඇස් රැවටුණාවත්ද කියලා

නෑ ඇයම තමයි 

කාර් එකෙන් බැස්සේ 

හරි උජාරුවෙන්

ෂුවර් එකට 

බර අත්තක එල්ලිලා ඇති 

මටත් නොදැනීම 

හිත ඉරිසියාකාරකමින් පෙලුණා

ඇඳුමෙ පාට මාල වළලු 

ඒ පාටම නිය ආලේපන 

ඇය කොතරම් සුන්දරද 

ඉබේම බැලුනෙ

මං එදා තෝරගත්ත දැන් බිරිද දෙස 

හිඟන්නියක් වගේ

හිමීට මටම මිමිණුවා

මට ඕන වුණේ 

ඇයව රැජිනක් කරපු 

කෙනාගෙ මූණ බලන්න

එතකොටම වගේ 

කාර් එකේ දොර ඇරුණා 

ඇයගේ අත අල්ලාගෙනමයි බැස්සෙ

මෙච්චර ආදරයක් 

හිත හීල්ලුනා

මගේ ලොකු පුතා 

ඔව් ඒ අත අල්ලන් බැස්සෙ එයා…

Archive

Latest news

Related news