Wednesday, May 1, 2024

රඹුක්කන පොලිස් වෙඩි තැබීම – සරත් වීරසේකරගේ ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ප්‍රශ්ණ කිහිපයක්

ජායාරූපය: සරත් විරසේකර කමිටුව සාධාරණ කරන රඹුක්කන වෙඩි තැබීමෙන් චාමින්ද ලක්ෂාන් නම් එක්දරු පියකු ජීවිතක්ෂයට පත් විය.

සුනන්ද දේශප්‍රිය විසිනි.

2020 අප්‍රේල් 19වන දින නිරායුධ විරෝධතාකරුවන්ට වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න අත්අඩංඟුවට ගැනීම වරදක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබේ.

මෙම කාරක සභාවේ ප්‍රධානියා යන්නේ වර්ගවාදී දේශපාලනඥයකු වන පොදුජන පෙරමුණ මංත්‍රී රියර්  අද්මිරාල් සරත් වීරසේකරය.

පසුගිය දා දැන් ස්වාධීන වී සිටින පොදු ජන පෙරමුණු මංත්‍රී චන්දිම විරක්කොඩිට ගෝඨාභයගේ සිට අද දක්වාම ආරක්ෂක ලේකම්ව සිටින ජෙනරල් කමල් ගුණරත්න අතින් පයින් ගහ ගැනීමට තර්ජනය කරන ලද්දේ මෙම කමිටුවෙහිදීය. එනමුත් සරත් වීරසේකර එම තර්ජනය ගැන කිසිදු පියවරක් ගත්තේ නැත.

රඹුක්තන දී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 29 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර චාමින්ද ලක්ෂාන් නම් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්වී තිබුණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවවේ තීරණය පිළිබදව ලංකාදීප පුවත්පත මෙසේ වාර්තා කර තිබුණි:

“අරගලය අවස්ථාවේදී රඹුක්කන ප්‍රදේශයේ තෙල් බවුසර් දෙකකට ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිසට වෙඩි තබා ජනතාවගේ ජීවිත බේරා බේරා ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරින්ට ප්‍රශංසාව පුද කරනු වෙනුවට ඔවුනට දඬුවම් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කිරීම ලජ්ජා සහගත බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට ලිපියකින් දැනුම්දී ඇත.

මැරයන් ඉන්ධන බවුසරයකට ගිනි තැබුවා නම් එය පුපුරා ගොස් සිදුවන හානිය කොතෙක් දැයි සිතාගත නොහැකි බවත් එවැන්නෙක් සිදුවුණ නම් පළාතේ නිවාස මෙන්ම වෙළෙඳ සල්ද විනාශ වනු ඇති බවත් කාරක සභාව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

ඒ අනුව ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා කර ඇත්තේ තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමකැයි කාරක සභාව සඳහන් කරයි.

ඔහු එසේ තම රාජකාරිය ඉටු නොකළා නම් තෙල් බවුසරය ගිනි තබන තුරු සිටියානම් එය පුපුරා ගොස් සිදුවන හානියට වගකිව යුත්තේද ඔහුම බව පවසන කාරක සභාව එවිට සියල්ලන්ගේම දෝෂාරෝපණයට ලක් වන්නේද එම නිලධාරියා බව සඳහන් කරයි.

මේ සිද්ධියෙන් පසු මෙම ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ කොස්තාපල්වරුන් තිදෙනකු රිමාන්ඩ් භාරයට ගත් බවත් අද වන විට ඔවුන් තම පෞද්ගලික මුදලින් නීතිඥ ගාස්තු ගෙවමින් නඩු වලට මුහුණ දෙමින් සිටින බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ස්ථානෝචිත ප්‍රඥාවෙන් තැනට සුදුසු ලෙස තීරණ ගත් එම පොලිස් නිලධාරියාට මේ අනුව සලකන හැටි සාධාරණ දැයි කමිටුව එම ලිපියෙන් ප්‍රශ්න කරයි.”

මෙම ලිපිය එම වෙඩි තැබීම සාධාරණ කරයි. 

අපි දැන් එම අත් අඩංගුවට පාදක වූ කරුණූ දාමය දෙස බලමු:

2022 අප්‍රේල් 22වන දින රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධව අණ දුන් සහ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කරන ලදී.

එසේ නමුත් සී.ඩී.ව්ක්‍රමරත්නගේදේශපාලන පොලීසිය එම නියෝගය පිළිපැද්දේ නැත.

එබැවින් 2022 අප්‍රේල් 28 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුව පොලිස්පති සී.ඩී. රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් අධිකරණ නියෝගයට අනුව කටයුතු කරන ලෙස රහස් පොලිසියට ඊයේ නියෝග කළේය.

කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. අප්‍රෙල් 19 වන දින රඹුක්කන විරෝධතාවයට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කීර්තිරත්න ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු  අප්‍රෙල් 29වන දින රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ ද මැදිහත් වීමෙන් පසුය.

එසේ නම් කීර්තිරත්න අත්අඩංඟුවට ගනු ලැබුවේ මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම නිසා යැයි සරත් වීරසේකර නායකත්වය දරන ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව එම අත්අඩංඟුවට ගැනීම මානව හිමිකම් කොමිසමේ වරදක් ලෙස දකින්නේ කෙසේද?

එම වෙඩි තැබීම පිළිබද පුලුල් පරීක්ෂනයක් කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දිර්ඝ වාර්තාවක් ඉදිරිපත් කළේය.

ඒ පිළිබඳව මෙහි කියවිය හැක. රඹුක්කන දී වෙඩි තැබීමට කිසිදු හේතුවක් තිබී නැහැ; විරෝධතා මර්දනයට ගිනි අවි දීම ජීවිතයට ඇති අයිතියට මාරකයක්  

මානව හිමිකම් කොමිසම මෙම වෙඩි තැබීම පිළිබඳව පරීක්ෂා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන ලදී.

මෙම කමිටුව සමන්විත වූයේ විනිසුරු (විශ්‍රාමික)  සුමිත්‍රපාල, විනිසුරු (විශ්‍රාමික) සුදත් ගොපල්ලව, ආචාර්ය චන්න පෙරේයා (උපදේශක IDH), ඩබ්.ඩී.ජී.එස්. ගුණතිලක මහතා (හිටපු රජයේ රස පරීක්ෂක), ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා සහ නීතිවේදී අමල් රන්දෙණිය මහතා යන අයගෙනි.

එම කමිටුව සිය පරීක්ෂණය සදහා එම ප්‍රදේශයට ගිය අතර විශේෂඥ සහාය ද ලබා ගන්නා ලදී.

පවතින සාක්ෂි විශ්ලේෂණය මත පදනම්ව කමිටුවෙහි සොයා ගැනීම් අතර පහත සඳහන් කරුණු ද විය.

පොලිසිය කියා සිටියේ මෙම වෙඩි තැබීම ට හේතු වූයේ ඉන්ධන බවුසර දෙකක් ආරක්ෂා කර ගැනීමට බවයි.
එනමුත් කමිටු වාර්තාව දක්වන්නේ ප්‍රමාණවත් තරම් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සංඛ්‍යාවක් එම ස්ථානයේ සිටි බවත්, හෙල්මට්, ආරක්ෂක පලිහ, බැටන් පොලු සහ කඳුළු ගෑස් තුවක්කු වලින් සමන්විතව සිටි බවත්, එම නිසා ඉන්ධන බවුසරය වටකර ආරක්‍ෂා කිරීමට අපොහොසත් වූ බවට පොලිසියේ කරුණු දැක්වීම පිලිගත නොහැකි බවයි.

දැන් සරත් වීරසේකර කාරක සභාව මෙම නිරීක්ෂනය ප්‍රත්ක්ෂේප කරන්නේ කුමන සාධක මතද?

ඉන්ධන බවුසර දෙකේ ආරක්ෂාවට තර්ජනයක් තිබූ බවත්, ඉන්ධන බවුසරය ආරක්ෂා කර අවට ජනතාව විසුරුවා හැරීමට ඇති එකම ක්‍රමය නිරායුධ ජනතාවට ජීව උණ්ඩවලින් වෙඩි තැබීම බවත් පොලිසිය ඉදිරිපත් කළ කරන තර්කය සාධාරණීකරණය කිරීමට හෝ පිළිගත නොහැකි බව වාර්තාව පෙන්වා දුන්නේය.

වෙඩි නොතැබුවේ නම් ඉන්ධණ බවුසර ගිනි තබනු ඇතැයි සරත් වීරසේකර කාරක සභාව නිගමනයට පැමිණායේ කුමන සාධක මතද?

පවතින සියලු සාක්ෂි පිරික්සීමේදී වෙඩි තැබීමට නියෝග කිරීමට හේතුව පිළිබඳ පොලිසියේ තර්කය පදනම් විරහිත බව නිශ්චිත සහ අවසාන නිගමනයකට කමිටුව පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් අනෙකුත් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ඇගැයීමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්නගේ සාක්ෂිය නිර්දෝෂීවීමට ගොතන ලද ප්‍රලාපයක් බව කමිටුව නිගමනය කරයි.

විශ්‍රාමික විනිසුරන් දෙදෙනෙකුද ඇතුලු විද්වත් කමිටුව සාක්ෂි විමසා එලඹි මෙම නිරීක්ෂනය, ප්‍රතික්ෂේප කර වෙඩි තැබිමට අණදුන් කීර්තිරත්න ජාතික විරයකු ලෙස සරත් වීරසේකර කාරක සභාව තීරණය කරන්නේ කුමන සාධක මතද?

සරත් වීරසේකර කාරක සභාව දැන් අහොසි වී ඇතැයි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ එක් තැනෙක දක්වන අතර තවත් තැන එම කරක සභාවේ සාමාජික සාමාජිකාවන්ගේ ඡායාරූප පවා පළ කර තිබේ.

කාරක සභාවේ සංයුතිය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙනි

ඒ අනුව මෙම කාරක සභාවේ සාමාජිකයින් අතර රවුෆ් හකීම්ද  වේ. එහි බහුතරය  පොහොට්ටුවෙනි.

පසුගියදා සරත් වීරසේකර තවත් ලිපියක් යවමින් මෙරට ඇමෙරිකානු තානාපතිනිය ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් කතා නොකළ යුතු බව අවවාද කර තිබේ.

අපේ ආරංචි මාර්ග දක්වන්නේ මෙම ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙහි අනෙක් සාමාජික සාමාජිකාවන් බහුතරයක් මෙම රඹූක්කන සම්බන්ධ ලිපිය හෝ ඇමෙරිකානු තානාපතිනියට කරන ලද අවවාද ලිපිය සම්බන්ධයෙන්  කිසිවක්  නොදන්නා බවයි.

රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව පිටතට පෙන්වන ස්ථාවරබව එහි අභ්‍යන්තරයේ නැති බවට මෙය තවත් එක් සාක්ෂියක් බව දේශපාලන අංශ පවසති. තවද දෙමළ සහ මුස්ලිම් ජනයාගේ අයිතීන් වලට විරුද්ධව  කටයුතු කරන අදමිරාල් සරත් වීරසේකරගේ බලය ආණ්ඩුව තුල ඉස්මතුවීමක් බවද ඔහු පිටුපස රාජපක්ෂ පවුල සිටින බවද කියැවේ.

එමෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලබන අපරාධ සම්බන්ධයෙන් මෙරට පවතින දණ්ඩ මුක්තිය යළි ප්‍රසිද්ධියේම ප්‍රකාශවීමක් ලෙසද මෙම තීරණය සැළකේ.

 

 

 

Archive

Latest news

Related news