Tuesday, December 3, 2024

රඹුක්කන දී වෙඩි තැබීමට කිසිදු හේතුවක් තිබී නැහැ; විරෝධතා මර්දනයට ගිනි අවි දීම ජීවිතයට ඇති අයිතියට මාරකයක් – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ වාර්තාව

ඡාායරූපය: රඹුක්කන දී  පොලිස් නිලධාරියකු විරෝධතාකරුවන් හඹා යමින් වෙඩි තබන අයුරු.
නිරායුධ විරෝධතාකරුවකු මරණයට පත් කරමින් සහ තවත් ගණනාවකට බරපතල තුවාල සිදු කරමින්  2022 අප්‍රේල් 19 වන දින රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ අවසන් වාර්තාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) ඊයේ නිකුත් කළේය.
විරෝධතාවයේ නිරත පිරිස පාලනය කිරීම සඳහා ගිනි අවි භාවිත කිරීමට හේතුවක් තිබී නැති බවත් වෙඩි තැබීමට නියෝග කිරීම අනවශ්‍ය පියවරක් බවත් වාර්තාවේ නිගමනයක් ලෙස දක්වා තිබේ.
මෙම වාර්තාව පරිහරණය කරන විට මතුවන සැකයක් නම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න මෙම වෙඩි තැබීම හිතා මතාම සැළසුම් කළ  එකක්ද යනුය.
පොලිසිය යොදා ගත් ජීව උණ්ඩ
ඔහු විසින් මෙම විරෝධතාවයට දිනකට පෙර ටී 56 ස්වයංක්‍රීය ගිනි අවි පොලිස් නිලධාරීන් වෙත ලබා දී ඇති අතර, විරෝධතාකරුවන්ට එල්ල කල කදුළු ගෑස් ප්‍රහාරය අතර මඟ නවතා වෙඩි තැබීමට නියෝග දී තිබේ.
පොලිසියේ ප්‍රධාන තර්කය වූ ඉන්ධන බවුසර් බේරා ගැනිීමට වෙඩි තැබුවේය යන ප්‍රබන්ධය කමිටුව කරුණු ඇතිව නිශ්ර්‍පභා කරයි. තවද වෙඩි වැදී තුවාල වූ පුද්ගලයින් එම අවස්ථාවෙහි කිසිදු තර්ජනයක් එල්ල නොකළ පිරිස් බවද වාර්තාව දක්වයි. ඉන් සමහරකුට වෙඩි වැදී ඇත්තේ වෙනත් පාරක යමින් සිටිදීය.
මෙම වාර්තාවෙන් දැක්වෙන  කරුණූ පිළිබඳව පියවර ගන්නා ලෙස ඉල්ලමින් පසුගිය 19දා එය පොලිස්පතිවරයාට යවා තිබේ.
මෙම විශේෂ විද්වත් කමිටුව පත් කරන ලද්දේ එම පොලිස් ප්‍රහාරය  මෙරට  ව්‍යවස්ථාපිතව සහතික කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට පටහැනිද යන්න විමර්ශනය කිරීමට, ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට රජයට කිසියම් නිර්දේශය සැපයීමට  බව වාර්තාව සඳහන් කරයි.
මෙම කමිටුව සමන්විත වූයේ විනිසුරු (විශ්‍රාමික) ක සුමිත්‍රපාල, විනිසුරු (විශ්‍රාමික) සුදත් ගොපල්ලව, ආචාර්ය චන්න පෙරේයා (උපදේශක IDH), ඩබ්.ඩී.ජී.එස්.  ගුණතිලක මහතා (හිටපු රජයේ රස පරීක්ෂක), ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා සහ නීතිවේදී අමල් රන්දෙණිය මහතා යන අයගෙනි.
පවතින සාක්ෂි විශ්ලේෂණය මත පදනම්ව කමිටුවෙහි සොයා ගැනීම් අතර පහත සඳහන් කරුණු ද තිබේ.
පොලිසිය කියා සිටියේ මෙම වෙඩි තැබීම ට හේතු වූයේ ඉන්ධන බවුසර දෙකක් ආරක්ෂා කර ගැනීමට බවයි.
එනමුත් කමිටු වාර්තාව දක්වන්නේ ප්‍රමාණවත් තරම් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සංඛ්‍යාවක් එම ස්ථානයේ සිටි බවත්, හෙල්මට්, ආරක්ෂක පලිහ, බැටන් පොලු සහ කඳුළු ගෑස් තුවක්කු වලින් සමන්විතව සිටි බවත්, එම නිසා ඉන්ධන බවුසරය වටකර ආරක්‍ෂා කිරීමට අපොහොසත් වූ බවට පොලිසියේ කරුණු දැක්වීම පිලිගත නොහැකි බවයි.
 සිවිල් වැසියන් විසින් ගල්වලින් පහර දෙනු ඇතැයි යන බිය නිසා එහි එහි නොගිය බව කියා සිටීමත්  කමිටුව පිළිගෙන නැත. තවද, වාර්තාව පෙන්වා දෙන්නේ ජනතාව ගල් ගැසීමට පෙර සිටම ඉන්ධන බවුසරය වටකර ජනතාව ඉන්ධන බවුසරය අසලට පැමිණීම වැළැක්වීමට අවශ්‍ය වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් පොලිසිය විසින් ගෙන නොතිබූ බවයි.
මේ අනුව, ඉන්ධන බවුසර දෙකේ ආරක්ෂාවට තර්ජනයක් තිබූ බවත්, ඉන්ධන බවුසරය ආරක්ෂා කර අවට ජනතාව විසුරුවා හැරීමට ඇති එකම ක්‍රමය නිරායුධ ජනතාවට ජීව උණ්ඩවලින් වෙඩි තැබීම බවත් පොලිසිය ඉදිරිපත් කළ කරන තර්කය සාධාරණීකරණය කිරීමට හෝ පිළිගත නොහැකි බව වාර්තාව පෙන්වා දෙයි.
ඒ අනුව, පවතින සියලු සාක්ෂි පිරික්සීමේදී වෙඩි තැබීමට නියෝග කිරීමට හේතුව පිළිබඳ පොලිසියේ තර්කය පදනම් විරහිත බව නිශ්චිත සහ අවසාන නිගමනයකට කමිටුව පැමිණ තිබේ.  මේ සම්බන්ධයෙන් අනෙකුත් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ඇගැයීමේදී  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්නගේ සාක්ෂිය  නිර්දෝෂීවීමට ගොතන ලද ප්‍රලාපයක් බව කමිටුව නිගමනය කරයි.
නිරායුධ විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ දෙන ලද්දේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න විසිනි.
තවද, කමිටුව  සළකා බැලූ ලේඛනගත සාක්‍ෂිවලින් හෙළි වී ඇත්තේ, පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ක්‍රමක්‍රමයෙන් සෙනඟ විසුරුවා හරිමින් තිබුණත්, කඳුළු ගෑස් සම්පූර්ණයෙන් අවසන් වන තුරු පොලිසිය මෙම මෙහෙයුම සිදු නොකළ බවය.  මෙහෙයුම අතර මැද නතර කළ අවස්ථාවෙහි පොලිස් නිලධාරීන් සතුව කඳුළු ගෑස් උණ්ඩ 19ක් සහ තවත් කඳුළු ගෑස් බෝම්බ 28ක් තිබී ඇත.
කදුළු ගැස් විදීම නතර කළ පසු විරෝධතාකරුවන් යළි ඉදිරියටපැමිණි අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න මහතා අණ දී ඇත්තේ  එම  විශාල පිරිසට දණහිසට පහළින් වෙඩි තැබීමට  ය.
මේ අනුව, ජනකායක් විසුරුවා හැරීමේ මෙහෙයුමක අවසාන විසඳුම ලෙස ගිනි අවි භාවිත කිරීමේදී පොලිස් නිලධාරීන් නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර නැති බව කමිටුව නිගමනය තර තිබේ.

කුරුවිටගේ චමින්ද ලක්ෂාන්ගේ මරණය

කමිටුව  විසින් ලේඛනගත සාක්ෂි සහ ප්‍රකාශ අනුව සෙනඟ පාලනය කිරීමේ මෙහෙයුමේදී පොලිස් නිලධාරීන් හතර දෙනෙකු T56 අවිවලින් සන්නද්ධව සිටි බව සනාථ වී තිබේ. පහත පොලිස් නිලධාරීන් තිදෙනා තර්ක කළේ තමන්ට වෙඩි තැබීමේ නියෝගය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න විසින් ලබාදුන් අවස්ථාවේදී තමන් වෙඩි තැබුවේ මිනිසුන්ට නොව බිමට පමණක් බවයි.
ඒ. පීසී 69336 එච්එස්පී ජයකොඩි
බී. පීසී 291,16 ජීවන් ලක්මාල් කපුකොටුව
සී., PC90427 ජානක කුමාර
කෙසේ වෙතත්, ගිනි අවි විශේෂඥයා සහ අධිකරණ වෛද්‍ය විශේෂඥයා විසින් සිදු කරන ලද සවිස්තරාත්මක විශ්ලේෂණය අනුව මත, වෙඩි තැබීම බිම දෙසට පමණක් එල්ල වූ බවට පොලිසියේ තර්කය අමූලික අසත්‍යක් බව ස්ථිරවම ඔප්පු වී ඇතැයි වාර්තාව සඳහන් කරයි.
සීසි ටීවි දර්ශණ පැහැදිලිවම පැහැදිලි වන්නේ කුරුවිටගේ චමින්ද ලක්ෂාන්ට පොලිස් නිලධාරියෙකු විසින් මීටර 25ක් පමණ දුරින් වෙඩි තැබූ බවයි.
නිරායුධ මියගිය පුද්ගලයාට තනි පොලිස් නිලධාරියෙකු වෙඩි තබන බවද එම දර්ශන වල දැක්වෙන බව වාර්තාව සඳහන් කරයි.
ඈත සිට ගල් ගසමින් සිටි එම පුද්ගලයාට වෙඩි තැබීමේදී  පොලිස් නිලධාරියා දණහිසට පහළින් වෙඩි තැබීමට කිසිදු උත්සාහයක් ගෙන නැති බවද වාර්තා දක්වයි.
 එම අවස්ථාවෙහි ඔහු පොලිස් නිලධාරීන්ට හෝ අවට දේපළවලට කිසිදු තර්ජනයක් කරමින් සිටියේ නැත.  මේ අනුව, කුරුවිටගේ චමින්ද ලක්ෂාන් මරණයට පත් වූයේ ඉලක්කය පැහැදිලිව හඳුනා නොගෙන වගකීම් විරහිත ලෙස සිවිල් වැසියෙකුට ජීව උණ්ඩවලින් පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීම නිසාය. මෙම වෙඩි තැබීම  අසමානුපාතික ලෙස බලය යෙදවීමක් බව  කමිටුව  අවිවාදිතව  නිගමනය කරයි.
තුවාලකරුවන් රෝහලට ගෙන ඒ්ම

විරෝධතාවයට ආසන්න ප්‍රදේශවල සහ ඒ අවට පුද්ගලයන්ට තුවාල සිදු කිරීම:

තුවාල ලැබූවන් කිසිවකු විරෝධතා ස්ථානයේ ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරත වූ පුද්ගලයන් නොවන බව කමිටුව තීරණය කර තිබේ. වෛද්‍ය සාක්‍ෂිවලින් සනාථ වන පරිදි, ඇතැම් ගොදුරු බවට පත් වී ඇත්තේ හුදු අවට සිටින්නන් හෝ විරෝධතා භූමියෙන් පලා යන පුද්ගලයන් වන අතර ඇතැමුන් ඉන්ධන බවුසර් දෙකෙන් සහ ඉන්ධන පිරවුම්හලෙන් බැහැරව මඩවල පාරේ  සිටි අය වේ.
මේ අනුව ඉතා පැහැදිලිව පෙනෙන්නේ වෙඩි තැබීම කරන ලද්දේ ඉන්ධන බවුසර් ආරක්ෂා කර ගැනීමටය යන්න යළි මුසාවක් බවට පත් වන අන්දමයි.
2022 අප්‍රේල් 19 වැනි දින වින්දිතයන්ගෙන් සමහරක් තුවාල ලැබූ අවස්ථා පහත පරිදි වේ.
පොලිස් නිලධාරීන් විසින් ඉන්ධන පෝලිමේ නවතා තිබූ යතුරුපැදිවලට සහ ත්‍රිරෝද රථවලට අලාභහානි කරන අයුරු දුටු සිවිල් ජනතාව සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අවස්ථාවේදී ඉන්ධන පෝලිමේ සිටි දිලංක පේඩිගේ කමල් හේමජිත් කුමාර යන අය එම ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඔහුගේ යතුරුපැදිය රෝහල් හන්දියට තල්ලු කර ගෙන ගිය අතර, ඔහු තම යතුරුපැදිය රෝහල් හන්දියට තල්ලු කර යද්දී, මීටර් 250 – 300 පමණ දුරින් පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ ඉණට පහළින් වෙඩි තබා  තුවාල සිදු කර ඇත.
පස්වරු 3.00 ට පමණ තම සහෝදරයා පන්ති ඇරීමට රඹුක්කන නගරයට පැමිණි අශේන් චාමිකර සමරනායක කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්ව දිව යද්දී ඔහුගේ වම් පාදයට සහ දකුණු අතට වෙඩි වැදී තිබේ.
යතුරුපැදියට ඉන්ධන පුරවා ගැනීමට ඉන්ධන පෝලිමේ සිටි බුද්ධික ලක්ෂාන් එදිරිසිංහගේ වම් පාදයට වෙඩි වැදී තුවාල සිදුවී ඇති අතර ඔහුටද පොලිස් නිලධාරීන් බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කර තිබේ.
රාජපක්ෂ ආරච්චිගේ චමින්ද කුමාර රාජපක්ෂ නැමති රෝගියාගේ බඩට ගිනි අවියකින් තුවාල සිදුවී ඇති අතර එය සාමාන්‍යයෙන් මාරාන්තික වේ.
ඔහු චෝදනා කරන්නේ තමා ආපසු හැරී යාමට හැරෙන විට උදරයට වෙඩි වැදුණු බවයි.
කමිටුව නිගමනය කරන්නේ පොලිසිය විසින් වෙඩි තැබීමෙන් හෝ පහර දීමෙන් ඉහත සඳහන් කළ සියලුම පුද්ගලයින් තුවාල ලබා ඇති බවයි.
තුවාල ලැබූ වින්දිතයින්ගේ ස්ථානය සහ භූමිකාව සැලකිල්ලට ගනිමින්, ඉන්ධන බවුසර් සහ ඉන්ධන පිරවුම්හලට ගිනි තැබීමේ හැකියාව සහ විපතට පත් වූවන් අතර නීත්‍යානුකූල සම්බන්ධතාවයක් ඇති කර ගත නොහැකි බව වාර්තාව දක්වයි.
වින්දිතයන් නිවැරදිව හා වගකීමෙන් විශ්ලේෂණය නොකර පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා ඇත. පලා යමින් සිටි මිනිසුන්ට පවා  වෙඩි තබා ඇත.
පෙර පරිච්ඡේදයේ විස්තර කර ඇති පරිදි, කඳුළු ගෑස් මෙහෙයුම අවසන් කිරීමට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න විසින් ජීව උණ්ඩ වෙඩි තැබීමේ නියෝගය ලබා දී ඇත. පොලිස් නිලධාරීන් කඳුළු ගෑස් මෙහෙයුම අකුරටම ක්‍රියාත්මක කළේ නම්, කඳුළු ගෑස් මෙහෙයුමත් සමඟම ජනතාව උද්ඝෝෂණ භූමියෙන් ඉවත් වීමට පටන් ගත් බව ඔප්පු වූ බැවින් ඉන්ධන බවුසර්වලට හෝ ඉන්ධන පිරවුම්හලට කිසිදු තර්ජනයකින් තොරව ජනතාව විසුරුවා හැරීමට ඉඩ තිබුණි.
මේ අනුව, වෙඩි තැබීමේ නියෝගය නීතියේ සඳහන් කර ඇති ක්‍රියා පටිපාටිය මඟ හැර ඇතිවා පමණක් නොව, නිර්ලජ්ජිත ලෙස වැරදි ලෙස ගණනය කළ තීන්දුවකින් පැන නගින නියෝගයක් බව ස්ථිර ලෙස නිගමනය කළ හැකිය.
විරෝධතා පාලන මෙහෙයුමේදී T56 අවිවලින් සන්නද්ධව සිටි පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට රඹුක්කන විරෝධතා භූමියට යෙදවීමට පෙර ඔවුන්ට මාරාන්තික ස්වභාවයක් ඇති T56 අවි ලබා දී ඇති බව කමිටුව නිරීක්ෂණය කරයි. එක් පොලිස් නිලධාරියෙකු විසින් හෙළිදරව් කරන ලද පරිදි, රඹුක්කන විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ ප්‍රවණතාවක් නොමැති හෝ ඉතා අඩු ප්‍රවණතාවක් වු අවස්ථාවක, සිද්ධිය වූ දිනට දිනකට පෙර (උදා: 2022 අප්‍රේල් 18 වැනි දින) ඔහුගේ ආයුධය ඔහුට ලැබී ඇත.
විරෝධතා පාලන මෙහෙයුමේදී භාවිත කිරීමට ලබාදුන් මාරාන්තික අවිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉහත සඳහන් කළ පොලිස් නිලධාරීන් හතර දෙනාගෙන් දෙදෙනකුටම තිබුණේ ඉතා අල්ප දැනුමක් බව කමිටුව වැඩිදුරටත් නිරීක්ෂණය කරයි. සමූහ මර්දන මෙහෙයුම සඳහා ඔවුන් යෙදවීමට පෙර අදාළ බලධාරීන් විසින් මෙවැනි මාරාන්තික අවි භාවිතය පිළිබඳ යාවත්කාලීන සහ ප්‍රමාණවත් පුහුණුවක් ඔවුන්ට ලබා දී නොමැති බව ද විමසා බැලීමේදී සනාථ විය.
එක් පොලිස් නිලධාරියෙකුගේ මතය වූයේ ටී 56 ගිනි අවියක් ඵලදායී ලෙස හැසිරවීමට ඔහුට වයස වැඩි බවත්, මාරාන්තික ආයුධයකින් සෙනඟ පාලනය කිරීමේ මෙහෙයුමකට යොදවා තිබියදී  ඔහුට වෙඩි තැබීමට නොහැකි බවත්ය.
විශේෂයෙන් සෙනඟ පාලනය කිරීමේ මෙහෙයුම් වලට පෙර සහ අතරතුර මාරාන්තික ආයුධයක් භාවිතා කිරීමට ප්‍රමාණවත් පුහුණුවක් නොලබන නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට මාරාන්තික ආයුධ ලබා දීමෙන් මිනිස් ජීවිතයට ඇති තර්ජනය සහ අනතුර සැලකිල්ලට ගනිමින් කමිටුව පහත සඳහන් විශේෂ නිරීක්ෂණ සිදු කරයි.
එවැනි මාරක අවි භාවිතය පිළිබඳ අවශ්‍ය මට්ටමේ දැනුමක් හා පුහුණුවක් නොමැති පොලිස් නිලධාරීන්ට මාරාන්තික අවි ලබාදීම සහ
මාරාන්තික අවි අතැතිව එවැනි නිලධාරීන් ප්‍රසිද්ධ ස්ථානවලට, විශේෂයෙන්ම ජනතාවක් ගැවසෙන ස්ථානවලට යෙදවීම සියලු මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතියට බලවත් තර්ජනයක් වන අතර, අවම වශයෙන් ජීවත්වීමේ අයිතිය අත්තනෝමතික ලෙස අහිමි කිරීමකි.
දළ පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි.
( මෙහි දක්වා ඇති ඡායාරූප වාර්තාවෙහි අඩංඟු නොවේ)

Archive

Latest news

Related news