Sunday, April 28, 2024

මධ්‍යම අධිවේගී මාර්ගය නිසා විපතට පත් පවුල්වලින් එකවර තොරතුරු ඉල්ලීම් 400ක්!

ඡායාරූපය:  රාජපක්ෂ පවුල මේ විපත්වලට වගකිය යුතු මූලිකයින්ය.
තම නිවාසවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් සකස් කරන ලද හානි තක්සේරු වාර්තාව සහ ඊට අදාල මූල්‍ය තක්සේරු වාර්තාව ඇතුළු තොරතුරු පැය 48ක් තුළ මුදා හරින ලෙස ඉල්ලමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ අවසන් අධියරේ අවසාන කොටසින් නිවාස හානියට පත්වූ ප්‍රදේශවාසීහු 200ක් අද මාර්ග සංවර්ධන අධිකාරියට සහ අදාල කොන්ත්‍රාත් සමාගමට (මාගා) තොරතුරු ඉල්ලීම් 400ක් යොමු කළහ.
මාර්ග සංවර්ධන අධිකාරියට යොමු කළ තොරතුරු ඉල්ලීම්වල ප්‍රශ්න 18ක් අඩංගු වන අතර අදාල කොන්ත්‍රාත් සමාගමට යොමු කළ තොරතුරු ඉල්ලීම්වල ප්‍රශ්න 16 බැගින් අඩංගු වේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අධියර වූ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දැනට විවෘත කර ඇති කොටසේ අවසාන කිලෝමීටර ගණන වන මදටියාවල සිට කුරුණෑගල දක්වා නිවාස 400කට අධික ප්‍රමාණයක් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන අතරතුරදී හානියට පත්වූ බව එහි වින්දිතයකු මෙන්ම වින්දිත පවුල්වල එකතුවේ ක්‍රියාකාරිකයකු ද වන සංජීව කුලතිලක මහතා ප්‍රකාශ කළේය.
එම පිරිසෙන් කොටසකට මේ වන තෙක් වන්දි ලබා දී නැති බවත්, කොටසකට වන්දි ලබා දී ඇත්තේ ඉතාම අඩු මුදලක් බවත්, බරපතල හානි සිදුවූ ඇතැම් නිවාසවල වන්දි වශයෙන් ලබා දී ඇත්තේ රුපියල් 5000ක් , රුපියල් 10,000ක් වැනි මුදලක් බවත්, මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට, ශ්‍රී ලංකා පොලිසියට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පළක් නොවූ නිසා ප්‍රදේශවාසීන් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ මෙලෙස තොරතුරු ඉල්ලීම් 400ක් යොමු කළ බවත් සංජීව කුලතිලක මහතා සඳහන් කළේය.
තොරතුරු දැන ගැනීමේ පනතේ 25.3 වගන්තිය අනුව පුරවැසියකුගේ ජීවිතයට හෝ පෞද්ගලික නිදහසට අදාල තොරතුරු ඉල්ලීමකට පැය 48ක් ඇතුළත ආයතන ප්‍රතිචාරය දැක්වි යුතු බව ද, වර්ෂාව නිසා මේ වන විට මේ වන විට ඇතැම් නිවාසවල ඉරිතැලීම් විශාල වී බිත්ති බිමට පෙරලෙන මට්ටමට පැමිණ ඇති බවද, මේ නිසා නිවාසවල පදිංචිකරුවන්ගේ ජීවිතවලට බරපතල අවධානමක් ඇතිවී තිබෙන බව ද ඒ මහතා සදහන් කළේය.
මෙම සිද්ධියට අදාලව මීට පෙර සංජීව කුලතිලක මහතා යොමු කළ තොරතුරු ඉල්ලීමකට අදාල අභියාචනා විභාගයක් ලබන දෙවැනිදා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතය. ප්‍රදේශවාසීන් යොමු කළ තොරතුරු ඉල්ලීම් 400ට අදාලව පැය 48ක් ඇතුළත තොරතුරු නොලැබුණහොත් නම් කළ නිලධාරියාට අභියාචනා කරන බවත්, නම් කළ නිලධාරියාගෙන් ද ප්‍රතිචාරයක් නොලද හොත් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනා කරන බවත් කුලතිලක මහතා සඳහන් කළේය.
මෙම සිදුවීමට අදාලව සංජීව කුලතිලක මහතා විසින් 2020 වසරේ මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අදාල විභාගයක් ලබන මස 03 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිත අතර සංජීව කුලතිලක මහතාගේ පැමිණිල්ලක් ගැන සොයා බැලීම සඳහා මාහාමාර්ග අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් 24 වැනිදා කුරුණෑගල සංචාරයක නිරත වීමටද නියමිත බවට ඒ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ

 

( තරිඳු ජයවර්ධන විසින් වට්ස්ඇප් හරහා බෙදා හරින ලද සටහනකි)

Archive

Latest news

Related news