Tuesday, May 28, 2024

අර්ථසාධක අරමුදල සමාජ ආරක්ෂණය උදෙසා බේරාගැනීම – ජයශ්‍රී ප්‍රියලාල්

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ප්‍රශ්නවලට සුදුසු විසඳුම් සෙවීම වෙනුවට විසඳුම්වල ඇති ප්‍රශ්න මොනවාද යන්න  සොයා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට ගජ හපනුන්ය. ඒ් සම්ප්‍රදායට  අනුකූලව, රටේ ආර්ථිකයේ බංකොලොත්භාවයට හේතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරුම් කමිටුවක් පත් කර ඇත.

2015 බැඳුම්කර මගඩිය සහ දුර්විපාක නොලැබීම

2015 බැඳුම්කර මගඩිය හෙළිදරව් වීමත් සමඟ ඒවකට සිටි අග්‍රාමාත්වර, රනිල් වික්‍රමසිංහ මහතා අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපතිවරයාට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා නීති විශාරදයින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ අතර එම කමිටුව ඔහුව නිදොස් කොට නිදහස් කළේය.

පාඩුව ඇමෙරිකන් මිලියන 11

ශ්‍රී ලාංකේය ආර්ථිකයට ඇ.ඩො. මිලියන 11 පමණ පාඩුවක් ගෙනදුන් එම වංචාව එතෙක් සිදුවු දිවයිනේ විශාලතම මූල්‍යමය වංචාව වූවද, මේවනතෙක් අදාල අපරාධයට අදාල කිසිවෙක් දඬුවම් ලබා නොමැත. මෙම අපරාධය පිළිබඳ සම්පූර්ණ නාටකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විමර්ශන කමිටුවේදී අනාවරණය විය.

වගකීම රනිල් අතේ

අර්ජුන් මහේන්ද්‍රන් මහාබැංකු අධිපතිවරයා සිය බලය අයුතු ලෙස යෙදවීම, සහ සිය බෑණනුවන්ගේ ප්‍රාථමික නියෝජිත සමාගමට වාසිවන ආකාරයට බැඳුම්කර වෙන්දේසිය සිදුකර ඇති ආකාරය දැන් රහසක් නොවේ. ප්‍රවීණ ආයෝජන බැංකුකරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා, ශ්‍රී ලංකාවට අවුරුදු 30 ක කල්පිරීමේ කාලසීමාවක් සහිත දිගුකාලීන බැඳුම්කර හඳුන්වා දීමත්, සමඟ රජයේ ණය දෙපාර්තමේන්තු ඉතිහාසයේ මහා බැංකුව විසින් සතිපතා වෙන්දේසියේදී ඉදිරිපත් කරන ලද බැඳුම්කර පරිමාව තුන් ගුණයකින් වැඩි කිරීම වැනි අපූරු අදූරදර්ශී තීරණ, වත්මන් ආර්ථික බංකොලොත් බාවයට මුල් වූ බව කිසිවෙකු අමතක කලයුතු නොවේ. මේ සියල්ලම සිදුවුයේ එවකට මහ බැංකු කටයුතු භාරව සිටි අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ය.

හොරාගේ අම්මාගෙන් පේන ඇසීම

මෙම ඓතිහාසික බැඳුම්කර වෙන්දේසිය පැවැත්වුයේ 2015 පෙබරවාරි 27 දිනය. බැඳුම්කර තොගයම සිය සන්තකයට ගත් Perpetual Treasuries සමාගම සහ Asia Securities සමාගමේ ප්‍රධාන අනුග්‍රහය යටතේ Finance Asia මූල්‍ය ප්‍රකාෂණ ආයතනය මූලිකත්වයෙන්  2016 මාර්තු 15 වැනි දින විදේශ ආයෝජකයින් දැනුවත් කර දිරි ගැන්වීමේ සම්මන්ත්‍රණයක් සිංගප්පුරුවේ Four Seasons Hotel හි පවත්වන ලදි. එම සම්මන්ත්‍රණයට රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍යවරයා, මුදල් ඇමතිවරයා, මහා බැංකු අධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙක් සමග එවකට ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු නිරත සමාගම් කිහිපයක්ම සිය ප්‍රතිඵලදායි අත්දැකීම් බෙදාහදා ගත්හ.

Perpetual Treasuries සමාගම නියෝජනය කරමින් කතා කල නියෝජිතයා ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු වල නිරත වන විදේශිකයින් නිවැරදි සම්බන්ධතාවයන් ඇති ආයතන සමග සිය ගනුදෙණු කරගෙන යාමේ වැදගත්කම පෙන්වා දෙමින් වහසි බස් දෙඩුවේය. ඊට මාස කිහිපයකට පසු Finance Asia ප්‍රකාශන සමාගම ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක මහතා ආසියාවේ කෘතහස්ත මුදල් ඇමතිවරයා හැටියටද නම් කරන ලදි. රට බංකොලොත් වූ ආකාරය සෙවීම හරියට හොරාගේ අම්මාගෙන් පේන ඇසීම හා සමාන විය හැක.

දෛවයේ සරදම

රටේ ආර්ථිකයේ කඩාවැටීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පැවති රජයන් වෙත පමණක් පැටවීමට මෙම ලියුම් කරුගේ උත්සහය නොවන අතර, අධික ණය බර දරාගත නොහැකි ආකාරයට ප්‍රසාරණයට 2015 බැඳුම්කර මගඩිය දායක වූ වග පැහැදිලිවම සදහන් කල හැක.   වර්තමානයේ දරාගත නොහැකි ප්‍රමාණයේ ණය බර ප්‍රතිව්‍යූහගත කිරීමේ වගකීමද පැවරී ඇත්තේද ජනාධිපති පදවිය සහ මුදල් අමාත්‍යංශය හොබවන රනිල් වික්‍රමසිංහ මහතාම වීම දෛවයේ සරදමකි. එබැවින් ආර්ථික ව්‍යාධිය සුවපත් කරගැනීමට තෝරාගෙන ඇති වෙඳාම ලෙඩේ බව තේරුම් ගැනීමට බුද්ධිමත් පාඨකයින්ට අපහසු නොවේ. ඔවුන්ට උපදෙස් දෙන දෙස් විදේස් විශේෂඥයින් මෙම පසුබිම නොදන්නවා විය නොහැක. එබැවින් ප්‍රශ්නය නිවැරදිව හඳුනාගැනීම විසඳුමෙන් හරි අඩක්ම වන බව ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් පැහැදිලිව තේරුම් ගැනීමේ වැදගත් කම සාකච්ඡා කිරීමට මෙම සටහන ඉදිරිපත් කරමි.  එසේ නොමැතිව තේරුම් කාරක සභා කොමිසම් පත් කිරීම තවත් කාලය මරාදැමීමකි. ශ්‍රී ලංකාවට ආවේණික රටේ පොදු ජනතාවගේ ආශිර්වාදය සමඟ ජනමතය දිනාගත් නොඳුල් ආර්ථික දේශපාලන වැඩපිලිවෙලක් නිර්මාණය කරගැනීම අප සියළු දෙනාගේම මූලික වගකීමවේ.

මෝඩකම නීතිය ඉදිරියේ අපරාධයක් නොවීමට ඉඩ ඇත

පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් මෙන්ම, බැඳුම්කර මගඩියේ අපරාධකරුවන් කිසිවෙක් නීතිය හමුවේ දඬුවම් ලබා නොමැත. නීතිය හමුවේ මෙකී වගකිය යුත්තන්, මෝඩකම අපරාධයක් නොවේ යන උපකල්පනය මත නිදොස්වීමටද යම් දිනක ඉඩ ඇත. පාලකයින් සහ නිලධාරීන් නීතියෙන් රිංගා ගියද සිය වැඩකරන දිවිය පුරාම මහන්සියේන් උපයා ගත් ඉතිරිකිරීම් අර්ථසාධකයේ වටිනාකම උදුරාගැනීම සාධාරණීකරනය කල නොහැක. සිය මහළුවිය අමාරුවෙන් ගෙවා දැමීමට සිටි දස දහස් ගනණකට කණකොකා හඬන තත්ත්වයට ඇද දැමීමට දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනා අතර තිබීම කණගාටුවට කරුනෙකි.

අවාසිය තත්වයන් අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන් මත පැටවීම

ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් තම සේවාදායකයින් සහ සේවාවන්ට අදාල පාර්ශවකරුවන් සමග සාකච්ඡා නොකොට අත්තනෝමතික ලෙසට තීරණ ගැනීම සහ අවාසිදායක තත්වයන් අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන් මත පැටවීම හෙලා දැකිය යුතුය. පාර්ශවකරුවන්ගෙන් උපදෙස් ලබාගැනීමේ (stakeholder consultation) පරිචය ශ්‍රී ලාංකේයන් අපේක්ෂාකරන නව පරිපාලන පද්ධතියේ අනිවාර්ය සංඝටකයක් කරගත යුතුව ඇත. නිතරම මිටි තැනින් වතුර ගලායෑම දැන් සම්මුතියක්ව ඇත. ලාභාංශ පුද්ගලිකකරණයටත් අලාභ සමාජගත කරවමින් අත සෝදාගැනීම වැලක්විය යුතුවේ.

ඡන්දය දෙන කොට

මෝඩකම පාලකයින්ගෙන් සිදුවන අපරාධයක් ලෙසට නොසැලකුවද, ඔවුන්ගේ අදූරදර්ශී තීරණවල ප්‍රතිවිපාක අසරණ පාලිතයන්ගේ ඇඟ මතට කඩා වැටීම නොවැලක්විය හැක. ඡන්ද දායකයින් රවටා බලයට පත්වෙන දේශපාලකයින් මේ පිලිබදව අවධානය යොමු කරනුයේ ඊළඟ මැතිවරණ සමයේදීය. එබැවින් ඔබගේ වටිනා ඡන්දයේ වැදගත් කම තේරුම්ගෙන බුද්ධිමත්, දර්ශනයක් සහ යුගයේ අවශ්‍යතාවයට උචිත නිවැරදිි වැඩපිලිවෙලක් සහිත අය පාර්ලිමේන්තුවට පත් කිරීමට වගබලා ගන්න.

මෝඩ නොවන්න

හුදු ජනප්‍රියත්වය, දශක ගනණාවක් ජනතා සේවයේ අත්දැකීම් හෝ චතුර කතිකත්වය මත දේශපාලනඥයින් තෝරාපත් කරගැනීමට පාඨක ඔබ මෝඩ නොවන්න. හැට නව ලක්ෂයේ තීණ්දුව ගැන නැවත නැවත සිතා බලන්න. ධම්මික පැණිය, කාබණික පොහොර භාවිතය, චීන අසූචි පොහොර ආනයනය කිරීම, චීනයේ නිශ්පාදිත කෝවිඩ් එන්නත භාවිතා නොකිරීම වැනි අනුවණ කම් අතරට අර්ථසාධක අරමුදලට කරන අසාධාරණය ඉදිරියේදී අර්ථසාධක ප්‍රතිලාභීන්ට අත්විදීමට සිදුවන බව ඉදුරාම කිව හැක. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා බැඳුම්කර මගඩියේ අලාභය අර්ථසාධක අරමුදලට වසර 30ක් ගියත් උපයා ගත නොහැකි බව 2019 ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර සිටියේය.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම – ඵල දරන ගසටම ගල් ගැසීම .

ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදල ආසියාවේ විශාලම එකකි. දැනට එහි වත්කම – සියළුම සාමාජිකයින්ගේ ඉතුරුම් වල එකතුව රුපියල් බිලියන 3800 කි. (ට්‍රිලියන 3.8) එසේම අරමුදලේ තවත් එක් විශේෂත්වයක් ඇත, මාස්පතා අඛණ්ඩව සේවක සාමාජිකයින් සහ සිය හාම්පුතුන් සිය දායක මුදල් පර්යේෂණය කරන නිසා අරමුදල් කලමනාකරණයේදී ද්‍රවශීලතා අර්බුධ පැන නොනගී.

ගජමිතුරු ව්‍යාපාර කල්ලිවලට ලබා දුන් බදු සහන  බිලියන 900 

2022 සේවක අර්ථසාධක අරමුදල රජයට ගෙවා ඇති බදු මුදල රුපියල් බිලියන 42. ප්‍රවීණ ආර්ථික කටයුතු පිලිබද විශේෂඥයෙකු සහ ලිපි රචකයෙකු වන ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා ප්‍රකාශ කරන පරිදි රජයට බඳු ගෙවන විශාලතම ආයතනය සේවක අර්ථසාධක අරමුදලයි. පෞද්ගලික අංශයේ සියළු ව්‍යාපාර අභිබවමින් අර්ථසාධක අරමුදල රජයට ආදායම් උපයා දෙයි. 2021 රජය ඉදිරිපත් කල අයවැයෙන් ගජමිතුරු ව්‍යාපාර කල්ලිවලට ලබා දුන් බදු සහන ප්‍රමාණය බිලියන 900 ක් පමණ විය. එහි ප්‍රතිවිපාක ඔබ සැම අප සියළු දෙනාම දැන් අත්විදින්නෙමු. එසේ සහන ලත් ව්‍යාපාර  ණය ප්‍රතිව්‍යූහ ගතකිරීමේ ව්‍යායාම් වලට බරපැන නොදරන අතර අහිංසක කම්කරුවන්ගේ අර්ථසාධකය මේ සියළුම දෙනාගේ බර කරට ගැනීමට බල කිරීම යුක්ති සහගත නොවේ.

බහුතරයකගේ සැදෑ සමයේ ජීවිතාරක්ෂක කබා උදුරා ගැනීම

කපටි කෛරාටික දේශපාලනඥයින් සිය බලය තහවුරු කරගැනීමට ගජ  මිතුරන්ට අර්බුද අනතුරු වලදී ගැලවීමට ජීවිතාරක්ෂක බෝට්ටු පිදීමට නොමසුරුව කටයුතු  කරන අතර, එම අර්බුද වලින් බැට කන සදාකාලිකව ජීවිතය හා මරණය අතර අරගලයක යෙදෙන අසරණ පුරවැසියන්ගෙන් පිහිටට ඇති ජීවිතාරක්ෂක කබායන් උදුරා දැමීමට නොපැකිලෙන බව ඉහත දත්ත සහ සාධක වලින් හොදින් තේරුම් ගත හැක. යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ (DDR) අරමුණින් අර්ථ සාධක අරමුදලේ මතු අදායම් අඩු කරන යෝජනාව, සිය ඵලදායී ආයු කාලය තුළ සැබෑ ආර්ථිකයේ වර්ධනයට බෙහෙවින් දායක වූ වැඩ කරන ජනගහනයෙන් බහුතරයකගේ සැදෑ සමය ගත කිරීමේ ජීවිතාරක්ෂක කබා උදුරා ගැනීම හා සමාන ක්‍රියාවලියක් වේ.

විශ්‍රාම දිවියේ වයස්ගත අභියෝගයන්ට මුහුණ දීමට  මුදල් ඉතිරි කළ දායකයින්ගේ අරමුදල් වලට පවතින අධිවේගී මුල්‍යකරණය වන ජාත්‍යන්තර වෙළදපල වලදී අසාධාරණ අවාසි රාශියක් සිදුවෙමින් පවතී. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ වක් නොවේ.

ගෝලීය විශ්‍රාම සහ අර්ථසාධක අරමුදල් වල විශාලත්වය

ඇමෙරිකාවේ කොර්නල් සරසවියේ මහාචාර්ය රෝස්මරී බට් මහත්මිය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  2023 ජූලි මස ජිනීවා නුවර කල දේශනයකදී සඳහන් කල පරිදි ඇමෙරිකාවේ සමස්ථ විශ්‍රාම අරමුදල් වල වටිනාකම, ඇ.ඩො. ට්‍රිලියන 16 ක් වන විට, යුරෝපයේ සියළු විශ්‍රාම අරමුදල් වල වත්කම ඇ.ඩො. ට්‍රිලියන 30 ඉක්මවයි. ලොව පුරා ආයෝජනවලට නියමිත වත්කම් වලින් 60% විශ්‍රාම අරමුදල් වේ. මෙම අරමුදල් බොහෝමයක් ආර්ථික අවපාතයන් හමුවේ අවදානම් රාශියකට මුහුණ පා ඇත. මෙය වැඩිවෙන වැඩිහිට ජනතාවගේ සමාජ සුභසාධනයට දැඩි බලපෑමක් එල්ල කරයි.

බ්‍රසීලයේ තැපැල් සේවකයින්ගේ විශ්‍රාම අරමුදලට සිදුවු අකරතැබ්බය

බ්‍රසීලයේ තැපැල් සේවකයින්ගේ ස්වේච්ඡාවෙන් සිය වැඩකරන කාලයේදී විශ්‍රාම දිවිය ශක්තිමත් කරගැනීමට විශ්‍රාම අරමුදලක් පිහිටුවා එයට දායක වූහ. එම අරමුදලේ වත්කම් කලමනාකරණය ඇමෙරිකානු Bank of New York Mellon (BNY Mellon) බැංකුවේ බ්‍රසීලයේ ලියාපදිංචි අනුබද්ධ සමාගමකට බාරදී තිබුනි. එම සමාගමේ ප්‍රධාන විධායකයා ඇතුළු කලමණාකරුවන් අරමුදලේ ආයෝජණ වංචා සහගත ලෙස කිසිම වටිනාකමක් නැති දේපල වල අපයෝජනය නිසා ඇ. ඩො. මිලියන 2.8 වත්කම් සුන්වී 2007/8 මූල්‍ය අර්බුදයට මැදිවී අතුරුදහන් වීය. Postilia විශ්‍රාම අරමුදල බ්‍රසීලයේ අධිකරණය හමුවේ නඩු පවරා මූල්‍ය අපරාධයට සම්බන්ධ සියළු වත්කම් කලමණාකරුවන්ට දඬුවම් ලබා දුන්හ. නමුත් ඔවුන්ට අහිමි වූ අරමුදල් ප්‍රමාණය නොලැබීමෙන් සාමාජිකයින් 88000 2026 සිට විශ්‍රාම වැටුප් ගෙවා ගත නොහැකි තත්ත්වයක් උදාවී අරමුදල බංකොළොත් වීමට නියමිතය.

බ්‍රසීලයේ තැපැල් සේවකයින්ගේ වෘත්තීය සමිති සහ වෙනත් සිවිල් සංවිධාන පසුගිය අගෝස්තු මස 31 වැනිදින නිව්යෝර්ක් නුවර BNY බැංකුවේ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කරමින් එකී බැංකුවේ අවදානම් කලමනාකරණයේ අඩුපාඩු සහ දුර්වලතාවයන් හේතුවෙන් Postilia විශ්‍රාම අරමුදලට සිදුවු පාඩුව ප්‍රතිපූර්ණ කරන ලෙස බල කර සිටීහ. ඔවුන්ගේ ඉල්ලීමට සානුකම්පිත අවධානයක් ලැබේද යන්න අවිනිශ්චිතය. ප්‍රතිඵලය අසරණ තැපැල් සේවකයින්ගේ විශ්‍රාම දිවිය ගතකිරීමට ඉතිරිකල මුදල නැතිවීමය. මෙකී ඉරණම ශ්‍රී ලාංකේය අර්ථ සාධකයට අත්විය හැක.

දීර්ඝ කාලීන විශ්‍රාම අරමුදල් ගසා කෑම

ඉහත සදහන් සිදුවීම ගෙනහැර පෑවේ විශ්‍රාම අරමුදල්වලට සිදුවන කාල පරාසය පෙන්වා දීමට මෙන්ම, අර්ථසාධක අරමුදල් වල සාමාජිකයින්ගේ නිසි අවධානයට සහ අධීක්ෂණයට භාජන නොවන සියළු අරමුදල් වලට අත්විය හැකි ඉරණම කුමක් විය හැකිදැයි පැහැදිලි කරවීම සඳහාය. ප්‍රතිඵලදායි අධීක්ෂණයන් සහ අවදානම් ශඛ්‍යතා අධ්‍යනයන්ට භාජනය නොවන දීර්ඝ කාලීන විශ්‍රාම අරමුදල් ආයෝජන බැංකුකරුවන් සිය කෙටිකාලීන වාසි සදහා පිරමීඩ ආයෝජන ක්‍රමවේදයන් සේ භාවිතා කිරීමට පසුබට නොවෙති. Postilia අරමුදලේ අවිධිමත් ආයෝජන වල සමස්ථ පාඩුව සහ බංකොලොත් වීමට ගතවූ කාලපරාසය (2008-2026) අවුරුදු 16කි. දශක තුනක කල්පිරීමේ බැඳුම්කර නිකුතුවේ අවධානම තක්සේරු කිරීමට අර්ථසාධක අරමුදලේ රැකවල් කරු ලෙස කටයුතු කල මහබැංකුව ක්‍රියා කර තිබේද? මෙම ප්‍රශ්නය අරමුදලේ සියළු පාර්ශවකරුවන් සැලකිල්ලට ගතයුතුව ඇත. මෙම බැරෑරුම් ප්‍රශ්ණයට සහ අඩුපාඩුවට විසඳුම් සොයාගතයුතු නොවේද?

 පුළුල් වන වයස්ගත ජනගහනයේ සමාජ ආරක්ෂණ අභියෝග

දුකටපත් වැඩකරන ජනතාවට ගෞරවාන්විතව ජීවත් වීමට හා මිය යාමට හැකි වන පරිදි ශක්තිමත් සමාජ ආරක්ෂාව හා එම කටයුතු ශක්තිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සම්පාදනය සහ කලමනාකාරණය අරමුදලේ සියළු පාර්ශව කරුවන්ගේ භාරකාරිත්වය හමුවේ නිරන්තර අධීක්ෂණයන්ට සහ අවධානම් කලමනාකරණය යටතේ පවත්වාගෙන යාමේ අව්‍යතාවයේ වැදගත් කම පෙන්වා දීම අරමුණු කරගනිමින් මෙම සටහන සකස් කෙලෙමි.

ගෝලීය වයස්ගත ජනගහන ප්‍රවණතා පිළිබඳ නවතම අනාවැකිය හෙළි කරන්නේ, 2020 දී වයස අවුරුදු 65 ට ළඟා වන පිරිමියෙකු තවත් අවුරුදු 19 ක් ජීවත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ගැහැණියෙක් තවත් අවුරුදු 22 ක් ජීවත් වනු ඇති බවයි. මෙම ප්‍රවණතාව වෛද්‍ය විද්‍යාවේ සහ සෞඛ්‍ය පහසුකම් වල දියුණුව නිසා සිදුවුවද, ශ්‍රී ලාංකේය මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය අනාගතයේ දී පුළුල් වන වයස්ගත ජනගහනයේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට සූදානම් ද? නොඑසේනම් නීරෝගි දිවි පෙවතක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් විශ්‍රාම වැටුපක් හෝ දීමනාවක් උපයා සපයා ගැනීමට විශ්‍රාමිකයින්ට හිමි මාර්ග ආරක්ෂා කලයුතු නොවේද?

අනාගතය සඳහා සමාජ ආරක්ෂණ පද්ධති සුරක්ෂිත කිරීම

ටී.බී. ඉලංගරත්න, සී.පී.ද සිල්වා සහ පිලිප් ගුණවර්ධන වැනි ප්‍රගතිශීලී සමාජ සවිඥානික දේශපාලනඥයන් සහ අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක මහතාගේ MEP රජයේ නායකත්වය යටතේ 1958 දී සේවක අර්ථසාධක අරමුදල (EPF) හඳුන්වා දුන්නේ සේවා යෝජකයින් සහ සේවකයින් අතර දායකත්වය බෙදා හදා ගැනීමේ සමාජ ආරක්ෂණ ක්‍රමයක් ලෙසය.

හාම්පුතුන් සහ සේවකයින් යන දෙඅංශයෙන්ම අරමුදල් දායක කරමින් විශ්‍රාමිකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඇරඹූ අර්ථසාධකය රටේ සංවර්ධනය ඉලක්ක කරගත් ආයෝජනයන් වල යෙදීම වෙනුවට පසුගිය දශක කිහිපයකම සිදුව ඇත්තේ බලයේ සිටි අය විසින් විශාල අරමුදල් සංචිතය අපයෝජනය කිරීමය.

තවද, 1980 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ රජය විසින් අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලිගේ බුද්ධිමත් උපදේශකත්වය මත සේවක භාරකාර අරමුදල හඳුන්වා දීමත් සමඟ මෙම පද්ධති තවදුරටත් ශක්තිමත් වීය. මෙම සියලු අරමුදල් නිර්මාණය කරන ලද්දේ වැඩකරන ජනතාව සිය ජීවිතයේ උත්පාදක කාලය තුළ ජාතිය ගොඩනැගීමට දායක වන සේවක සේවිකාවන්ගේ විශ්‍රාමික ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා ය. දැන් සිදුවන්නේ, අරමුදල කළමනාකරණය කරන අය මූලික අරමුණුවලින් බැහැර වී පවතින රජයේ වියදම් සහ සම්පත් ඒකරාශී කිරීමටත් එම කාර්යය සම්බන්ධීකරණය කරන සෙසු පාර්ශවකරුවන්ට සුපිරි ලාභ උපයා ගැනීමේ මාර්ග හෙලි පෙහෙලි කරවන පිරමිඩ ක්‍රමයක් බවට පත්කර ගැනීමය.

EPF / ETF සඳහා සමාජීය වශයෙන් වගවෙන ආයෝජන විකල්ප මොනවාද?  

මෙම රචනය සමාජයේ දිගුකාලීන අර්ථසාධක වත්කම් සහ ප්‍රතිලාභ මූර්ථ ආර්ථිකයේ වර්ධනයක් ජනනය කිරීමේ ආයෝජන වෙනුවට කෙටි කාළීන මූල්‍ය ප්‍රතිලාභ බෙදා හැරීමේ අරමුණු සඳහා සම්පත් අවභාවිතා කරන ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ විචක්ෂණභාවය ප්‍රශ්න කළේය.

හාම්පුතුන් සහ සේවකයින් යන දෙඅංශයෙන්ම අරමුදල් දායක කරමින් විශ්‍රාමිකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඇරඹූ අර්ථසාධකය රටේ සංවර්ධනය ඉලක්ක කරගත් ආයෝජනයන් වල යෙදීම වෙනුවට පසුගිය දශක කිහිපයකම සිදුව ඇත්තේ බලයේ සිටි අය විසින් විශාල අරමුදල් සංචිතය අපයෝජනය කිරීමය.

මෙම ලේඛකයාගේ අදහස වන්නේ මෙම සියලු අරමුදල් කළමනාකරණය භාරකාර මණ්ඩලයක් (Board of Trustees)  යටතේ තිබිය යුතු බවය. මෙය වර්තමානයේ මහා බැංකුව විසින් කරගෙන යනු ලබන රැකවල් කරුවෙකුගේ (custodian) කාර්ය අභිබවා ඊට වඩා කාර්යක්ෂම සහ ඵලදායි වගකීම් සහ වගවීම් වලට නතු කරවීමකි. සේවා යෝජකයින්, සේවකයින් සහ රජයේ නියාමන ආයතන නියෝජනය කරන  පුද්ගලයින් භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් ලෙසට දායක සේවක හා සේව්‍ය සාමාජිකයින් විසින් තෝරා පත් කර ගත යුතුව ඇත.

අර්ථසාධක අරමුදල් ආයෝජනවලින් 90% ක්ම රජයේ ණය සුරැකුම්පත්වල රඳවා ඇත්තේ ඒවා අවදානම් රහිත යැයි උපකල්පනය කරමිනි. ස්වෛරීය බැඳුමිකර වල අවධානයේ තරම කුමක්ද යන්න දැන් අපට පැහැදිලිය. මෙම වසර මුලදී බිද වැටුණු ඇමෙරිකාවේ Silicon Valley Bank සහ Signature Bank  දෙකම සිය තැන්පතු වලින් වැඩි කොටසක් ඇමෙරිකානු ස්වෛරීය බැඳුම්කර වල ආයෝජණය කර පොලී අනුපාත විචල්‍ය වීම හේතුවෙන් බංකොලොත් විය.

නව තාක්ෂණයේ විකාශයත් සමග විශ්‍රාම යාමට අපේක්ෂා කරන විශාල සේවක සංචිතයකට දිගු කාලයක් වැඩ කිරීමට සිදුවිය හැකිය. නව තාක්ෂණයට අනුගත වෙමින් ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ජීවිත කාලය පුරාම වැඩ කිරීමට වැඩි දෙනෙකුට අත්වෙන ඉරණමක් වනු ඇත. තාක්ෂණය නිෂ්පාදනය හා බෙදා හැරීමේ ක්‍රියාවලිය මෙහෙයවන කාරක බලවේගය බවට පත්වී හමාරය. අර්ථසාධක අරමුදල් ශ්‍රම බලකායේ නිපුණතා සහ හැකියාවන් නිරන්තරයේන වැඩි දියුණු කිරීමට අදාල පුහුණු ආයතන ඇරඹීමට සහ නඩත්තු කිරීමටද ආයෝජනය කළ යුතුවේ. සිංගප්පූරුව වැනි රටවල ක්‍රියාත්මක වන පරිදි අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් සඳහා පොදු නිවාස යෝජනා ක්‍රම ගොඩනැගීමටත් ඒවා මිලට ගැනීමට ණය පහසුකම් සැපයීමටත් ආයෝජනය කළ යුතුය.

ආසියාවේ ක්‍රියාත්මත සාර්ථක අර්ථසාධක සහ විශ්‍රාම අරමුදල් මොනවාද?

මැලේසියාවේ සහ ඔස්ට්‍රේලියාවේ අර්ථසාධක සහ විශ්‍රාම අරමුදල් සේවක සේව්‍ය නියෝජිතයින්ගේ භාරකාරීත්වය සාර්ථකව පරිපාලනය වේ. සිංගප්පූරුවේ සේවක අර්ථසාධක මුදල රට වැසියන්ගේ නිවාස අවශ්‍යතාවයන් පිරිමසා ලීමට තට්ටු නිවාස ඉදිකිරීමට ආයෝජණයන් කරන අතර සාමාජිකයින්ගේ සෞඛ්‍ය සේවාවන් සපයා දීමට රක්ෂණ ආවරණයන්ද සපයයි. Australian Super විශ්‍රාම වැටුප් අරමුදලද තවත් එක් ආදර්ශමත් ක්‍රමවේදයකි. ඔස්ට්‍රේලියානු සුපර් යනු ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති සම්මේලනය (Australian Council of Trade Unions) සහ ඔස්ට්‍රේලියානු කර්මාන්ත කවුන්සිලය (Australian Industry Council) විසින් හවුල් භරකාරත්වයක්  යටතේ කළමනාකරණය කරන තවත් ආසියාවේ පවතින ශක්තිමත් අරමුදලකි. වසර 38ක් සාර්ථකව ක්‍රියාත්මක වන අරමුදල සාමාජිකයින් මිලියන 3 කගේ ඉතුරුම් වත්කම  ඩොලර් බිලියන 300 කලමනාකරණය කරයි.

මග නිවැරදි නම් ගමන වරදීමට හේතුවක් නැත

කම්කරුවන්ගේ යහපත නියෝජනය කරන වෘත්තීය සමිති සහ කර්මාන්ත මණ්ඩල, හාම්පුතුන්ගේ සම්මේලන හවුල්ව තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා අර්ථසාධක අරමුදල් ආයෝජන යොදවා බහුතර  සමාජ ප්‍රජාවේ දිගුකාලීන සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සඳහා දැන්වත් ඉදිරිපත් විය යුතුය.

අර්ථසාධක අරමුදල් සැබවින්ම ආර්ථික වර්ධනය මෙහෙයවන ව්‍යාපෘති වල ආයෝජනය කිරීමට භාරකාර මණ්ඩලය වග බලා ගතයුතුය. ඒ අතර සාමාජිකයින්ට දැරිය හැකි සෞඛ්‍ය සේවා සහ දිගුකාලීන සත්කාර අවශ්‍යතා සැපයීම සඳහා රෝහල් ඉදිකිරීම වැනි වැඩිහිටි ජනගහනයේ සමාජ ආරක්ෂණ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතුව ඇත.

නව පද්ධතිමය වෙනසක් අපේක්ෂා කරන ශ්‍රී ලාංකේයන් නව ක්‍රමෝපායන් හඳුන්වාදීමට හැකි දේශපාලකයින් තෝරාපත් කර ඔවුන් ලවා ජනතාවගේ අනුමැතිය සහ විශ්වසනීයත්වය මත සැළසුම් කරගත් වැඩපිලිවෙලවක් දියත් කරවීමට ඡන්ද දායකයින්ම එම වෙනස ක්‍රියාත්මක කරවීමේ කාරක බලවේගය බවට ස්වෙච්ඡාවේන්ම ඉදිරිපත් වීමට පොළඹවා ගැනීමට නායකත්වය ගතයුතව ඇත.

17 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශණයන් මත රටේ ආර්ථිකය ගොඩනඟා ගැනීමට නොහැකි වූ බව අමතක නොකරමු. ශ්‍රී ලංකාව වත්මන් අර්බුදවලින් ගොඩ ඒමට නිර්මාණශීලී වැඩපිලිවෙලක් සමාජගත කල හැකි නව තරුණ නායකත්වයක් ඉදිරියට ගතහැකි බුද්ධිමය සංවාද වලට මග පාදන වාතාවරණයක් උදාකර ගනිමු.

 

Archive

Latest news

Related news