Tuesday, May 28, 2024

“ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා මිලිටරි විසඳුමක් නැති බව එහි නායකයින් තේරුම් ගත යුතුයි !  – ජෝර්දානයේ අබ්දුල්ලා රජු

ඔබට සාමය, දෙවියන්ගේ දයාව සහ ආශිර්වාදය ලැබේවා!
මුස්ලිම්වරුන් සහ අරාබිවරුන් අන් අයට ආචාර කරන ආකාරය එයයි. එනම් අනෙකාට සාමයෙන් සහ දෙවියන්ගේ දයාවෙන් ආශීර්වාද වේවායි ප්‍රාර්ථනා කරමිනි.
අපේ ආගම පැමිණියේ සාමයේ පණිවිඩයක් සමඟය. ජිනීවා සම්මුතියට වසර දහසකට වඩා පෙර සියවස් 15 කට පමණ පෙර ජෙරුසලමේ දොරටු අසල නිකුත් කරන ලද ඕමාර් ගිවිසුම මුස්ලිම් සොල්දාදුවන්ට දරුවෙකු, කාන්තාවක් හෝ මහලු මිනිසෙකු මරා නොදමන ලෙස, ගසක් විනාශ නොකරන, පූජකයෙකුට හානි නොකරන ලෙස සහ පූජ්‍ය ස්ථානයක් විනාශ නොකරන ලෙසට නියෝග කළේය..
අපගේ පොදු මනුෂ්‍යත්වය විශ්වාස කරන සියල්ලන් මෙන් මුස්ලිම්වරුන් පිළිගත යුතු හා පිළිපැදිය යුතු බැඳීම් නීති ඒවාය. සියලුම සිවිල් ජීවිත වැදගත්ය!
ගාසා තීරයේ, බටහිර ඉවුරේ සහ ඊශ්‍රායලයේ අහිංසක සිවිල් වැසියන්ට එරෙහිව සිදු කරන ලද එම ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මම කෝපයට හා ශෝකයට පත් වෙමි.
අප කතා කරන පරිදි ගාසා තීරයේ ක්‍රියාත්මක වන නිර්දය බෝම්බ ප්‍රහාර මෙහෙයුම සෑම තරාතිරමකින්ම කුරිරු ය.
එය වටලනු ලැබූ සහ අසරණ වූ මිනිසුන් මත මුදාහළ සාමූහික දඬුවමකි.
එය ජාත්‍යන්තර මානුෂීය නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.
එය යුද අපරාධයකි.
එහෙත්, අර්බුද කෲරත්වයේ ගැඹුරුවත්ම, ලෝකයෙහි සැලකිල්ල අඩු බව පෙනේ.
වෙනත් ඕනෑම තැනක, සිවිල් යටිතල පහසුකම්වලට පහර දීම සහ මුළු ජනගහනයම ආහාර, ජලය, විදුලිය සහ මූලික අවශ්‍යතා සපුරා ගැනීම වළක්වා හිතාමතාම  සාගින්නට පත් කිරීම  හෙළා දැකෙනු ඇත.වගවීම, වහාම, අවිවාදයෙන්ම  එවැනි අවස්ථාවක දී බලාත්මක වනු ඇත.
එය මීට පෙර සිදු කර ඇත. ඒ මෑතකදී, තවත් ගැටුමකදීය.
නමුත් ගාසාවේ නොවේ. ඊශ්‍රායලය විසින් ගාසා තීරය සම්පූර්ණයෙන් වටලා සති දෙකක් ගතවී ඇත.  තවමත්, බොහෝ දුරට ඇත්තේ ගෝලීය නිශ්ශබ්දතාවයකි.
ඉන් අරාබි ලෝකයට ඇසෙන පණිවිඩය කන් පුපුරවන තරම් පැහැදිලි ය: පලස්තීන ජීවිත ඊශ්‍රායලය ජීවිත තරම් වැදගත් නොවේ. අපේ ජීවිත වලට ඇත්තේ අනිත් ජීවිත වඩා පහත් වටිනාකමකි. අප වෙනුවෙන් ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය නොවේ. එමෙන්ම මානව හිමිකම්හි සීමා මායිම් තිබේ.  ඒවා එම සීමා මායිම්වල නවතී.  සමහර ජාතීන් ඉදිරියේ නවතී. සමහර ආගම් ඉදිරියෙහි නවතී.
එය ඉතා භයානක පණිවිඩයක් වන්නේ අඛණ්ඩ ජාත්‍යන්තර උදාසීනත්වයේ සහ අකර්මන්‍යතාවයේ ප්‍රතිවිපාක අප සැමට ව්‍යසනකාරී වනු ඇති නිසාය.
ප්‍රාථමික, අමු හැඟීම්වලට මොහොත නියම කිරීමට අපට ඉඩ දිය නොහැක; අද අපගේ ප්‍රමුඛතා පැහැදිලි සහ හදිසි ය.
පළමුවැන්න: ගාසා තීරයට එරෙහි යුද්ධය වහාම අවසන් කිරීම සහ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම, අපගේ පොදු වටිනාකම් සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව,සියලු සිවිල් වැසියන් ඉලක්ක කිරීම වෙනසකින් තොරව ලෙස හෙළා දකින ඒකාබද්ධ ස්ථාවරයක් අනුගමනය කිරීම. එසේ ක්‍රියාත්මක නොවුව හොත් එම සියලු වටිනාකම් අහිමි වී යයි.
දෙවනුව: ගාසා තීරයට මානුෂීය ආධාර, ඉන්ධන, ආහාර සහ ඖෂධ තිරසාරව සහ බාධාවකින් තොරව බෙදා හැරීම.
තෙවනුව: පලස්තීනුවන් බලහත්කාරයෙන් අවතැන් කිරීම හෝ අභ්‍යන්තර අවතැන් කරවීම අවිවාදයෙන් ප්‍රතික්ෂේප කිරීම. මෙය ජාත්‍යන්තර නීතියට අනුව යුද අපරාධයක් වන අතර අප සැමට  පසු කළ නොහැකි රතු ඉරකි.
මෙම ගැටුම, මිත්‍රවරුනි  සති දෙකකට පෙර ආරම්භ වූවක් නොවේ. අප මේ ලෙයින් තෙත් වූ මාවතේම ඉදිරියට ගියහොත්  ගැටුම නතර නොවනු ඇත. එය තවත් බොහෝ දේ කරා වර්ධනය වනු ඇති බව අපි හොඳින් දනිමු. එනම් මරණය හා විනාශය, වෛරය සහ බලාපොරොත්තු සුන්වීම නම් අවසානයක් නැති ගැටුමකි.
අද ඊශ්‍රායලය ගාසා තීරයේ සාමාන්‍ය වැසියන් සාගින්නෙන් පෙළෙන නමුත් දශක ගණනාවක්ම පුරා පලස්තීනුවන් පෙළෙමින් සිටින්නේ බලාපොරොත්තු, නිදහස සහ අනාගතය පිළිබඳ සාගින්නෙනි.

මක්නිසාද යත් බෝම්බ දැමීම නැවැත්වූ විට, ඊශ්‍රායලය කිසි විටෙකත් වග කිව යුතු නොවන නිසාය. භූමිය අල්ලා ගෙන සිටීමේ අසාධාරණයන් දිගටම පවතී.  ඊළඟ වටයේ ප්‍රචණ්ඩත්වය තෙක් ලෝකය නිහඬ වෙයි.
පලස්තීනුවන්ට සහ ඊශ්‍රායෙල්වරුන්ට එකසේ සාමය ගෙන එන දේශපාලන ක්ෂිතිජයක් කරා ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් ලබා ගැනීමට අපොහොසත් වීමේ මිල අද අප දකින ලේ වැගිරීමයි.
ඊශ්‍රායල නායකත්වය එහි ආරක්‍ෂක අවශ්‍යතා සඳහා මිලිටරි විසඳුමක් නොමැති බවත්, තම ආක්‍රමණය යටතේ ජීවත් වන මිලියන පහක පලස්තීනුවන් දිගින් දිගටම යටපත් කර දැමිය නොහැකි බවත්, ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කළ නොහැකි බවත්, පලස්තීනුවන්ගේ ජීවිත ඊශ්‍රායල ජීවිතවලට වඩා අඩු වටිනාකමක් නොමැති බවත් වටහා ගත යුතුය.
අසාධාරණයේ අත්තිවාරම් මත රාජ්‍යයක් ගොඩනැගුණහොත් කිසිදාක දියුණු විය නොහැකි බව ඊශ්‍රායල නායකත්වය ස්ථිර ලෙසම වටහා ගත යුතුය.
පසුගිය වසර 15 තුළ රාජ්‍ය දෙකක (එනම් ස්වාධීන ඊශ්‍රාලයක් සහ පලස්තීනයක්) විසඳුමක් පිළිබඳ සිහින සහ සමස්ත පරම්පරාවකම බලාපොරොත්තු බලාපොරොත්තු සුන් වූ ආකාරය අපි දුටුවෙමු.
මෙය දැඩි මතධාරී ඊශ්‍රායල නායකත්වයේ ප්‍රතිපත්තිය වී ඇත. එනම් සාමය මත නොව ආරක්ෂාව කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම සහ ස්වයං පාලන පලස්තීන රාජ්‍යයක් බිහි කළ නොහැකි බිමක නව නීති විරෝධී යථාර්ථයන් නිර්මාණය කිරීමය. එම ක්‍රියාවලිය දෙපැත්තෙහිම අන්තවාදීන්ට බලය ලබා දී තිබේ.
එනමුත් පලස්තීනුවන් සහ ඊශ්‍රායෙල්වරුන් යන දෙඅංශයෙන්ම මෙම ගැටුම දුරදිග ගොස් ඇතැයි කියා එය අපට අමතක කළ නොහැක.
ඊශ්‍රායල ජනතාවට අපගේ සාමූහික සහ ඒකාබද්ධ පණිවිඩය විය යුත්තේ “ඔබටත් පලස්තීනුවන්ටත් සාමයේ සහ ආරක්ෂාවේ අනාගතයක් අවශ්‍ය බවත් ඔබේ දරුවන් සහ පලස්තීන දරුවන් තවදුරටත් බියෙන් ජීවත් නොවිය යුතු” බවය.
රාජ්‍ය දෙකක් යන විසඳුම මත සාධාරණ සහ තිරසාර සාමයක් කරා අපව ගෙන යා හැකි අර්ථවත් දේශපාලන ක්‍රියාවලියක් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීම ජාත්‍යන්තර ප්‍රජාව වශයෙන් අපගේ යුතුකමයි.
මැදපෙරදිග ජනතාවට සහ මුළු ලෝකයටම ආරක්ෂිත සහ සුරක්ෂිත අනාගතයක් සඳහා එකම මාර්ගය – යුදෙව් ජනතාවට, කිතුනුවන්ට, මුස්ලිම්වරුන්ට – සෑම මනුෂ්‍ය ජීවිතයක්ම සමාන වටිනාකමක් ඇති බව විශ්වාස කිරීමෙන් ආරම්භ වන අතර එය අවසන් වන්නේ රාජ්‍ය දෙකක් පිහිටුවීමෙන්ය.
පලස්තීනය සහ ඊශ්‍රායලය, ගංගාවේ සිට මුහුද දක්වා ගොඩ බිම සහ සාමය බෙදාහදා ගනිති.
දැන් ක්‍රියා කිරීමට කාලයයි.
(පසුගිය දා ඊජිප්තුවේ කයිරෝ අගනුවර පැවැති රාජ්‍ය නායක සමුළුවෙහි දී ජෝර්දානයේ අබ්දුල්ලා රජු කළ කතාවේ සිංහල පරිවර්තනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news