Sunday, April 28, 2024

පොලිස්පති සන්නිය: ව්‍යවස්ථා සභාව කුඩු ජාවාරමුන් රකින බවට “දිනමිණ” ද, “කුමංත්‍රණකාරයින් ” බවට “ලංකාදීප”ය ද චෝදනා කරයි.

ඡායාරූපය: තමා සේවය කරන්නේ දේශපාලනඥයින්ගේ අවශ්‍යතාවලට බව පොලිස්පති වික්‍රමරත්නම පිළිගෙන තිබේ.
දහඅට සන්නිය පරදවන පොලිස්පති සන්නිය දැන් ජයසා සහ ලෙංචිනා නාඩගමක් බවට පත්ව තිබේ.
පොලිස්පතිවරයා විසින්ම පොලිස් සේවයේ ප්‍රධානීන්ට සහ ප්‍රධන අංශ වලට යවන ලද ලිපියක, සිය ටස්වා දිගුව දී ඇත්තේ “ව්‍යවස්ථා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව” බව කියා සිටිය දී, ව්‍යවස්ථා සභාව එම සේවා දිගුව අනුමත නොකිරීම දේශපාලන කුමංත්‍රණයක් සහ කුඩු ජාවාරමුන් රැකීමට ගත් තීරණයක් බව රනිල් රාජපක්ෂගේ පවුලේ පුවත්පත වන ලංකාදීපය සහ ආණ්ඩුවේ හොරණෑව වන දිනමිණ ප්‍රකාශ කරයි.
පොලිස්පති යැවූ ලිපිය මෙසේය:

 

මේ අතර වසය 60 වැඩි රාජ්‍ය සේවකයින්ගේ සේවය දීර්ඝ කිරීම සම්ප්‍රදාය නොවන බැවින්, පොලිස්පති වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා දීම අනුමත නොකිරීමට ව්‍යවස්ථා සභාව ගත් තීරණය කුඩු ජාවාරමුන් රැකීමට ගත් තිරණයක් දැයි සැකයක් මතුවන බව අද  දිනමිණ වාර්තා කර තිබේ.
එමගින් දිනමිණ කියන්නේ ව්‍යවස්ථා සභාව කුඩු ජාවරමට යට වී ඇති බවයි.
මේ අතර ලංකාදීපය වාර්තා කරන්නේ එය දේශපාලන කුමංත්‍රණයක් බවයි.
පුදුමයට කරුණ නම් මෙම වාර්තා දෙකම එකම පුද්ගලයකු විසින් ලියා වෙනත් නම් වලින් පළ කරවන ලද බව පෙනී යාමයි.
පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ගවලට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නිලන්ත ජයවර්ධන, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්දු තෙන්නකෝන් සහ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක එම තනතුර සඳහා ඉහළම තරගයක යෙදී සිටිති.
එනමුත් මෙම තිදෙනාම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්ව සිටී. ටිරන් අලස්, දේශබන්දුට පක්ෂපාත අතර රනිල් රාජපක්ෂ නිලන්ත ජයවරධනට පක්ෂ යැයි කියැවේ.
මෙම ලිපිය අග පළකර ඇති පළ කර  ඇති දිනමිණ සහ ලංකාදීප වාර්තා කියවා බලන ඕනෑම අයකුට ඒ බව තේරුම් ගැනීම දුෂ්කර නැත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි සේවය කරන රනිල් රාජපක්ෂගේ සමීපතමයකු විසින් මෙම වාර්තා එම පුවත්පත් දෙකට දෙන ලදැයි අනුමාන කැරේ.
මෙහි ඇති භයානකම කරුන වන්නේ අගමැති, විපක්ෂ නායක සහ කතානායක ඇතුලු ව්‍යවස්ථා සභාව ගත් තීරණය “කුඩු ජාවාරමුන් රැකීමට ගත් තීරණයක්” ලෙස හුවා දක්වා තිබීමයි.
පොලිසියේ ඉහළ නිලධාරීන්  කුඩු ජාවාරමට සම්බන්ධ බවට නැගී ඇති චෝදනා, ව්‍යාවස්ථා සභාවට පැවරීම ද මෙම වාර්තාවේ අරමුණක් බව පැවසේ.
දෙකෙහිම ශිර්ෂ පාඨ එකම අදහස් ගම්‍ය කරයි.

පොලිස්පතිවරයා පැන්නීමේ කුමන්ත්‍රණය ජනපති පරදයි – ලංකාදීප

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කළ පොලිස්පති ජනපති යළි පත් කරයි – දිනමිණ

දිනමිණ පුවත මෙසේය:

හදිසියේ ඉවත් කළේ කුඩු ජාවාරමෙක් රකින්නදැයි ප්‍රබල සැකයක්

ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් මහජන ආරක්ෂක අමාත්‍ය (පොලිසිය භාර) ටිරාන් අලස් මහතාත් දිවයිනෙන් බැහැරව සිටින අවස්ථාවකදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය පැයක් ඇතුළත නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා යළි ධුරයේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) දිනයේදීම පියවර ගත්තේය. පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ලම වහාම ලබාදී තිබේ.
ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාත් පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතාත් දිවයිනේ නොසිටින අවස්ථාවක පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිදු කළ බරපතළ වරදක්යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ‘දිනමිණට’ ප්‍රකාශ කළේය.
මේ මොහොතේ දිවයිනෙන් බැහැරව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් දින දෙකකින් යළි පැමිණීමට තිබෙන පසුබිමක පොලිස්පතිවරයා ඉවත් කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයි ප්‍රබල සැකයක් මතු වන බව ද ඉහත ඇමැතිවරයා තවදුරටත් පැවසීය.
ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමට පෙරාතුව කිසියම් කුඩු ජාවාරම්කරුවකු ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත්තාදැයි වහාම සොයා බලන බව ද එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා කියා සිටියේය.
ජනාධිපතිවරයාත් පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යවරයාත් රට තුළ නොසිටින මොහොතක පොලිස්පතිවරයා ඉවත් කිරීම මෙරට සමස්ත පොලිසියම වසා දැමීමකට සමාන යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
වචන  කිහිපයක්  වෙනස් කර ලංකාදීප ය ද එම වාර්තාවම පළ කර තිබුණි.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පොලීසිය බාරව සිටින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද දිවයිනේ නොමැති අවස්ථාවේදී පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා ධුරයේ පිහිටවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පියවර ගත්තේය.
පොලිස්පතිවරයා නැවත ධුරයට පත් කරනු ලැබූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අද ඔහු තනතුරෙන් ඉවත් කර පැයක් ගත වීමටත් මත්තෙනි.
පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ලම වහ වහා ලබා දුන්නේය.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතාත් දිවයිනේ නො සිටින අවස්ථාවක පොලිස්පතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කිරීම බරපතළ වරදකියි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් දින දෙකකින් පැමිණීමට තිබෙන පසුබිම යටතේ පොලිස්පතිවරයා ඉවත් කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට ප්‍රබල සැකයක් මතුවන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයාත් පොලිසිය බාර අමාත්‍යවරයාත් රටේ නොසිටින අවස්ථාවක පොලිස්පතිවරයා ඉවත් කිරීම රටේ සමස්ත පොලිසියම වසා දැමීමකට සමාන යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
ධුර කාලය ඉක්ම ගොස් තිබූ පොලිස්පති සී. ඩී .වික්‍රමරත්න මහතාට තවත් සති තුනක් සඳහා සේවා දිගුවක් ලබා දීමට මීට පෙර දී පියවර ගෙන තිබිණි.
වීධායක ජනාධිපති බලතල කඩුව අතට ගත් වඳුරා මෙන්  ලෙලවන රනිල් රාජපක්ෂ දැන් කටයුතු කරන්නේ උමතුවෙන් දැයි සැකයක් මතු වන බව දේශපාලන විචාරකයෝ පවසති.
පොලිස්පතිවරයකු නොමැතිව සතියකට ආසන්න කාලයක් මෙයට පෙරද ගත වූ නමුත් ඒ නිසා ඇති වූ ප්‍රශ්ණයක් නැත.

සේ. පියවර්ධන විසිනි.

 

Archive

Latest news

Related news