Saturday, November 23, 2024

නීතිරීති සහ ආරක්ෂක අංශ මත පමණක් ආණ්ඩුවක් යැපීම තිරසාර නැහැ! – ආචාර්ය ජෙහාන් පෙරේරා

සාර්ථක ඇමරිකානු සංචාරයකින් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආපසු පැමිණියේ සතුටුදායක ආරංචි ඇති රටකට නොවේ. ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ ස්වකීය දෙවැනි වාරිකය ලංකාවට ලබා දීම පමා කරමින් සිටීමේ ප්‍රවෘතියයි. කියුබාවේදීත්, ඇමරිකාවේදීත් ලෝක වේදිකාවේ යෝධයන් සමග ලංකාවේ ජනාධිපතිවරයා කරට කර සිටියේය. කියුබාවේ පැවති, ‘77 කණ්ඩායමේ’ රාජ්‍ය නායක සමුළුව අමතමින්, දියුණු වෙමින් පවතින රටවල අනාගතය හැඩගැස්වීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය වැනි අංශවලින් ඉදිරියට යාමේ ඇති වැදගත්කම ඔහු අවධාරණය කෙළේය. 21 වැනි සියවස තුළ දක්නට ලැබෙන නව තාක්ෂණයේ ඇති අසමාන බෙදීම් ගැන ඔහු එහිදී පෙන්වා දුනි. ඒ බෙදී යාමේ පරතරය නැති කරගැනීම සඳහා, ‘මහා දත්ත’, අන්තර්ජාල පහසුකම්, කෘත්‍රීම බුද්ධි මෙවලම්, ‘බ්ලොක්චේන්’, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය වැනි දේවල් අත්පත් කරගැනීම අවශ්‍ය වන බව ඔහු කීවේය. එසේම, අලුත් හවානා ප්‍රකාශනයට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව කැප වන බව කී ඔහු ‘77 කණ්ඩායම’ සහ චීනයේ සාමූහික හඬ ජාත්‍යන්තරය තුළ ඇසෙන්නට සැලැස්විය යුතු යැයි කීවේය.

එජා සංවිධානයට මොනවා කීවත්

සාමය ගොඩනැඟීමේ ස්වකීය අත්දැකීම්වල පන්නරය සහිතව, ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ මහා සභාව ඇමතූ ඔහු, ලෝක සාමය සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංයුතියේ වෙනසක් අත්‍යාවශ්‍ය කරන බව කියා සිටියේය. එසේම, ආර්ථික, මූල්‍ය, ආයතනික සහ සහජීවනමය ක්ෂේත්‍රයන්හි තමා ආරම්භ කළ ප්‍රතිසංස්කරණ ගැන කතා කරමින්, ඒ මගින් ජනතාව සහ රාජ්‍යය අතරේ විශ්වාසය ගොඩනැඟීමේ දිසාවකට යොමු විය හැකි වන බව පෙන්වා දුන් ඔහු, ආර්ථික ස්ථායීතාව සහ ආර්ථික අගාධයෙන් ගොඩඒම සඳහා වන පදනම් දැමිය හැකි වන බව කියා සිටියේය.
කෙසේ වෙතත්, ඒ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය රට තුළ මුහුණදෙන්නේ අර්බුදකාරී අභියෝගයන්ටයි. රටේ ආර්ථිකය ගිය වසරේදී (2022) සියයට 7 කින් හැකිළුණු අතර මේ වසරේ ප්‍රථම කාර්තුවේ සියයට 11 කින් හැකිළුණි. දෙවැනි කාර්තුවේදී තවත් සියයට 3 කින් හැකිළුණි. භාණ්ඩ හිඟකම සහ පෝලිම් තවදුරටත් නැති බවට මොන තරම් පුරසාරම් කීවත්, එසේ වුණේ රටේ ඇති වූ ආර්ථික ප්‍රගතියක් නිසා නොව, මිනිසුන්ගේ අතේ වියදම් කිරීමට ඇති මුදල් ප්‍රමාණය හිඟ වීම නිසා බව කිව යුතුය.

ආර්ථිකයේ ඉතා වැදගත් අංශ රාශියක මහා හිල්

ගිය වසරේ උද්ධමනය නිසා මිනිසුන්ගේ ආදායමේ වටිනාකම අඩකින් අඩු වී තිබේ. ඉහළ බදු ගැසීම් නිසා, මධ්‍යම ආදායම්ලාභී සහ වෘත්තීය පිරිස් දිළින්දන් වී තිබේ. ඔවුහූ දැන් බුරුතු පිටින් රට හැර යති. ඒ හේතුවෙන්, ආර්ථිකයේ ඉතා වැදගත් අංශ රාශියක මහා හිල් හෑරී ඇත. එසේ වීත්, මධ්‍යම ආදායම්ලාභී සහ වෘත්තිය පංතිවලට සෘජුව බදු ගසා තිබියදීත්, විකුණුම් බදු හරහා සාමාන්‍ය ජනතාවට අධික බදු බරක් පටවා තිබියදීත්, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර ලබාගැනීම සඳහා පිරවිය යුතු රටේ මූල්‍ය අංශයේ මහා හිල් තවමත් වැසී නැත. ඒ වෙනුවට, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්’ සමග ආණ්ඩුව ගිවිසගෙන ඇති ආණ්ඩුවේ ආදායම් ඉලක්කය, රුපියල් බිලියන 5000 ක හිඟයකට මුහුණදී ඇත. ආණ්ඩුව ලබාගන්නා මේ බදු මුදල්, වැරදි දේවල් සඳහා නොයොදා, මහ පරිමාණ නාස්ති කිරීම්වලට නොයොදා, බුද්ධිමත් ආකාරයෙන් පාවිච්චියට ගැනීමේ කොන්දේසියක් ආණ්ඩුව ඉදිරියේ තිබේ. එහෙත්, ජනතාව සිතන්නේ පරණ නාස්තියම තවදුරටත් සිදුවන බවයි.

අසමාන විදිහට බර පැටවීම

සාමාන්‍ය ජනතාව මත තවත් ආර්ථික බර පැටවිය යුතු බවට ඉඟි පැනනැඟේ. ප්‍රශ්නය වන්නේ, ඒ ආර්ථික බර සහ බදු බර අසමාන ආකාරයෙන් ජනතාව මත පැටවීමත්, ධනපතියන් මත එයාකාරයෙන් බර නොපැටවීමත් ය. උදාහරණයක් වශයෙන්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බර, බැංකු මත පැටෙව්වොත් බැංකු කඩාවැටෙතැයි යන ආණ්ඩුවේ තර්කය ගන්න. ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ගනුදෙනුව ගැන දීර්ඝ කාලයක් තිස්සේ ගැඹුරු අධ්‍යයනයන් කරන ලංකාවේ බුද්ධි මණ්ඩලයක් වන ‘වෙරිතේ රිසර්ච්’ ආයතනයේ ප්‍රධානී ආචාර්ය නිශාන් ද මැල් ඒ මතය බැහැර කරයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යම් බරක් බැංකුවලට දැම්මොත් බැංකු කඩාවැටෙතැයි යන නිගමනයට ආණ්ඩුව පැමිණ ඇත්තේ ඒ පිළිබඳ කිසි විමර්ශනයක් කිරීමෙන් නොවන බව නිශාන් ද මැල් පෙන්වා දෙයි. “ණය ප්‍රතිව්‍යුහගත කළ වෙනත් සෑම රටක්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ යම් බරක් බැංකු අංශය වෙත පටවා ඇත. ඒ ක්‍රියාවලිය තුළ බැංකු ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේද තිබේ. එහෙත් ලංකා ආණ්ඩුව කර ඇත්තේ, සියලු බර විශ්‍රාම වැටුප් අරමුදල් මත පැටවීමත්, එයින් සිදුවන හානිය සීමිත බව ප්‍රකාශ කිරීමත් ය. ඒ අතර, බැංකුවලට යම් බරක් දැම්මොත් බැංකු කඩාවැටෙතැයි කියයි. මෙහි ඇත්තක් තිබේද? බරෙන් කොටසක් දරාගැනීමට බැංකුවලට නොහැක්කේ ඇයි?” නිශාන් ද මැල් ප්‍රශ්න කරයි.

ලාභය පුද්ගලීකරණය කොට අලාභය ජනතාකරණය කිරීම

ඒ අනුව, ආණ්ඩුව කරන්නේ ලාභය පුද්ගලීකරණය කොට අලාභය ජනතාකරණය කිරීමක් බව ඔහු පෙන්වා දෙයි. ආණ්ඩුව එසේ හැසිරෙන්නේ වගවීමේ යාන්ත්‍රණ නැති නිසා ය. “බලය ඇති අවස්ථාවේ තමන්ගේ සහ තම මිතුරන්ගේ සුභසිද්ධිය සඳහා වැඩ කරමින් සංවර්ධනයේ ප්‍රතිලාභ කුඩා කණ්ඩායමක් අතට පත්කිරීමට වගබලාගන්නා ආණ්ඩුව, එම කණ්ඩායම්වලට වාසි වන ආකාරයෙන් ප්‍රතිපත්ති ආදිය සැලසුම් කරන ආණ්ඩුව, ඒ ක්‍රමවේදය යම් හෙයකින් වැරදීමෙන් රටම කඩාවැටෙන්ට පටන්ගත් විට, ඒ අලාභයේ සම්පූර්ණ බර පොදුවේ ජනතාව මත පැටවීමට පසුබට නොවෙයි. ලංකාවේ අප දකින්නේ එවැනි තත්වයකි.” නිශාන් ද මැල් කියයි.
සිවිල් සමාජ සාමූහිකයක් විසින් සම්පාදිත, මහාචාර්ය අර්ජුන පරාක්‍රමගේ කර්තෘත්වයෙන් ප්‍රකාශයට පත් ‘ආණ්ඩුකරණ රෝග නිදාන වාර්තාවකත්’ මේ අදහසම පෙන්වා දී තිබේ. “ආර්ථික අසාධාරණත්වය පිළිබඳ සමාජයේ පැසවන අසහනය තවත් උග්‍ර කෙරී ඇත්තේ, ආර්ථික අර්බුදයේ නිර්මාණකරුවන් මේ අලාභයේ බරෙන් සොච්චමක්වත් නොදැරීමත්, කිසිදු මහජන සංවාදයකින් තොරව ඒ මුළු බර අර ආර්ථික අර්බුදයේ වින්දිතයන් මතට පැටවීමත් නිසා” යැයි එම වාර්තාව කියයි.

දේශපාලනික සුජාත භාවයක් නැති ආණ්ඩුවක්

මේ තත්වය අස්ථාවරත්වයක් කරා තල්ලු කරන ඊළඟ සාධකය වන්නේ, මෙවැනි අසාධාරණ සහ අසමාන බර බෙදීයාමක් පිළිබඳ තීරණය ගෙන ඇත්තේ සහ එය ක්‍රියාවේ යොදවන්නේ, දේශපාලනික සුජාත භාවයක් නැති ආණ්ඩුවකින් වීමයි. මීට අවුරුදු එක හමාරකට කලින්, වර්තමාන ආණ්ඩුවේ සිටින ඇමතිවරුන් සිටියේ බයෙන් පලායමිනි. දූෂිත සහ ජඩ ප්‍රතිපත්ති හරහා ආර්ථිකය විනාශ කිරීමේ අපරාධයට පාලකයන් වගකිව යුතු යැයි, සත්‍යය හෝ කල්පිත මත පදනම්ව, හඬ නඟමින් මහපාරට බැස සිටි ජනතාවට බියේ හැංගෙමිනි. (විපක්ෂයේ සිට පැති මාරු කළ කිහිප දෙනෙකු හැරුණු විට), අද සිටින සියලු ඇමතිවරුන්ට එදා සිය ඇමති ධුර අතහැර යාමට සිදු විය. ඔවුන් නැවතත් ඇමතිවරුන් වශයෙන් පත්කෙරුණේ රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ 134 දෙනෙකුගේ ඡන්දයෙන් නව ජනාධිපතිවරයා වශයෙන් දිව්රුම් දීමෙන් පසුවයි. එහෙත්, සුජාත භාවය පිළිබඳ ප්‍රශ්නය තවමත් නොමැකී තිබේ. බල ව්‍යුහය තුළ වර්තමාන ආණ්ඩුව මොන තරම් ශක්තිමත්ව සිටියත්, අර අනාරක්ෂිත බව සෙවණැල්ලක් සේ ඒ වටා ගැවසෙයි. සුජාත භාවය යළි ලබාගනිමින්, විශ්වාසයේ පළුද්ද හරිගස්සාගැනීමේ මාර්ගය වන්නේ, සියලු ජන කොටස්වලට එක සේ බලපාන පරිද්දෙන්, යුක්තිසහගත සහ සාධාරණ ආකාරයේ තීරණ ගැනීමයි.

ප්‍රජාතන්ත්‍රවාදී නොවන නීති

ප්‍රතිකාර්මික පියවර නොගත්තොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇති කරගෙන ඇති ගිවිසුම පවත්වාගැනීම දුෂ්කර වනු ඇත. එසේ වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේක්ෂා කරන ඉලක්ක වෙත ළඟාවීමට ආණ්ඩුව අපොහොසත් වන නිසාම පමණක් නොවේ. සාමාන්‍ය ජනතාව අතරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන විචිකිච්ඡාවක්ද පවතින බැවිනි. ‘වෙරිතේ රිසර්ච්’ ආයතනයෙන් පවත්වන ලද එක් මත විමසුමකට අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල නිසා අනාගත ආර්ථිකය තව තවත් අර්බුදයට පත්වෙනු ඇතැයි ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 45 ක් විශ්වාස කරති. ඒ වැඩපිළිවෙල මගින් අනාගත ආර්ථිකය යහපත් වනු ඇතැයි විශ්වාස කරන්නේ සියයට 28 ක් පමණි. දිනෙන් දින වර්ධනය වන ආර්ථික දුෂ්කරතා නිසා මහජන විරෝධතා ව්‍යාපාර තව තවත් වැඩි වීමට ඉඩ තිබේ. මේ තත්වය තුළ විවිධ පක්ෂ සහ පාර්ශ්ව ආර්ථික දුෂ්කරතා නැති කිරීමට තමන් ළඟ විසඳුම් ඇතැයි පොරොන්දු දිය හැකිය. ඒ සියල්ල තුඩුදෙනු ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇති කරගෙන තිබෙන එකඟතා අත්හැර දැමීමට ය.

මැතිවරණ කල්දැමීමේ ඝෝෂාව

මේ අතර, පවතින තත්වයන් යටතේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තිබෙන ගිවිසුම ආරක්ෂා කරගැනීමට නම්, යම් කාලයකට මැතිවරණ පැවැත්වීමෙන් වැළකී සිටීම අවශ්‍ය වෙතැයි යන අදහසක් පැතිරවීමට ආණ්ඩුව විසින් ඇතැම් පුද්ගලයන් යොදවා ඇති බවක් පෙනෙන්ට තිබේ. ආර්ථික දුෂ්තරතාවන්ට මුවා වී එවැනි මාර්ගයක යාමට ආණ්ඩුවත් කැමැත්තෙන් සිටින බවක් පෙනෙන්ට තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමට පැමිණීමට කලින් පවා, සියල්ලට කලින් ආර්ථිකය ගොඩගැනීමේ තර්කය ඉදිරියට දමා ආණ්ඩුව පළාත් පාලන ඡන්ද කල්දමා ගත් බව අපි දනිමු. ජනාධිපතිවරයා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මෑතකදී, ඊළඟ වසරේ ජනාධිපතිවරණය සඳහා 2024 අයවැයෙන් මුදල් වෙන් කිරීමට සිදුවුණොත්, ජනතාවගේ ආර්ථික අවශ්‍යතා පිරිමැසීමට ආණ්ඩුවට හැකියාවක් ලැබෙන එකක් නැතැයි මෑතකදී කියා තිබුණි. අදහස් ප්‍රකාශනයේ නිදහසත්, මහජන විරෝධතාවන්ට සහභාගී වීමට ඇති අයිතියක් කප්පාදු කෙරෙන මතභේදකාරී පනත් දෙකක් ගෙන ඒමට මේ මොහොතේ ආණ්ඩුව ගන්නා ප්‍රයත්නය සැලකිල්ලට ගත යුත්තේ ඒ සන්දර්භය තුළ තබා ය.

ත්‍රස්ත පනතම ත්‍රස්තවාදයක්

දැනට තිබෙන ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික ප්‍රතිපාදන) පනත’ ඉවත්කොට, මේ ආණ්ඩුව ගෙන ඒමට උත්සාහ කරන ‘ප්‍රති-ත්‍රස්ත පනතට’ අනුව, මහජන විරෝධතා ව්‍යාපාර හෝ වෘත්තීය සමිති ක්‍රියාවන් සම්බන්ධයෙන් පවා කෙනෙකු අත්අඩංගුවට ගැනීමේ බලය ආණ්ඩුවට පැවරෙන්නේය. ඒ තරමට එහි බලතල පරාසය පුළුල් ය. “ජනතාව හෝ ජනතාවගෙන් කොටසක් බිය වද්දති” ය යන චෝදනාව යටතේ ඕනෑම කෙනෙකු මේ යටතේ අත්අඩංගුවට ගත හැකිය.

‘මාර්ගගත ආරක්ෂණ’ පනත මර උඟුලක්

අලුතෙන් ගෙන ඒමට යන අනිත් පනත වන්නේ, ‘මාර්ගගත ආරක්ෂණ’ පනත් කෙටුම්පතයි. මේ පනතට අනුව, අන්තර්ජාල අවකාශය තුළ කෙරෙන දේශපාලනික අර්ථයේ සන්නිවේදනයන් මැඩලිය හැකිය. මේ පනත යටතේ, සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් කොමිසමක් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන අතර, මාර්ගගත අවකාශයේ තිබෙන අන්තර්ගතයන්හි සත්‍යාසත්‍ය භාවය තීන්දු කිරීමේ බලය පැවරෙනු ඇත්තේ ඔවුන්ට ය. ඕනෑම සමාජ මාධ්‍ය ගිණුමක් හෝ මාර්ගගත ප්‍රකාශනයක් තහනම් කිරීමේ හෝ අත්හිටුවීමේ බලය මේ කොමිසමට පැවරෙනු ඇත. එපමණක් නොව, එවැනි වැරදි සඳහා හිර දඬුවම් නිර්දේශ කිරීමේ බලයටද ඔවුන්ට හිමි වන්නේය.

මේ පනත් දෙකම, ජනතාවගේ නිදහස කෙරෙහි ඉතා නරක අන්දමින් බලපාන බවත්, නීතියේ ආධිපත්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදයත් කෙරෙහි ඉන් අනතුරක් ඇති කරන බවත් පෙන්වා දී ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ඒ පනත් දෙකම ඉල්ලා අස්කරගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. මේ නීති දෙක පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තොත්, ආණ්ඩුව වැරදි මාවතක ගමන් කරන අවස්ථාවකදී පවා එය ප්‍රශ්න කිරීමට ජනතාවට ඇති අයිතිය උදුරාගැනීමක් වනු ඇත. එහෙත්, රටේ ආර්ථික තත්වය වර්ධනය නොවන්නේ නම් සහ අති විශාල ජනකායකගේ ආර්ථික දුෂ්කරතා සමනය නොකෙරෙන්නේ නම්, නීතිරීති සහ ආරක්ෂක අංශ මත පමණක් ආණ්ඩුවක් යැපීම, තිරසාර විසඳුමක් නොවන්නේය.

 

2023 ඔක්තෝබර් 4 දින The Morning  පුවත්පතෙහි “Economic Progress and non – Corruption needed to stem dissent” මැයින් පල වූ ආචාර්ය ජෙහාන් පෙරේරා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය governancelanka වෙතිනි.

Archive

Latest news

Related news