Friday, May 3, 2024

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ ඇත්ත සෙවීම වැළැක්වූ බාධා 6 ක් සහ ගෝටාට උත්තරයක් (විඩියෝ) – රවි සෙනවිරත්න

සේ.පියවර්ධන විසිනි.
පාස්කු ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ එහි ප්‍රධානීන් වගකිවයුතු යැයි ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශයට පිළිතුරක් ලෙස පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කළ කිසිම කොමිසමක හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවේ කිසිම තැන අපරාධ විමර්ශන කොට්ඨාශයට කිසිදු චෝදනාවක් එල්ල කර නැති බව රවි සෙනවිරත්න අවධාරණය කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න  ඒ බව කියා සිටියේ පසුගිය 18වන දින ටීඑන්එල් රූපවාහිනිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය.
පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ කුමන්ත්‍රණයේ සියලු පරීක්ෂණ ඇනහිට තිබෙන කරුණූ 06ක් පිළිබඳ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න එහිදී පැහැදිලි කළේය.
රනිල් රාජපක්ෂ ආණ්ඩුව චැනල් 4 වීඩියෝවෙන් පසු දෙකොන පත්තු වී එකිනෙකට පරස්පර ප්‍රකාශ කරමින් සිටින අතරතුර රවි සෙවිරත්න  කරන ලද අදහස් දැක්වීම් ආණ්ඩුවට දෙන ලද පිළිතුරක් සේ සැළකිය හැකිය.
රනිල් රාජපක්ෂ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය එම විඩියෝව ප්‍රතික්ෂේප කරමින්  දීර්ඝ ප්‍රකාශයක් කිරීමෙන් පසු රනිල් රාජපක්ෂම තවත් කොමිසමක් පත් කිරීම දවසේ විහිළුවක් බවට පත්ව තිබේ.
රවි සෙනවිරත්න ටීඑන්එල් සාකච්ඡාවෙහි දී පෙන්වා දුන්  විමර්ශන නතර වූ සිදුවීම් හය මෙසේය.
1.  අබුහිඩ් නමින් හැදින් වූ සහරාන් කණ්ඩායම සමඟ සබඳතා පැවැත් වූ පුද්ගලයා හඳුනා ගැනීමට යුද්ධ අංශ බාධා සිදු කිරීම
2. වර්තමාන රාජ්‍ය ඔත්තු සේවා ප්‍රධානී ජෙනරල් සුරේෂ් සලේගෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට අධිකරණයේ නියෝග ලබා ගැනීමට පවා සිදු වූවද එය කළ නොහැකි වීම.
3. සොනික් සොනික් යන නාමයෙන් හැඳින්වූ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර පිලිබද පරීක්ෂණය  රාජ්‍ය රහසක් ලෙස දක්වා හමුදා බුද්ධි අංශයෙන් නතර කිරීම.
4. විදේශ ඔත්තු සේවා අංශයක් සොයා දුන් දුරකතන IMEI අංකයක්  පරීක්ෂණය නැවැත්වීම.
5. වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට යාමටත් පෙර හමුදා බුද්ධි අංශ ලඟාවී තිබීම.
6. ව්වනතිව් පොලිස් නිලධාරීන් ඝාතනය පිළිබද රාජ්‍ය සහ හමුදා ඔත්තු සේවා ව්‍යාජ තොරතුරු ලබාදීම
එම සාකච්ඡාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී විශ්‍රාමික හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න කියා සිටියේ  එල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්තවාදී ප්‍රහාර දියත් කිරීමේදී පවා මෙතරම් සංවිධානාත්මක එකම වේලාවකදී ස්ථාන ගණනාවක මරා ගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සමත් නොවූ බවය.
එවැනි ප්‍රහාරයක් සැලසුම් කිරීමට පුහුණුවක් සහිත මහ මොළකරුවකු සිටිය යුතුයැයි යන සැකය ද රවි සෙනවිරත්න මතු කරයි.
එහෙත් එවැනි තත්වයක් අබිබවා ගිය මෙම ප්‍රහාරය මෙහෙයවා ඉස්ලාම් අන්තවාදී නායක සහරාන් හෂීම් පවා ඝාතන කිරීම මෙහෙය වූ බලවේගයක් මේ පිටුපස සිටියේ යැයි ප්‍රබල සැකයක් පවතින බව ද  ඔහු කියා සිටියේය.
තමා යටතේ අත්අඩංගුවට ගත් පිරිසට පසු කිසිවකු ගෝඨාභය රාජපක්ෂ හෝ රනිල් රාජපක්ෂ ආණ්ඩු යටතේ අත්අඩංඟුවට ගෙන ද නැත.

හෙජාස් සම්බන්ධ නැහැ

එපමණක් නොව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගෙන වසර දෙකකට ආසන්න කාලයක් ත්‍රස්ත පනත යටතේ රඳවා සිටි නීතිඥ සහ මානව හිමිකම් ක්‍රියාකාරී හෙජාස් හිස්බුල්ලා එම ප්‍රහාරයට සම්බන්ධ යැයි තමන් කළ පරීක්ෂණයේ දී කිසිදු තොරතුරක් නොලද බවද ඔහු ප්‍රකාශ කළේය.
එම වැඩ සටහන මෙහි දැක්වේ.

Archive

Latest news

Related news