Thursday, May 2, 2024

බෙලරුස්හි හිටපු මිනීමරු කණ්ඩායමක සාමාජිකයෙකුට ස්විට්සර්ලන්තයේ නඩු පැවරේ!

ඡායාරූපය: යූරි ගරාව්ස්කි නම් විශේෂ බලකා සාමාජිකයා විශ්වීය අධිකරණ බලය යටතේ නඩු විභාගයට මුහුණ දෙනු ඇත.
බෙලරුස් හි ප්‍රමුඛ විපක්ෂ නායකයින් තිදෙනෙකු අතුරුදහන් වීමෙන් වසර විසි හතරකට පසු, එරට විශේෂ බලකායේ හිටපු සාමාජිකයෙකු ස්විට්සර්ලන්ත අධිකරණයකදී එම අපරාධය සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.
මෙම නඩු විභාගය පැවත්වෙන්නේ විශ්වීය අධිකරණ බලය යටතේය.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ බරපතල මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් එම අධිකරණ බලය පාවිච්චි කරමින් වරදකරුවන්ට නඩු පවරන ලෙස මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්මතයක් මගින් විදෙස් රටවලින් ඉල්ලීමක් කර තිබේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි අපරාධයන්ද එයට ඇතුළත් වේ.
බෙලරුස්හි දී එම විපක්ෂ නායකයින් තිදෙනා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් යූරි ගරාව්ස්කි නම් එම විශේෂ බලකා සාමාජිකයාට චෝදනා  එල්ල වී ඇත.
එරට අත්තනෝමතික පාලකයා වන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ගේ  විරුද්ධවාදීන් වූ එම තිදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට සම්බන්ධ හමුදා ඒකකයක කොටසක තමා සාමාජිකයකු වූ බවට පාපොච්චාරණය කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
දැන් ස්විට්සර්ලන්ත අධිකරණය ඔහුගේ එම ප්‍රකාශය විනිශ්චයට භාජනය කරනු ඇත.
මාධ්‍ය සම්මුඛ සාකච්ඡා වලදී ගරාව්ස්කි, විසින් බෙලරුස් නායක ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝගේ විරුද්ධවාදීන් තිදෙනෙකු  රහසිගත පහරදීමේ කණ්ඩායමක් විසින් මින්ස්ක්හි වීදිවලින් පැහැර ගෙන  ඔවුන්ට නගරයෙන් පිටතදී  පිටුපසට දෙවරක් වෙඩි තැබූ ආකාරය පිළිබඳව සවිස්තරාත්මක ප්‍රකාශයක් කර තිබේ.
2020 දී එරට පැන නැගි පුළුල් මහජන  විරෝධතා  මර්දනය කරන ලද අතර මෙම පැහැර ගැනීම් සිදුව ඇත්තේ එම මර්දනයේ කොටසක් ලෙසය.
අතුරුදහන් වූ තිදෙනාගේ වන්නේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය යූරි සකරෙන්කෝ, විපක්ෂ දේශපාලනඥයෙකු වු වික්ටර් ගොන්චාර් සහ විපක්ෂ හිතවාදී ව්‍යාපාරික ඇනටෝලි ක්‍රසොව්ස්කි ය.
ඔවුන්ගේ ඉරණම පිළිබඳ වසර ගණනාවක වේදනාකාරී අවිනිශ්චිතතාවයෙන් පසුවන පවුල් සදහා මෙය ඉතා වැදගත් මොහොතකි.
Yury Zakharenko
යූරි සකරෙන්කෝ (මැද, උඩු රැවුල සහිත) 1999 මැයි මාසයේදී බෙලාරුසියානු අගනුවර වන මින්ස්ක් වෙතින් අතුරුදහන් විය. රූප මූලාශ්‍රය, එලේනා සකරෙන්කා
තම පියාගේ පැහැරගැනීමෙන්  පසු ඉක්මනින්ම බෙලරුස් හැර ගිය  දියණියන් දෙදෙනෙකු ද මේ සතියේ උසාවියට පැමිණෙනු ඇත. ඔවුන් දෙදෙනාම බීබීසීයට පවසා ඇත්තේසෙන්ට් ගාලන් නගරයේ නඩු විභාගයෙන් තමන්ට යම් සහනයක් ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.
දිගු කලක් තිස්සේ එලේනා සකරෙන්කා බලාපොරොත්තු වූයේ ඇගේ පියා බෙලාරුසියානු KGB ආරක්ෂක සේවය විසින් සිරගත කර ඇති බවත් කවදා හෝ නැවත පැමිණිය හැකි බවයි. අවසානයේදී ඔහු මිය ගිය බව ඇය දැන ගත් විට, ඔහු වධ හිංසාවට ලක් වන්නට ඇතැයි යන බිය ඇය පසු පස හොල්මන් කළ බව ඇය පවසයි.
වැලරියා ක්‍රොසොව්ස්කායා තම පියා මිය ගිය ආකාරය නොදැන සිටීමේ වේදනාව සහ කිසි විටෙකත් භූමදාන කිරීමට ශරීරයක් නොමැතිකම කඳුළෙන් විස්තර කර තිබේ.
ශ්‍රී ලංකාවේ සිය ගණන් මාපියන් මෙන්ම දරුවන්ද එම වේදනාව දැන දශක ගණනාවක් පුරා අත් විදිමින් සිටිති.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට  පාර්ශ්වයක් වන බැවින් යූරි ගරාව්ස්කි ස්විට්සර්ලන්තයේදී ඔහු අත්අඩංගුවට ගත් නගරයේ දී නඩු විභාගයට ලක් කරනු ඇත. ඔහු 2018 දී මින්ස්ක් සිට සරණාගතභාවය පතා ඔහු සෙන්ට් ගාලන් කරා පැමිණ තිබේ.
ස්විට්සර්ලන්තය එක්සත් ජාතීන්ගේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම මෙය සැලකිය යුතු නීතිමය මොහොතක් බව මාධය වාර්තා කරයි. බෙලාරුසියානු පුරවැසියෙකු සඳහා එවැනි විශ්වීය අධිකරණ බලයක් යොදා ගන්නා පළමු අවස්ථාව ද එයයි.
Elena Zakharenka
එලේනා සකරෙන්කා, රූප මූලාශ්‍රය, මැතිව් ගොඩාර්ඩ් රූප සටහන – යූරි සකරෙන්කෝගේ දියණිය එලේනා සකරෙන්කා පවසන්නේ ඔහුට වධ හිංසා පමුණු වන්නට ඇතැයි යන බිය තමා පසුපස හොල්මන් කරන බවයි.
2019 දී ජර්මනියේ ඩොයිෂ් වෙලේ සහ ස්විට්සර්ලන්ත පුවත්පතක් වන Neue Zürcher Zeitung වෙත අදහස් දක්වමින් Garavsky ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ විරුද්ධවාදීන් තිදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද  ආයුධයෙන් තමා ද වෙඩි තැබූ බවට පාපොච්චාරණය කළේය.
කුප්‍රකට SOBR විශේෂ බලකා ඒකකයේ ප්‍රධානියා වූ ඔහුගේ අණ දෙන නිලධාරි Dmitry Pavlichenko සැබෑ ඝාතනය සිදු කළ බවට ඔහු චෝදනා කළේය.
2003 දී, යුරෝපීය කවුන්සිලයේ විමර්ශනයක් ද කර්නල් පව්ලිචෙන්කෝ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට සම්බන්ධ කර ඇති අතර අපරාධය “රාජ්‍යයේ ඉහළම මට්ටමින්” වසන් කර ඇති බව නිගමනය කළේය.
ඝාතක කණ්ඩායම මෙහෙය වූ බව කියන Dmitry Pavlichenko 2019 දී Garavsky ගේ හෙළිදරව් කිරීම් “විකාරයක්” යැයි කීය. නිල උත්සවයකදී පුද්ගලයන් දෙදෙනා එකට සිටින ආකාරය ඡායාරූපයක දැක්වෙන නමුත්, ඔහු පසුව තමාට චෝදනා කරන පුද්ගලයා නොදන්නා බව කියා සිටියේය.
අදහස් දැක්වීම සඳහා බීබීසීය ඉල්ලීමකට බෙලරුසියානු බලධාරීන් තවමත් පිළිතුරු දී නැත.
( බීබීසී පුවතක කරුණු ද  අසුරිණි/19.09/2023)

Archive

Latest news

Related news